හොස්ටල් කොල්ලය (ඉස්කෝලෙ කාලේ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
හොස්ටල් එකක් කිව්වම කන්න දෙන විදිහ දන්නෙ හොස්ටල් වල ඉදපු උන්ම තමයි. හැමදාම කල්දේරම් බත මැටි ගිලින කිඹුල්ලු වගේ ඔහේ බෙලෙක් පිගන් වල දාගෙන ගිලපු උන් විතරයි ඒ හැගීම දන්නේ. අවුරුදු 6ක් එකදිගට ඔය කල්දේරම් බත කාපු අපිනම් දැකපු ගමන් රස කොහොමද කියලා කියන්න දන්නවා. සාමාන්යයෙන් අපේ හොස්ටල් එකේ බදාදා තමයි Special day එක. එදාට ඉතින් චිකන් එක්ක හොද රයිස් එකක් එහෙම ගහලා කන්න දෙනවා. බදාදා රෑට. එදාට හෙන භීෂණකාරී තත්ත්වයක් තියෙන්නේ. කොටි ගහන කාලෙ මායිම් ගම්මානයක් වගේ වෙනවා රෑ කෑම ළං වෙද්දි.
මේ සිද්ධිය වෙද්දි අපි 11 වසරේ. ඒ කියන්නේ හොස්ටල් එකේ ඉන්න ලොකුම වයස. O/L එහෙම ළග එන හින්දා ඔය දවස් වලට අපි රෑ වෙනකන් පාඩම් කරනවා. ඇත්තටම කරන්නෙ පාඩම් කරන්න කියලා ඇවිල්ලා වට වෙලා පාන්දර වෙනකන් බොරු කියන එක. එහෙම නැත්තන් කොස් ගහට නැගලා වරකා ගෙඩියක් බානවා. ඉස්කොලේ වත්තේ කුරුම්බා කඩනවා. ඒව පස්සෙ දවසක කියන්නම්. අද කියන්නෙ වෙනම දෙයක්. ඉතින් ඔහොම ඉන්නකොට නිදිමත එන එක සාමාන්ය දෙයක්. ඒ දවස් වල පාඩම් කරන්නෙත් නෑ නිදාගන්නෙත් නෑ. පුදුම ඉත්තෑවෙක් ඉදියේ.
Special day එකට කොච්චර කන්න දුන්නත් ඉතින් ඕනි මිනිහෙක්ගේ ලිමිට් එකක් තියෙනවා නේ. ජිම් පප්පා වැඩ 12 අහස් හෝටලේට ගියා වගේ කන්න බෑ. මගෙ උරහිස් දෙක අස්සෙ ඒ කාලෙ සාරි ගප්පි 5ක් 6ක් විතර වතුර දාලා පීනන්න දාන්න තරම් ඉඩ තිබ්බා. (දැන් කියලත් මහලොකු වෙනසක් නෑ) ලොවෙත් ඉතින් වම්බටු මෝජු ටිකක් චිකන් ටිකක් ඉතුරු වෙනවා. ඔය ටික රෑට තියෙන්නේ කුස්සියේ. ඕවා ආයෙම අපිට හම්බෙන්නෙ නෑ. කුස්සියේ තියෙනවා පොඩි ජනේලයක්. ඕක ශේප් එකේ ජිල්මාට් එකක් ගහලා ඇරගන්න පුලුවන්. මේ වැඩේට ඉතින් පොඩිම එකෙක් ඕනි. මම කෙට්ටු උනාට දෙයියනේ කියලා සාමාන්ය මට්ටමට උසයි. කෙට්ටු කොට එකෙක්ව තමා ඔය ජනේලෙන් බස්සන්න පුලුවන්.
