කොරෝනා පැමිණීම සමග ජිම් යාම ඇනහිටි බැවින් එක එක ක්රමයන්ට ශරීරයේ බර අඩු කිරීමට උත්සාහ කලත් ප්රතිපලයක් ඇත්තේ ඇත්තේ ඇවිදීමට යාමෙන් පමනක් බව මට වැටහුණි.ඉතින් මේ මේ දිනවල පාන්දරම එතුමා සමගින් ඇවිදීමට යන්නෙමි. එහෙත් එක දවසක් ඇවිදින්න පැමිණියහොත් දවස් දෙකක් වත් ” ඇත්තටම කකුල් රිදෙනවා හෝ හොඳටම නිදිමතයි ” කියමින් මගහැරීමට එතුමා සමතෙකි.
ඔහු පැමිණියද නැති වුවද දිනපතා ඇවිදීමට යාම මා නොකඩවා සිදුකරන්නෙමි. ඇත්තම කියනවානම් මම කෙසේ හෝ එතුමාව මෙම ගමනට සහභාගි කරවා ගැනීමට උත්සාහ කරනුයේ ඔහුගේ ශරීර සෞඛ්ය යහපත්ව පවත්වාගැනීමේ උදාර චේතනාවෙන්ම පමනක් නොවේ.
අප ඇවිදීමට යන මාර්ගයේ තැන් තැන් වල සිටිනා බල්ලන් මා එතුමා සමග යන විට එක විදිහකටත් , මා තනිවම යන්නේනම් තවත් ආකාරයටත් සැලකීම ඊට අනෙක් හේතුවයි.
ඒ මාර්ගයේ තැනින් තැන සිටිනුයේ කෑම වෙලාවට පමනක් ගෙදරට වාර්තා කර අනෙක් වෙලාව පාර මුර කිරීම තමන්ගේ රාජකාරිය යැයි සිතා සිටින බල්ලන් පිරිසකි.ඔහු සමග යන්නේනම් මා උන්නාද මලාද නොබල උන් මා තනිවම යන්නේ නම් විවිධ ප්රතිචාර දැක්වීමට සැදී පැහැදී සිටිති.
මා තනිවම ඇවිද එනවා නම් එකවරම මහ හයියෙන් බුරාහැලී අහල පහල නිවාසවල ගේට්ටුවෙන් ඇතුලෙ සිටින බල්ලන් ෆෝම් කර කිසිවක් සිදු නොවූ ලෙස ආපසු නිදා ගැනීම හෝ මා දෙස හුරතල් ආකාරයට බලා නැට්ට වැනීම කරති.
නැතහොත් මට ඇති ආදරය පෙන්වීමට උඩ පැන පැන මා සමග ටික දුරක් පැමිණීම කරති.( ඉතින් මම ඇවිදීම පසෙක තබා උන්ගෙන් බේරෙන විදිහක් බලමි .)
එසේ නොමැතිනම් මගේ ආරක්ෂාවට පැමිණෙනවා මෙන් හඟවා. මාව අවබාවිතා කරමින් තවත් බල්ලෙකුගේ බල ප්රදේශය ආක්රමණය කිරීම අකටයුතුකම් කරති.
මේ අතර සැබෑවටම මා හා එදිරිවාදිකමටම බුරා හැලෙන බලු නාම්බෙක්ද ඇත. තාප්පෙන් එහාට වී උන්දෑ බුරා හැලෙන්නේ සාධාරණ හේතුවකටය. උන්දෑ සිටින නිවසේ ඉදිරිපස වෙරලු ගසෙන් බිම වැටී ඇති ගෙඩියක් දෙකක් අහුලා ගැනීම ඊට හේතුවයි. මෙය ඉව වැටුන පසුව ඌ මා එම නිවස පසු කර යන විට බුරාහැලීමට සැදීපැහැදී සිටින්නේය.දින කීපයක් උන්දෑ ඇතුලට වී බුරාහැලුනත් එය එතරම් කාරණයක් නොවුනේ උන්දෑට තාප්පයෙන පැනීමට නොහැකි නිසාය .
එහෙත් එක් දිනක් උදෑසනන මෙම ගරුගාම්භීර බලුතඩියා පාරට වී සිටියේ අයිතිකරුද සමගිනි. ඒ වෙලාව වන හොඳින් ඉර පායා තිබුනද මට හතර වටෙන් තරු පෙනෙන්නට පටන්ගැනුනි. ඔවුන් පසු කර යනවා හැර වෙන විසඳුමක් ද නැත. එකම සහනයකට ඇත්තේ හබි තුමා මා සමඟ සිටීම පමනි.
” අනේ අපි අනික් පැත්තට ආපහු දුවමුද? “මම ඇසුවෙමි
” ඇයි අනික් පැත්තට දුවන්නේ අපි වෙනදා යන විදිහටම යමු” එතුමාට වගක් නැත
” ඔයාට තේරෙන්නෙ නැද්ද අර බල්ලා අතන ඉන්නේ මාව හපන්න”
” ඇයි ඔයාව හපන්නේ”
” මම එතන ගහයට තිබුනු වෙරලු ගෙඩියක් අහුලගත්තා. එදා ඉඳල මට බුරනවා අද නම් මාව කයි . අයියෝ ඒ මදිවට අර මනුස්සයා ඌට චේන් එක දාලත් නෑ අද නම් මං ඉවරයි “
කියනකොටම ඒ බලු නාම්බා පැයට කිලෝමීටර් එකසිටවිස්සක වේගයෙන් අප දෙසට දිව එන්නට විය.
ඔක්කොම ඉවරයි කියා සිතා ඇස් බාගෙට පියා ගන්නවා සමගම මා අසලට ඇගේ එල්ලුන බලු තඩියා කෙඳිරිගාමින් මා ලෙව කන්නට පටන් ගත්තේය.ඌව විනාඩි කීපයක් හුරතල් කර අවසානයේ අපි නැවත් ඇවිදීම පටන් ගත්තෙමු .
“අපි කවදා හරි බල්ලෙක් හදනකොට ……. වර්ගයේ නම් බල්ලෙක් ගන්න හොඳ නෑ”
” ඇයි ඒ”
” නෑ ඉතින් ඇස් දෙකටම දැක්කෙ නැද්ද හොරුන්ට සළකන විදිහ “
උපුටා ගැනීම: Nayomi Samadi Rukmaldeniya