එදා අප්රේල් දෙක. මං එයාගෙ අතින් ලාවට වගේ අල්ලගත්තා. එයා මං දිහා හිමීට ඔලුව උස්සල බැලුවා. අපි හිටියෙ නුගේගොඩ මැක් එක පහු කරන ගමන්.
‘මොනවද ඕනෙ?’
‘අද දවස මතක හිටින්න දෙයක්. මොනාහරි’
මං එයාව එක්කගෙන හන්දියෙ නෝලිමිට් එකට ගියා. අපි අතරෙ කිසිම කතාබහක් වෙන්නෙ නැතුවම එයා ලා කොල පාට බ්ලවුස් එකකුයි, තද කොල පාට බූල් බෑන්ඩ් එකකුයි තෝරගෙන. එයා ඒ බ්ලවුස් එක ෆිටෝන් කරල මගෙන් හොඳද ඇහුවා. ඒක එයාට ලොකුයි. ඒත් මං හොඳයි කිව්වා. මං ඒ දෙක බිල් කලා. බිල් එක වුනේ 680යි.
‘මේ ඇතිද?’
‘ඇති..’
ඉතින් එයා ඒ ටික ගුලි කරල එයාගෙ බෑග් එක ඇතුලටම දාගත්තා. මං එයා එක්ක එහෙමම පානදුර බස් ගහන තැනට ආව.
‘ආයෙ ඔයා එන දවසට මේ කිසිම දෙයක් වෙනස් නොවී එහෙමම තියෙයිද?’
මං ඇහුවා. එයා හිනා වෙලා යන්තමට මගේ ඇඟේ වැදුන විතරයි.
‘දෙහිවල ගල්කිස්ස රත්මලාන මොරටුව පරණ පාර පානදුර පානදුර පානදුර!’
බස් එකක් ඇවිත් හෝල්ට් එකේ ගැහුවා. එයා මං දිහා බැලුවෙ යන්නද අහන්න වගේ. මාව යන්තමට සීතල වෙලා වගේ දැනුනා.
‘පරණ පාරෙ යන්න අමාරුයිනෙ. දැන් නුවර බස් එක එයි. එතකල් ඉන්න’ මං කිව්වා. මට ඕන වුනේ නුවර බස් එක තව ගොඩක් වෙලා පරක්කු වෙන එක.
ඒ මුලු වෙලාවම මං එයාගෙ වම් අතට යන්තමට හේත්තු වෙලා හිටියා. විනාඩි දහයක් වගේ.
ඊට පස්සෙ මං දැක්ක පාලම යටින් 17 බස් එක එනවා. එයා ආයෙම මං දිහාව බැලුවා.
‘යන්නම් නේද?’
‘ම්ම්ම්… පරිස්සමින්’
බස් එක ඇවිත් ගහනකොටම මං එයාව ළඟට අරන් නලල ඉම්බා. එයා තප්පර හතරකට වගේ මං දිහාව බලන් ඉඳල දුවල ගිහින් බස් එකට නැග්ගා. ඊට පස්සෙ එක තප්පරේකටවත් බස් එක එතන ගහන් හිටියෙ නෑ.
ඉතින් අපි අපිටම දුන්නු පොරොන්දු ගොඩක් නිසා අපි ආයෙ කතා කලේ නෑ. ඒත් එදා, ආයෙ කවදහරි අපි හම්බෙන්න පොරොන්දු වුනා. දෛවයේ අහම්බයෙන් වුනත් හමු වෙන්න අපි අපිට පොරොන්දු දීල තිබුණා.
අද වෙනකොට ඒ දවස ගෙවිල අවුරුදු තුනක්. අදත් අප්රේල් දෙක. මං හිටියෙ නුගේගොඩ හන්දියෙ. පානදුර බස් ගහන හෝල්ට් එකේ. හවස් වීගෙන එන ගමන් තිබුණා.
‘අඩෝ මං යන්නම් බං උඹ පලයං. කෑල්ලව බස් එකට දාන්න ඇවිත් වගේනෙ උඹ මෙතන’
‘හරි හරි බං වෙන වැඩකුත් නෑනෙ මට ගෙදර ගිහින් කරන්න කියලත්’
උදේ ඉඳල මුලු නුගේගොඩම ඇවිදල මං හිටියෙ මහන්සියෙන්. ඒත් මට ගෙදර යන්න හදිස්සියක් තිබුණෙ නෑ.
පානදුර බස් එකක් එන ගමන් තිබුණා.
‘එල මං මේකෙ යනව. උඹ මුකුත් නොකර රෑ නොවී ගෙදර පලයන්’
ඌ එහෙම කියල බස් එකට අත දාන්න ඉස්සරහට ගියා..
‘අන්න අර බස් එකේ කෙල්ලෙක් උඹට බායි කියනව යකෝ…!’
හෝල්ට් එකේ නවත්තන්නෙවත් නැතුව, එන ගමන් තිබුණු පානදුර බස් එක ඉස්සර කරල යන නුවර බස් එක පෙන්නල මලින්තය කෑ ගැහුවා. මං කලබලෙන් ඒ දිහාව බලනකොටම බස් එක මාව පහු කලා.
හුරු පුරුදු ලා කොල පාට බ්ලවුස් එකක් මට එහෙමම නොපෙනී ගියා…
උපුටා ගැනීම: -නෙත්මි යශෝධා-