හාත්පසම පැවතියේ ඝන අන්ධකාරයකි. හිස පුපුරා යාමට ආසන්න යැයි සිතෙන තරමටම තද වේදනාවක්ද දැනෙන්නට විය. දෙනෙත් විවර කරන්නට අවැසි වුවත් එයද ඉතා වේදනාකාරී වූ බැවින් දෙනෙත් පියාගෙනම සිටියෙමි. දෙසවනට වැටුනු විවිධ ශබ්ද නුපුරුදු ඒවා වූ බැවින් මද වේලාවකට පසු සෙමින් දෙනෙත් විවර කොට බැලීමි.
පළමුව මගේ දසුනට ලක්වූයේ මා සිටි ඇදට ඉහලින් කරකැවෙන විදුලි පංකාවයි. සැබවින්ම මා සිටියේ නුපුරුදු ස්ථානයකය. කලබලයෙන් එහා මෙහා යන වෙද සිසුන් හා හෙදියන් දැකීමෙන් සිදුවූයේ කුමක්දැයි අවබෝධ කරගත්තෙමි. හිසේ වේදනාව දැඩි වූයෙන් මගේ සුරත හිස වෙතට ගියේ නිරායාසයෙනි. හිස වෙලුම් පටිවලින් වෙලා ඇති බව පසක් වූයේ එවිටය. මා නැවතත් දෙනෙත් වසාගත්තේ සිදුවූ දෑ සිනමා පටයක් මෙන් මතකයට නැගෙන්නට වූ බැවිනි.
“ නංගි. අදින් පස්සේ මම ඔයාට කවදාවත් කරදරයක් වෙන්නේ නෑ. අපි හෙට කොලඹ යනවා. අන්තිම වතාවට මම දැනගන්න කැමතියි ඔයාගේ තීරණය මොකක්ද කියලා” බිමල් අයියාගේ වදනින් හදවත පුපුරා යන තරමට දුකක් දැනුනද මම ඔහුගේ තියුණු බැල්ම මග හැරීමට උත්සාහ කළෙමි.
“ මගේ තීරණේ මං කිව්වනේ අයියේ. ආයේ ඒ ගැන කතාකරලා වැඩක් නෑ. අපි තාම පුන්චියි ඒ ගැන හිතන්නත්.අයියා ඒ දේවල් ගැන හිතන්නේ නැතුව හොදට විභාගේ ලියන්න. විභාගේ පාස් වෙලා කැම්පස් ගියාම හොද ලස්සන ගෑණු ළමයෙක් හොයාගන්න පුලුවන්නේ අයියාට.”
සැබවින්ම මා එය පැවසුවේ සිතට එකගවද යන්න පිළිබඳව දැනුදු මගේ හද තුළ ඇත්තේ සැකයකි. ඔහුගේ රූපයට,සිනාවට,කතාවටත් වඩා මගේ සිත් ගත්තේ ඔහු ඉගෙනීමට දැක්වූ දක්ශතාවයයි. එබැවින් එය මා නිසාවත් අඩාල වීමට ඉඩ දිය නොහැකි බව මම මා හටම සපථ කරගතිමි.
පාසලේ අන් ගැහැණු ළමුන් මෙන්ම මමද ඔහුට වශී වී සිටියෙමි. පාසලේ වඩාත් රූමත් යැයි නම් දරා සිටි ගැහැණු ළමුන් පරයා ඔහුගේ සිත් ගෙන තිබුනේ මාය. ඒ පිළිබඳව මා සිත යටින් ආඩම්බර වීමී. එහෙත් ඒ බවක් ඔහුට ඇගවීමට මා මැලිවූයේ පාසල් ප්රේමයට මා තුල වූ බිය නිසාය.
