මගේ ගම හිග්ගසේනේ. ඉස්සර අපේ ගමේ තිබ්බ අයිස්ක්රීම් ෆැක්ටරියක්. මතක විදිහට ඒකෙ නම “වුඩ්ලන්ඩ්ස්”. දැන්නම් තියනවද දන්නෑ. අයිස්ක්රීම් ෆැක්ටරියෙ අයිතිකාරයගෙ පොඩි පුතා අපේ වයසෙ. ඒ හිනද යාළුකමට Buy 1 Get 2 free ඔෆර්ස් අපි කෑවෙ ඒකාලෙමයි. ඒ පැත්තට යැවෙන වෙලාවක අයිස් පලම් හද හද තිබ්බොත්, අයිතිකාරය පෙනෙන්න නොහිටියොත් අපිත් අයිස් පලම් වලට කූරු ගහනව වැඩකරන මාමගෙන් ඉල්ලගෙන.
ඔන්න ඉතින් ඒකලේ අයිස්ක්රීම් විකුණන ප්රධානම ක්රමය බයිසිකලේ පෙට්ටිය බැදන් රටවටේ යන එක. මතක විදිහට අයිස් පලමක් සත 50යි, කෝන් එක රු 1යි, අයිස් චොක් එක රු2.50 ද කොහෙද. ඒකනම් මතක නෑ හරියට. මොකද රු2.50 වියදම් කරල අයිස් චොක් එකක් අරන් දෙන්න පින්වතුන් අපිට සෙට් උනේ කණ කැස්බෑව වියසිදුරෙන් අහස දකිනවටත් වඩා කාලාතුරකින්.
අපේ වාසණාවට අපි හිටිය ගෙදර තිබ්බෙ ගම්මාන බර ගානකට යන්න එන්න තියන පාරෙ මුල. ඔය පාරෙන් ගිය එකෙක් කවද හරි එන්නෙත් අපේ ගේ ඉස්සරහින්මයි. අයිස්ක්රීම් මාම පෙට්ටිය බැදැන් අර “පෝං… පෝං” හෝන් එක ගහගෙන අපේ ගේ ඉස්සරහින් ගමන අරඹන්නෙ උදේ 10ට් විතර.
අම්මගෙන් රුපියලක් ගන්න වාසණාවක් තිබ්බ දවසට මායි මල්ලියි කවදාවත් ඒ වෙලාවට අයිස්ක්රීම් ගන්නෙ නෑ. අරය රටවටේ ගිහින් පැය 3කින් විතර එනකොට ඈතදිම “හෝන්” සද්දෙ ඇහුනහම අපිදෙන්න කෝටියක් වටින “රුපියලත්” අරන් බැම්ම උඩට නැගල ඉන්නෙ. ඒම ඉන්නකොට අයිස්ක්රීම් මාමත් දන්නව අපේ විස්තරේ.
“මාමෙ, අයිස් දෙකක් දෙන්න”…. ඊටපස්සෙ අයිස්ක්රීම් මාම අයිස් පෙට්ටිය ඇරල හොදට බලල ” ගිහින් දීසියක් අරන් එන්නකො බබා”…. බෝනස් එක වදින බව දන්න නිසා ලොකුත් නැති පොඩිත් නැති දීසියක් අපි ලෑස්තිකරගෙනමයි ඉන්නෙ. අයිස්ක්රීම් මාමා අර දීසියට සෑහෙන්ඩ “ඩැමේජ් අයිස් කෑලි” දාල හොද අයිස් පලම් දෙකකුත් දීල තමයි යන්නෙ. අනේ, මාමාට තැන්කියු කිව්වද කියලනම් මතක නෑ. ෆ්රිජ් එකක් නොතිබ්බ අපේ ගෙදරට මේම අයිස් ක්රීම් හම්බෙනව කියන්නෙ ඉතින් ඒ කාලේ මටයි මල්ලිටයි නිධානයක් පහල උනා වගේ තාමා ඉතින්. නිධානෙය අරක්ගත්ත යක්ෂයො දෙන්න වගේ අපි දෙන්න “අයිස්ක්රීම්” නිධානෙට වගකියනව.
අපේ හේ එක්කම තිබ්බෙ වී මෝලක්. ඒක කලේ ජගත් අයිය. ඔන්න ඉතින් වාසිදවසය දවල්ට කාල එයා ජනේලෙ ළගට ඇවිත් කියනව, “මල්ලි කමුද අයිස්ක්රීම්”. ඒකටම තියන් ඉන්න ප්ලාස්ටික් පෙට්ටියත් අරන් මම සුටුස් ගාල දුවල බයිසිකලේටත් නැගල ඉවරයි. ලීටරක පමණ අයිස්ක්රීම් අල්ලන ඒ පෙට්ටියට රු 5ක වැනිල අයිස්ක්රීම් ගන්නෙ අපි. අයිතිකාරයා හිටියොත් ඒක පිරෙන්න නම් හම්බවෙන්නෙ නෑ. අපේ වෙලාවට යාළුවා හිටියොත්, පෙට්ටියත් පිරෙන්න දාල මට අයිස් පලමකුත් හම්බවෙනව යන ගමන් කකා යන්න….
අදටත් අයුස්ක්රීම් කියන්නෙ, මෙත් සිත් ඇතිකර සිත් සතුටින් තියන ආගමක් වගේ දෙයක් මටනම්…..
(ඡායාරූපය අන්තර්ජාලයෙන් ගන්නා ලද්දකි)
උපුටා ගැනීම: Suranga Amarawansa