ඔන්න ඔය වෙලාවට තමයි ශරීරයෙන් පොඩි උනත් තුප්පැහි අධම ජරා කුප්ප වැඩ කරන්න ලොකු හැකියාවක් තියෙන කුඩ්ඩා ඉන්නෙ. නෑ නෑ කුඩු ගහන්නෙ නෑ. ඕකගෙ ඇස් දෙක ලොකුයි. ඉන්නෙ කුඩු ගහලා වගේ. කරන්නෙත් ඒ වගේ වැඩ. මේ කතාව කියෙව්වම තේරෙයි. තාම මාත් එක්ක එක බෝඩිමේ ඉන්න සංසාරගත කරුමක්කාරයෙක්. දැන් ඇවිල්ලා දෙයියනේ කියලා කමෙන්ට් එකකුත් දාගෙන යයි. මූට දාපු කුඩ්ඩා කියන කාඩ් එක කොච්චර ප්රසිද්ධ උනාද කියනවා නම් අපේ අම්මත් මූට කියන්නෙ කුඩ්ඩා කියලා. මගෙන් අදටත් අහන්නෙ කුඩ්ඩා ඉන්නවද බෝඩිමේ? කුඩ්ඩා ආවද? කියලා. ඒ තරම් ප්රසිද්ධ වුනා.
ඔන්න ඉතින් එදත් සුපුරුදු පරිදි අර පොඩි ජනේලෙට මූව උස්සලා දැම්මා. මූත් ඉතින් ගිහිල්ලා ඉතුරු වෙලා තිබ්බ කෑම ටිකයි. හවසට තේ දීලා ඉතුරු වෙන බිස්කට් ටිකයි කිරිපිටියි සීනියි සේරමයි උස්සගෙන ආවා. කාටවත් වැඩේ නෝන්ඩි නෑ අපිත් ඉතින් කාලා බීලා නිදාගත්තා. උදේ පාන්දර නැගිටලා මම දත් මදින්න යනවා. ඇස් දෙකත් බාගෙට ඇරගෙන බුරුසුවත් කටේ ගහගෙන යද්දි තමා දැක්කේ. කුස්සිය වටේට සෙනග පිරිලා. උයන්න ඉන්න ඇන්ටිලා දෙන්නයි වොඩයි MIC සර් එක්ක තව ළමයිනුයි පිරිලා. ඇන්ටි අත් දෙක උස්ස උස්ස කෑ ගහනවා වොඩත් මොනාදෝ මන්දා කියනවා. ළගට ගිහින් බැලුවා එකෙක්ව මැරිලවත්ද කියලා. කිරි අප්පට බල්ලො බුරනකොට එහා පැත්තෙන් ගිය කිරි අම්මගෙ ඇගට ගහෙන් වැටුන ගොනා පිහියෙන් ඇන්නා කිව්වලු. කුස්සිය පුරාම කලු පාටට පොඩි පොඩි අඩි සලකුණු පිරිලා.
කලින් දවසේ රෑ අරූව දැම්මම මූ කලුවරේ අඩිය තියලා තියෙන්නෙ ලිප උඩට. එතනින් පස්සෙ කුස්සියේ තියෙන සුදු ටයිල් එක දිගේ ගිහින් හොදි අරගෙන ඊට පස්සෙ කිරිපිටි තියෙන තැනට ගිහින් ආයෙම ජනේලෙ ළගට ඇවිල්ලා. ඔක්කොම නෝන්ඩි දැන් එකෙක් පැන්නා කියලා. මුලින්ම තිවංක කියන එකාව මාට්ටු වුනේ. ඌ මහතයි කකුල් ලොකුයි. ඒක හින්දා සැක කටයුතු ලැයිස්තුවෙන් ඌව අයින් කලා. අපරාධ පරීක්ෂණය දිගටම කලත් වැරදිකාරයෙක්ව තියා සැකකාරයෙක්ව වත් හරියට අල්ලගන්න පාලනාධිකාරිය සමත් වුනේ නෑ. කියන්න සන්තෝසයි මිත්රවරුනි MIC ඇවිල්ලා තර්ජනය කරනවා බල්ලො ගෙනැල්ලා අල්ලනවා කියලා. මේ කුස්සියට පැනලා කිරිපිටි උස්සපු එකට මොන බල්ලොද? අපි හාවො වුනේ නෑ. අන්තිමට බල්ලො ආවෙත් නෑ කාවවත් අහු වුනෙත් නෑ. කාලයක් යනකම් කුඩ්ඩට බැන්නා තෝ ලිපට අඩිය තිබ්බා කියලා. දැනුත් ඔය බෝඩිමේ පරන උන් සෙට් වුනාම ඉතින් ඕක කියලා ඌව බයිට් කරනවා.
-ශාමින්ද ජයරත්න-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!