එසේම මාගේ දෙමාපියන්ගේ පූර්ණ විශ්වාසය හා ඔවුන්ගේ සියලු බලාපොරොත්තු ගොඩනැගී තිබුනේ මා මත බැවින් එම විශ්වාසය හා බලාපොරොත්තු කඩා බිද දැමීමට හැකියාවක් මා හට නොවිනි.වසර දෙකක් තිස්සේ අන් අයෙකු නොපතා මගේ කැමැත්ත බලාපොරොත්තුවෙන් සිටි බිමල් අයියා කෙරෙහි මා තුළ ද වූයේ දැඩි ළබැඳියාවකි.
“ එහෙනම් නංගි තාමත් ඔයාගේ තීරණේ ඒකයි නේද? කමක් නෑ නංගි. මං යන්නම්. මේ ඉස්කෝලේ දාලා යනවට වඩා මට ගොඩක් දුක මං ආදරේ කරපු කෙනෙක්ගෙන් වෙන් වෙලා යන එක. ඒත් ඒ කෙනාට මං වෙන්වෙලා යන එක දුකක් නෑ වගේ.” ඔහු සුසුමක් හෙලා අනන්තය දෙසට නෙත් යොමන අතරතුර මම ඒ බොදවූ නෙත් දෙස බලා සිටියේ එලියට පනින්නට පොර කන කදුලු බිදු ආයාසයෙන් වලක්වා ගනිමිනි. යලි ඔහු මා දෙස බලන ඇසිල්ලේම මං දෙනෙත් බිමට යොමු කලේ මගේ නෙත් අග්ගිස්සේ පොර කන කදුලු බිදු නිසාවත් ඔහුට බලාපොරොත්තු දිය නොහැකි බැවිනි.
“ඔයා හොදට විභාගේ පාස් වෙලා කැම්පස් යන්න ඕනේ නංගි. ඔයාගේ අම්මලගෙ එකම බලාපොරොත්තුව ඒකනේ. සමහරවිට අපි ආයේ හමුවෙන්නත් පුලුවන් ..හමු නොවෙන්නත් පුලුවන්. එහෙනම් මං යන්නම් නංගී.” මා හිස මත සුරත තැබූ ඔහු මා වෙතින් ඉවත්ව යන තෙක්ම ඔහු දෙස නොබලා සිටීමට තැත් කලේ දෑස් කෙවෙනි අග තෙරපෙන් කදුලු බිදු ඔහු දකීවියයි සිතූ බැවිනි . ඔහු මවෙතින් නික්ම ඔහුගේ මිතුරන් කරා ගොස් ඔවුනගෙන් සමු ගන්නා අයුරු මා බලා සිටියේ දෑසින් වැටෙන කදුලු බිදු වලට ඉඩ හසර ලබා දෙමිනි. එහෙත් මා කෙදිනකවත් මසිතින් ඔහුට සමු දුන්නේ නැත.
මා දෙනෙතින් ගැලූ කදුලු වලින් වෙලුම් පටි තෙත්වී ඇති සෙයක් දැනුනි. මගේ ඇද අසලට කවුරුන් හෝ පැමිණෙනු දැනීමෙන් දෑස් විවර කළෙමි.
“දැන් කොහොමද නංගි?” මා වෙත පැමිණ සිටි වෙද සිසුවියට මා ප්රතිචාර දැක්වූයේ සිනහවකිනි.
“ නංගි ආට්ස් ෆැකල්ටි නේද?ඔයාව මෙහෙට ගේනකොටත් සිහිය නෑ.. පැය හයක් විතර ඔයා සිහිය නැතිව හිටියේ.”
“එහෙමද අක්කේ. මගේ යාලුවෝ දන්නේවත් නැතිව ඇති නේද මං හොස්පිටල් කියලා.” මම මදක් කෙලින් සිටීමට උත්සාහ දරමින්ම පැවසුවෙමි.
