චීන ආරක්ෂක ඇමැති ජෙනරාල් වෙයි ෆෙන්ග් රැගත් රථ පෙළට විරෝධය දක්වන්න වාහනේ හෝන් එක නොකඩවා නාද කරපු පැලවත්තේ නවීන් මාධව තරුණයව අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුවා. අධිකරණයෙන් ඇප ලබාගෙන එළියට ආපු මාධව පොලිසියෙන් සහ රජයෙන් සමාව ඉල්ලුවා. කොහොම වුණත් කොල්ලට රංජන්ට වඩා මොළේ තියෙනවා.
මේ සිද්ධිය ගැන වැඩියෙන්ම කම්පාවට පත්වුණේ ජෙනරාල් වෙයි ෆේන්ග් වත් එයාට ලංකාවට එන්න කියලා ආරාධනා කරපු රාජපක්ෂ පවුලවත් නෙමෙයි, වැඩියෙන්ම හිත රිදුණේ රාජපක්ෂලට ඡන්දේ දාපු අයගේ.
මේ කට්ටිය හදිසියෙම එක දවසෙන් ආරක්ෂක විශේෂඥයෝ වුණා. ගොඩාක් අය හෝන් එකක් නොකඩවා නාද කිරීම නිසා ජෙනාරාල් වෙයි ෆෙන්ග් ගේ ජීවිතයට වෙන්න පුළුවන් හානිය ගැන ආරක්ෂක විශ්ලේෂණ පවා ඉදිරිපත් කරලා තිබ්බා.
ඒත් 2018 අවුරුද්දේ මාර්තු 19 වැනිදා ඉඳන් මේ වෙන කම් ලෝකේ බලවත්ම රටවල් දෙකෙන් එකක ආරක්ෂක ඇමැතිවරයා විදිහට කටයුතු කරන වෙයි ෆේන්ග් ට නම් මේ හෝන් සිද්ධිය තවත් එක සිද්ධියක් විතරයි වෙන්න ඇති. මොකද ලංකාවේ (සම)හරක් ට මේවා අමුතු වුණාට ලෝකේ දියුණු රටවල මිනිස්සු මේ විදිහට තමන්ගේ විරෝධතාවය ප්රදර්ශනය කරනවා කියලා එයා දන්නවා.
මීට කලින් හිටපු ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා දකුණු අප්රිකාවට යද්දිත් ඔබාමාගේ රථ පෙළ ගමන් කරපු පාර අයිනේ හිටපු මිනිස්සු දාස් ගාණක් “අප්රිකාව මංකොල්ල කන්න ආපු හොරා” කියලා ඔබාමට විරෝධය දැක්කුවා.
ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් ග්රීසියේ සංචාරය කරද්ද ඇතෙන්ස් නුවරට රැස්වුණු 50,000 ක විතර පිරිසක් පාර දෙපස රැස්වෙලා මාර්කෙල්ට විරෝධය පෑවා. තවත් පිරිසක් “මොලොටොව් කොක්ටේල්” එහෙමත් නැතිනම් අපේ භාෂාවෙන් කියන පැට්රොල් බෝම්බවලින් දමලා ගැහුවා.
ඩොනල්ඩ් ට්රම්ප් එංගලන්තයට ගියපු වෙලාවේ ලන්ඩනයේ මිනිස්සු “ට්රම්ප්ට එරෙහි වෙමු, ජාතිවාදයට එරෙහි වෙමු, කෲරත්වයට එරෙහි වෙමු, වෛරයට එරෙහි වෙමු, ලිංගිකත්වයට එරෙහි වෙමු” කියලා ලියපු විශාල බැනර් එකක් වොක්ෂ්හෝල් පාලම උඩ එල්ලුවා. බේබි ට්රම්ප් කියලා විශාල පඹයෙක් අහසේ පා කරලා යැව්වා.
වැඩිය ඕනේ නැහැ අල්ලපු රටේ නරේන්ද්ර මෝඩි එංගලන්තයට ගියපු වෙලාවෙත් ලන්ඩන් වැසියෝ මෝඩිව පිළිගත්තේ එයා වගේ දැවැන්ත පඹයෙක්ව හදලා.
ඒත් ලෝකෙට මේ කිසිම දෙයක් අමුත්තක් වුණේ නැහැ. ඒ රටවල මිනිස්සු මේවා සංවිධානය කරපු මිනිස්සුන්ගේ පලු ඇරියෙත් නැහැ. මොකද ඒ රටවල තියෙන්නේ අනෙකාගේ විරෝධනය දැක්වීමේ අයිතිය පිළිගන්න සමාජයක්.
මීට කාලෙකට කලින් අපේ රටෙත් ඒ වගේ දියුණු සමාජයක් තිබ්බා. ඒ කාලේදි තමයි විමල් වීරවංශ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉස්සරහට ගිහින් මරාන්තික උපවාසයක් කළේ. මිනිස්සු සිය ගානක් එතැනට රැස්වෙලා හිටපු එක එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සහ එහි සේවකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් කියලා එදා කාටවත් හිතුණේ නැහැ. ආරක්ෂාව ගැන හිතපු නියෝජ්ය පොලිස්පති කෙනෙක් විරෝධතාකරුවන් විසුරුවන්න ගියාම හිටපු ආරක්ෂක ලේකම් ෆෝන් එකෙන් කතා කරලා පොලිස් නිලධාරියාව එළවලා දැම්මේ. අන්න ආරක්ෂක ලේකම්ලා.
ඔය විමල්ම නරේන්ද්ර මෝඩි ලංකාවට එන කොට කළු කොඩි දාලා විරෝධය පාන්නත් හැදුවා. ඒත් මෝධි ලංකාවට එද්දි තමයි පොලිතීන් තහනම ආවේ. විමල්ට කළු පොලිතීන් හොයා ගන්න බැරි වුණා. නැත්නම් කළු කොඩි දැම්මම තමයි. එහෙවු භාණ්ඩේ.
දැන් ලංකාවේ ඒ වගේ දියුණු සමාජයක් නැහැ. රට බේරගන්න ආපු එකම වාසගම තියෙන පවුලක් අර සමාජය නියෝජනය කරපු ඔක්කොම අයව චීනෙට විකුණලා දැම්මා. දැන් උන් චයිනීස් රෙස්ටුරන්ට් එකක බෝඩ් එකක් දැක්කත් පාවහන් හිස්වැසුම් ගළවලා ඒකට වැඳලා යන්නේ. ඒ තරමට බයයි.
හෝන් සිද්ධිය අහපු චීන ජනාධිපති ක්ෂී ජිංග්පින්ග් 保持恐惧 කියලා හෙන හයියෙන් හිනා වුණාලු..
– අනිල් කරුණාරත්න –


