පොඩි කාලේ බත් එහෙම කැව්වේ අම්මනේ. ඊට පස්සේ ඔන්න හා හාපුරා කියලා තනියම බත් ටිකක් ඉල්ලගෙන ඇඟ පුරා බිම පුරා හලාගෙන කන්න පටන් ගත්තා. මං බත් කනවා දැක්ක සකළ විධ ලෝකවාසී අපත සමූහයා ඔලුවේ අත ගහ ගත්තා. ගස් වැල් කම්පා උන, බල්ලා කන්පට ගැහුවා. මොණරු හූ කිව්වා. ගෙදර එවෙලේ හිටිය අපේ ලොකු අම්මා මෙහෙම කියලා ගෑ ගැහුව.
” මෙන්න මේ ළමයා වමෙන් බත් කනවා … මෙන්න වමෙන් බත් කනවා”
දෙබරෙට ගල් ගහලා දෙබරුන්ට හූ කිව්වට වඩා හපන් එකක් ඊලඟට උනා. විනාඩි දහයක් යද්දි මිදුල පිරෙන්න පුරාම සෙනග ඒක රාසී උනා. දෙයි හාන්දුරුවනේ , නැන්දලා,මාමලා, පුංචිලා බාප්පල, අයියලා මල්ලිලා ඇච්චො බැච්චො බල්ලො පූසෝ… නාන ගම සබන් පිටින් තුන්දෙනෙක් ඇවිල්ලා හිටියා. දෙන්නෙක් අතේ ලැට් බාල්දි.
ඊලඟට කට්ටියම අර තඹුත්තේගම යෝධයා වෙච්ච පුංචි බණ්ඩා ඉදියාප්ප කනවා බලන් ඉන්න තාලෙට ඔක්කොම මං බත් කන දිහා බලං ඉන්න ගත්තා.
” හත්තිකේ මේ මොන නව නිංගිරාවක්ද ?”
” අපේ අම්මා මුත්තා කාලේ අහපු දැක්ක එකක් ද?”
“නුදකින් පුක හෝදන අතින් බත් කන්නේ ක්රැහ් තූ.ම්ම්”
මට තාම තනියෙන් හෝදන්න බෑ අම්මා හෝදන්නේ ඒක අහපු මං එහෙම කිව්වලු. ඒකට ඒ අහපු කෙනාට මල පැන්නලු.
” පුහ් වමෙන් බත් කනවා මදිවට මුගේ කට…”
“වමෙන් බත් විතරක් නෙමෙයි මේ ළමයා පැන්සල අල්ලනෙත් වමෙන්ලු.”
“මෝඩයි, මොට්ටයි, අනික තාත්තට අපලයි”
එහෙමත් කිව්වලු.
කතාව මේකයි, මං වමෙන් ලියන්නෙ. මං වමෙන් කන්නේ , ඒ මගේ ඔලුව පොඩි කාලේ ඉඳල වැඩ කල හැටි. හැබයි අම්මයි තාත්තා යි ඇරුණම අනික් හැමෝටම ඕන උනේ, මං දකුණු අතින් අකුරු ලියන දකුණු අතින් බත් කන වම් අතින් පුක හෝදන මිනිහෙක් වෙනවා දකින්න. සමහරු මට බැන්නා, හිනහා උනා, නෝන්ඩි කලා,
අන්තිමට මං කාටවත් පේන්න බත් කන්නේ නෑ , ඉස්කෝලේ කෑමට ගෙනියන්නේ කෙටි කෑම ජාති එක්කො ගෙනියන්නේ නෑ. ඒක මහ මානසික වදයක් උනා. ඒ එක්කම ඉස්කෝලේ එක වසරේ සිල් සමාදන් වෙන සීල ව්යාපාරයක් තිබුණා.
එදා තරම් මං ජීවිතේ කවදාවත් අපහසුතාවකට ලක්වෙලා නෑ.. ඉස්කෝලේ හෝල් එකේ දැල් අස්සෙන් මාව පෙන්න පෙන්න කට්ටිය කිව්වලු ආං අර ළමයා බත් කන්නේ සතෙක් වගේ කියලා.
මේ යට පිංතූරේ ඉන්නේ මම හරිම අපහසුවෙන් දකුණතින් බත් කන හැටි. මට එහාපැත්තේ ඉන්න ළමයට එපා වෙච්ච පාරට ද මන්දා දැන් දැක්කත් අහක බලන් යන්නෙ. හැබයි අපි තාමත් හොඳ යාලුවෝ. දීපානි ඉන්නව මේකේ මං හිතන්නෙ.
මේකයි විස්තරේ හැමෝටම උප්පත්තියෙන් එන පාටක්, ස්ටයිල් එකක්, හුරුවක් තියනවා. ඒක ඔබට ඕන විදියට හෝ සමාජයය ඕන විදියට සම්මතයට වෙන්න ඕන කියලා නියමයක් ,නියෝගයක් කරන්න අපි කාටත් බෑ.
අන්න ඒකේ වේදනාව දන්නේ ඒක විඳපු එකෙක් විතරමයි.
වමෙන් බත් කන උන්ට ජය වේවා. වමෙන් ලියන උන්ට ජයම වේවා.
එඤ්ඤං
උපුටා ගැනීම: කුෂාන් ප්රේමසිරි