“ ඔයාගේ යාලුවෝ ඇවිත් දැන් ටිකකට කලින් බලලා ගියේ. නංගි විජේවර්ධන එකේ නේද ඉන්නේ.මමත් ඉන්නේ විජේවර්ධන එකේමයි. මම ඔයාව කලින් දැකලා තියෙනවා. බයවෙන්න එපා මොනවාහරි ඕනේ වුනොත් මට කියන්න.දැන්ම නැගිටින්න එපා.ඔයාගේ ඔලුවට මැහුම් දාලා තියෙන්නේ.ඒනිසා ඔහොම ඉන්න.” ඇයගේ කාරුණික වදන් හමුවේ මා පෙර සිටි අයුරින්ම කොට්ටයට හිස තබා ගතිමි.
ඇය මවෙතින් ඉවත්ව ගිය පසු මම කරකැවෙන විදුලි පංකාව දෙසද සේලයින් බෝතලය දෙසද නෙත් යොමු කළෙමි. බිදෙන් බිද වැටෙන සේලයින් බිදු රුධිර නාලිකා හරහා ශරීරයට ශක්තියක් ලබාදුන්නද කඩා වැටුනු හදවතට ජීවයක් වීමට ඒවාට හැකියාවක් නොවුනි.
නිදහසේ ගතකළ පාසල් දිවිය හමාර කොට උසස්පෙළ සමත්ව සරසවි බිමට පා තැබූ දා සිටම අද වනතෙක් කාලය මතකයේ සිතුවම් පෙළක් මෙන් දිව යන්නට විය. උසස්පෙළ ප්රතිඵල ලැබුනු දා දෙමාපියන්ගේ මුවේ රැදුණු සිනහවද ඔවුන්ගේ ප්රීති වාක්යයන්ද ඒ අතරින් පතර මතකය නැගිනි.
“ දැන් ඉතින් හිතේ තිබුන ලොකු බරකින් නිදහස් උනා වගේ. අද තමයි මගේ ජීවිතේ ගොඩක්ම සතුටු වුන දවස.” අම්මා මා වැළඳ ගනිමින් පැවසුවේ දෙනෙතින් සතුටු කදුලු වගුරමිනි.සැබවින්ම මගේ සතුට වූයේ ඔවුන්ගේ සතුටයි. මගේ අරමුණ ඔවුන්ගේ සියලු පැතුම් සඵල කිරීමයි.
මා සරසවි වරම් ලැබී පළමුවරට සරසවියට පා තැබූ දා අම්මාගේ අතේ එල්ලීගෙනම සිටියේ පළමු වසර පාසලට ඇතුලත් වූ දවස සිහියට නංවමිනි. මා රාමනාදන් පියසේ තනි කොට ඔවුන් ගිය පසු කාමරයට වී ඉකි ගසා හැඩුවේ අම්මාගේ දසුනින් ඈත්වී සිටීමට සිදුවූ බැවිනි. ඒ තරමටම මා මගේ පවුලට තදින් බැදී සිටියෙමි. ඔවුන්ගෙන් තොරව දිනක්වත් ගතකළ හැකිද යන්න මා සිත තුළ වූයේ සැකයකි. එහෙත් පසුව සරසවියේ දේශන හා යෙහෙළියන් ඇසුරේ සරසවි දිවියට හුරු වූයේ නිරායාසයෙනි.
“ සංජි. අන්න දසුන් අයියා අදත් ඇහුවා ඔයා කෝ කියලා.මම කිව්වා දන්නේ නෑ කියලා. කොහෙද ඉතින් උඹ කැමති නෑනේ ඉන්න තැනක්වත් කියනවට.”
පොළොන්නරුවේ අප් ආහාර ගනිමින් සිටි ස්ථානයට පැමිණි නිරෝෂා පවසන්නට වූයෙන් අන් යෙහෙළියන් ද මා හට කවටකම් කරන්නට වූහ.
“මේකිගේ හිත ඇතුළෙන් කැමතියි. ඔය බොරු කියන්නේ කැමති නෑ කියලා. දසුන් අයියා මගෙන් ඇහුවානම් මං පැනලා හා කියනවා” කසුනි නිරෝෂා ට බත් කටක් කවමින්ම පැවසූවේ මට විරිත්තමිනි.
“ අනේ .. මට ඔය කාවවත් ඕනේ නෑ.. මේ නිදහස් ජීවිතේ හොදයි.. මට ඕනේ වෙලාවක ඕනේ තැනක යන්න පුලුවන්. මං කැමති විදියට අදින්න පුලුවන්. ඒකට පේන්නේ නැද්ද නිරෝෂාට තියෙන වදේ.අරක කරන්න එපා මේක කරන්න එපා කියලා තහන්චි ලෝකයයි. උබට ඕනේ මාවත් එහෙම හිර කරන්නද. කවදාහරි දවසක අම්මලා මට ගැලපෙන කෙනා හොයලා දෙයි.එතකන් මෙහෙම ඉන්නම් මං..”
“ අනේ මේ. උඹ මං ගැන දුක් වෙන්නෙපා. මං කැමතියි එහෙම තහන්චි දානවට. උඹ එහෙනම් නාකි වෙලාම බැදපන්.මං යනවා බං යන්න. මට එකට ලෙක්ච එකක්..”
“ඔව් උඹේ සත්ය ප්රේම බෘංග රාජයත් අර ඇවිත් ඉන්නේ ලෙක්ච එකට යන්න…” තම බෑගයත් කරට දමා ගනිමින් නිරෝෂා දිව යන අයුරු අප බලා සිටියේ සිනාසෙමිනි.
“ ඒක නෙවෙයි සංජි. ඇත්තටම ඔයා දසුන් අයියාට අකමැති ඇයි. ඒ බැජ් එකේ බෙස්ට් රිසල්ට් තියෙන්නේත් එයාට. අනිවාර්යයෙන් ස්ටාෆ් යනවා.. අනික මිනිහා වගේ හැන්ඩියෙක්ට අකමැති වෙන්න හේතුව මොකක්ද බං..” චාමලී අසන්නේ සැබවින්ම මා කෙරෙහි ඇති ළබැදියාවෙන් බව මා දනිමි.එහෙත් ඒවාට පිළිතුරු දීමට තරම් සුපැහැදිළි හැගීමක් මගේ සිත තුළ නැත..මාගේ එම ප්රතිචාර කෙරෙහි දෙමාපියන්ගේ ආකල්පද වක්රව බලපා තිබෙන්නට ඇත.
“ දැන් ඉතින් කෙල්ල කැම්පස් ගිහින් වයසත් හරි එකේ හොද කොල්ලෙක් බැලුවානම් හොද නැද්ද නංගියේ..?” දිනක් කමලා නැන්දා අම්මාගෙන් විමසනු කාමරයට වී සිටි මට ඇසුනි..මමද ඒ මා පිළිබඳව වන කතාබහක් බැවින් ඒ වෙත දෙසවන් යොමු කළෙමි.
“මමත් අපේ එක්කෙනා එක්ක ඔය ගැන කතා කළා අක්කේ..එයා කියන්නේ තාම ඔය ගැන කතාකරන්න ළමයා පොඩියි ලු..උපාධිය අරගෙන රස්සාවක් කරන කාලෙක ඒ ගැන හොයලා කතාකරමු කියන්නේ..”
“එහෙම කියන්න එපා නංගියේ..මං කියන්නේ දැන්මම බන්දලා දෙන්න නෙවෙයි..හොද කොල්ලෙක් හොයලා තිබුනා නම් නරකයැ..”
“තව ඕවට කල් තියෙනවානේ අක්කේ..දැන්ම ඕවා ළමයින්ගේ ඔලුවට දාන්න ඕනේ නෑ..”
එය මාගේ දෙමාපියන්ගේද අදහස වූයෙන් මා තුළද ප්රේම සබදතා ඇති කරගැනීම පිළිබඳව ඇල්මක් නොතිබිණි. එක් එක් අවස්ථා වලදී ප්රේම සබදතා සදහා වූ ඇරයුම් ප්රතික්ෂේප කිරීම සදහා බොහෝ දුරට දෙමාපියන්ගෙන්ද මා හට රුකුලක් ලැබුනි. ඒ පිළිබඳව නොසිතා තව දුරටත් අධ්යාපන කටයුතු කෙරෙහිද ඒ අතරතුර ක්රීඩා සදහාත් මා පෙළඹවූයේ මා විසින්මය.
උදෑසන සිසිල් පවන් සුව විද ගනිමින් නේවාසිකාගාරයේ සිට පා ගමනින්ම පීඨය කරා යාමත් සවස දේශන හමාර වී ක්රීඩාගාරයට ගොස් අදුරත් සමගම නැවතත් නේවාසිකාගාරයට යාමත් මාගේ සාමාන්ය දින චර්යාව විය..දේශන සදහා සහභාගි වීමත් ක්රීඩා කිරීමත් නිසා ඉන් බැහැර දෙයක් සදහා සිත යොමු කිරීමේ අවකාශයක්ද මා හට නොමැති විය. එහෙත් නිතිපතා සවස් වරුවේදී ක්රීඩාගාරයේ සිට නේවාසිකාගාරයට යාමේදී මසිතට දැනෙන තනිකම කුමක්ද යන්න වටහා ගැනීමට දැනුදු මම අපොහොසත්මි. පෙරමගට හමුවන මගේ වයසේ පෙම් යුවලවල් අත් පටලාගෙන ගමන් කරනු දකින විට මා නොදැනුවත්වම සුසුම් හෙළීමි. එවිට මා මා හටම පවසා ගත්තේ මේ දිවිය නිදහස් බවයි.
විටෙක නේවාසිකාගාරයේ සදලුතලයට වී සිටින විට නොදැනුවත්වම මට මාගේ අතීතය සිහිපත් වේ.බිමල් අයියා පිළිබඳව මතකයන් තවමත් මා සිත තුළ සැගවී ඇතිබව මා හට පසක් වූයේ සරසවි දිවියේ හුදෙකලාව තුළිනි..හන්තාන කදුවැටිය සිපගෙන හමා එන සිසිල් සුලං රැළි එම හුදෙකලා බව තවත් වැඩි කරවයි..හන්තාන කදුවැටියේ හුදෙකලාව නැගී සිටින්නාවූ අතුපතර විහිද ගිය විසල් රුකක් මා මටම සමාන කර ගතිමි. මම මගේ ශක්තියෙන් මගේ පවුල ආරක්ෂා කිරීමට බැදී සිටියෙමි. මගේ පවුලේ සියලු බලාපොරොත්තු ගොඩ නැගුනේ මා මතින් බැවින් කිසිදු බාධකයකට බිද හෙළිය නොහැකි ශක්තියක් මම මා තුළම ගොඩ නගා ගතිමි. එහෙත් මේ හුදෙකලාව .
බිදෙන් බිද මගේ ශරීරයට ඇතුල් වන මෙම සේලයින් බිදු හරහාද මගේ හදවතට ජීවයක් දිය හැකිද යන්නමම සිහිපත් කළෙමි..විටෙන් විට වෛද්යවරුන්ද, වෙද සිසුන්ද,හෙදියන්ද පැමිණ මා පරීක්ෂා කොට ඉවත යයි.නැවතත් මා හුදෙකලා වන්නෙමි.
එදිනද මා සුපුරුදු පරිදි අදුරු වැටීගෙන එනවිට ක්රීඩාගාරයෙන් පිටවූයේ නේවාසිකාගාරය වෙත යාමටයි.
“සංජි…කලුවර වැටිලනේ. තනියම යන්න පුලුවන්ද?මම ගිහින් ඇරලවන්නම්..”
රොහාන් දිවගෙන විත් විමසූයේ මා පිළිබඳව උපන් සැබෑ මිතුරු බැදීම නිසා වුවද ඔහුටද කරදරයක් වීමට මා අකමැති වීමි.
“තාම ඒතරම් කලුවර නෑනේ රොහාන්.ඊටත් ඔයා ආපහු හෝල් එකට යද්දි රෑ වෙනවනේ..අවුලක් නෑ..මං තනියම යන්නම්..කොහොමත් මට දැන් පුරුදුයිනේ..”
“ඒක තමයි අපි කියන්නේ දැන්වත් මෙහෙන් ගොඩ යන්න කියලා..” ඔහු පැවසුවේ සරදමට වුවත් එය මගේ සිතට තදින්ම කාවැදිනි.
“ගොඩයන්න ඕනේ නෑ.. මෙහෙම ඉන්න එක හොදයි ..” ඔහුගෙන් සමුගෙන මා පය ඉක්මන් කළෙමි.ක්රීඩා පිටියේ ඈත කෙළවරින් හිරු අවරට යමින් තිබිනි.බ්බැස යන සැදෑ හිරුගේ සිරි නැරඹීමට සුපුරුදු පරිදි වේගය අඩාල වුවත් ක්රීඩා පිටිය අසල සිටිනා පෙම් යුවලවල් දැකීමෙන් නිසා සිතේ තිබූ නිදහස පහව ගියාසේ දැනුනි.
අල්විස් පොකුණ අසලදී මද අදුරේ වුවද හදවතට වඩාත් හුරු පුරුදු රුවක් දෙනෙතට හසුවූයෙන් මා ඒ දෙස නෙත් යොමාගෙනම ඉදිරියට ගියෙමි.ඔහු සිටියේ අරුනාචලම් ශාලාවේ පියගැටපෙළ අසල දුරකථන ඇමතුමකය.
ඒ ඔහුය. වසර පහකට පෙර මගෙන් සමුගෙන ගිය ඔහුද මේ සරසවි බිමේය. මට දෙනෙත් අදහාගත නොහැකිවිය. මා අල්විස් පොකුණ අසලින් පාර පැන්නේද ඔහු දෙස බලාගෙනමය.එක්වරම මා අසලින්ම ඇසුනු නලා ශබ්දයක් ද සමගින් ම පාවී ගිය බවක් පමණි මා මතකයේ ඇත්තේ.
හිසේ වේදනාව පරයා හදවතින් නැගෙන වේදනාව දැඩි වූයෙන් මා දෑස් පියන් තද කරගෙන සිටියෙමි… දෙනෙත් අගින් ගලායන කදුලු වැළැක්වීමට මා ආයාසයක් නොගත්තේ එමගින් හෝ හදවතේ වේදනාව දියව යතැයි සිතූ බැවිනි..
“නංගී..” වසර පහකට පසු ඒ සුපුරුදු හඩ ඇසුනේ සිහිනෙන්දැයි සැබෑවටම දැයි සිතාගත නොහැකි වූ බැවින් දෑස් පියාගෙනම සිටියෙමි
“සංජි නංගී.” මා සෙමින් දෙනෙත් හැර බැලුවෙමි.ඒ ඔහුය.එහෙත් ඔහු මා අභිමුව සිටින්නේ මා හට නුපුරුදු විලසිනි. එදා පාසල් නිළ ඇදුමින් සැරසී සිටි ඔහු අද මා අභිමුව සිටින්නේ වෛද්ය සිසුවෙකු ලෙසිනි.
“ මොකද මේ අඩන්නේ.? තාම ඔලුව රිදෙනවද..? ඔයින් බේරුනා ඇති.ඔයා බයික් එකේ වැදිලා විසිවෙච්ච පාරට තණකොළ ගොඩට වැටිලා තිබුනේ..නළල පැලිලා තියෙන්නේ එතන තියෙන ගලක වැදිලා. කකුල නම් සනීප වෙන්න ටික දවසක් එක තැන ඉන්න වෙයි.” ඔහු පවසන විටත් මා ඔහු දෙසම බලා සිටියේ එය සිහිනයක් නොවන බව පසක් කර ගැනීමටයි.
මම මගේ දෙපය වෙත දෙනෙත් යොමු කළෙමි ..මෙතෙක් වේලා දෙපය කෙරෙහි මා අවධානය යොමු නොවිනි. මා සිතා සිටියේ තුවාල වී ඇත්තේ මාගේ හිසත්, හිතත් පමණක් බවයි .එහෙත් මගේ වම් පාදයද වෙලා ඇත. පාදයේ දැනීමක් නැත්තේ එය හිරි වැටී ඇති නිසා විය හැකිය. මා නැවතත් ගොලු වූ මුවින් යුතුව ඔහු දෙස බැලීමි.
“නංගී මාව අදුනගන්න බැරි උනාද?මම බිමල්.” එලෙස හදුන්වාදීමක් අවැසි නොවීය.එදා මා අනතුරට පත්වූයේ ඔහු හදුනාගත් නිසා බව ඔහු නොදනී. මා කිසිත් නොදොඩා සිටියේ කුමක් පැවසිය යුතුදැයි මා හට සිතා ගත නොහැකි වූ බැවිනි..සේලයින් බිදුවකින් හදවතට ලබා දිය නොහැකි වූ ජීවයක් ඔහුගේ දසුනින් ලැබුනු බව කෙලෙස නම් පවසම්ද.
රෝහලේදී පළමුවෙන් මා හා දොඩමළු වූ වෙද සිසුවියද මා වෙතට පැමිණියේ හඩක් නගන්නට මුව විවර කරන්නට සූදානම් වූ මොහොතේදීය.
“ ආ නංගී.. ඔයාට කොහොමද දැන්.?” ඇයට මා පිළිවදන් දුන්නේද සිනහවකින් පමණි.
“ තුෂී මම ඔයාට කියලා තිබුනේ මේ නංගි ගැන තමයි. ඇත්තටම හරි පුදුමයි. නංගි කැම්පස් යන බව මං දැනගෙන හිටියත් මෙහෙටම එයි කියලා හිතුවේ නෑ මං.”
“ ආ මේ නංගිද සංජි කියන්නේ? සොරි නංගි මං දැනගෙන හිටියේ නෑනේ ඒ ඔයා කියලා. ඔයා ඕනෙම දෙයක් අපිට කියන්න නංගි. අපි ඉන්නවා ඔයා ලග.” ඔවුනගේ කුලුපග බවට හේතුව ඔවුන් එකම වසර කණ්ඩායමේ නිසා යැයි පළමුව මා සිතූ නමුත් එයට වඩා වැඩි සබදතාවක් ඔවුනතර ඇති බව මා හට හැගිනි.
“ ඔව් නංගි. බයවෙන්න එපා. මේ තුෂාරි. මම මැරි කරන්න ඉන්නේ මෙයාව තමයි. ඔයා තුෂීගෙ පේශන්ට් නිසා එයාට ඔයාව නිතරම බලන්න පුලුවන්.ඔයා ඕනෙ දෙයක් කියන්න.එහෙනම් මං යන්නම් නංගී..”
ගොලුවතින්ම මා හිස සලා ආයාසයෙන් නගාගත් මද සිනහවකින් මම ඔහුට සමු දුනිමි. මෙතෙක් කලකට මා ඔහුට හදවතින් සමු නොදුන්නද දැන් එයටද කාලය එලඹ ඇත. ඉතින් මම ඔහුගෙන් සමුගතිමි හදවතින්ම.
නැවතත් හුදෙකලාව .
උපුටා ගැනීම: – කාන්චනා නවගමුව –