“චුට්ටි අක්කෙ අඩු ගාණෙ මිනිය උස්සන වෙලාවටවත් අඩනවකෝ.. “
සමදරා නිර්මලීට කිවුවෙ ඉවසලා ඉවසලා බැරිම තැන. ඇයි දෙයියනේ මේ මැරිලා ඉන්නෙ පිට මිනිහෙක් යෑ… නිර්මලීගෙ නීත්යානුකූල සැමියා නෙව. අවුරුදු පහළොවක කසාද ගමනක අවසාන මොහොත. මොන තරම් වේදනාවක් ද වෙන ගෑනියෙකුට නම්. ආදරේ කරල බැන්දත් යෝජනාවෙන් බැන්දත් පවුල් කෑමෙ මොන වෙනසක් ද.
එහෙම මනුස්සයා මෙහෙම පෙට්ටියක වැතිරිලා ඉන්නකොට අහක බලන් ඉන්න පුළුවන් මොන ගෑනිට ද. කෑම දෙන පැත්තට ගිහිල්ල බඩ පුරා බත් කන්න පුළුවන් මොන හිතකින් ද?…
මළ ගෙදරට එන මිනිස්සු මිනියට ආචාර කරනවට වැඩිය බලන්නෙ නිර්මලීගෙ විච්චූරණ දිහා.
“වෙන ගෑනියෙක් නම් පොළොවෙ පස් කයි. ඒකට මේ බොණ්ඩි”
අතුකෝරළ ගෙදර ගෙදර සුගුණවතී ඩලස් නෝනට කියනවා සමදරා අහගෙන.
දෙයියනේ මේ කුණු කතා අහන්නෙ තමන්ගෙම අක්ක නේ. දන්න තරමින් දෙන්න හොද පවුල් ජීවිතේකුත් ගෙනිච්චා. සමදරාලට අම්මලට වැඩිය හොයන්න බලන්න පුකුවන් දුරක නොහිටියත් ලියුම් එහෙම ඉතිං හුවමාරු වුණානෙ… අක්කා කවදාවත් පවුල් ජීවිතේ නරකක් කියල නැති බව සමදරාට විශ්වාසයි.
නිර්මලීට බැන්කු පත්වීමක් ලැබුණට මොකෝ සරත් අයියා රස්සාවට යන්න නොදුන්නෙත් තියෙන ආදරේටමනේ. කිසි දවසක නිර්මලී සරත් අයියගෙ වැරැද්දක් අඩුපාඩුවක් කියනවා සමදරා අහලම නෑ. එහෙවු එකේ මරණෙ දවසෙ මෙහෙම හැසිරෙන්න චුට්ටි අක්කට අමු කැවිලද කියලා සමදරා ලොකු අක්කා වුණ වසන්තාගෙනුත් ඇහුවා..
“ම්හු… එයා අපිට ලැජ්ජ කරනවා. මං නම් දානෙටත් නොහිට යනවා “
ගෝතමියෙ නියෝජ්ය විදුහල්පතිනිය වෙච්ච වසන්තා අක්ක කිවුවෙ එයාගෙ ස්ටාෆ් එකේ අයත් නිර්මලීගෙ ඇස්වලින් පේන සන්තෝසෙට හේතු අහපු නිසා.
වසන්තා ගියාට සමදරාට නම් නිර්මලී දාලා යන්න හිතුණෙම නෑ.. පුංචි කාලේ ජංගියක් විතරක් ඇදන් සෙල්ලම් කරපු සහෝදරියො දෙන්නනේ…
” සරත් මහත්තය කියන්නෙ සුවල්ප කෙනෙක් ද… ගුණානන්දෙ හැදුවෙ මේ උත්තමයනේ… දැනටමත් තාවතින්සෙ දිවිය ඉස්තිරියො පිරිවරන් පරසතු මල් නෙළනව ඇති”
ඒ කිවුවේ ටෙන්ට් එක යට සුදුපාට පුටුවෙ වාඩි වෙලා ගුණානන්දෙම සිසුවියක් ගෙනත් අල්ලපු නෙස්කැෆේ එක බොන ඇසිලින්.
කිවුවෙ බොරුවකුත් නෙවෙයි. සරත් මහත්තයා ගුණානන්දෙ ඉස්කෝලෙට ආවෙ විදුහල්පති විදියටමයි. ඒ එද්දි මුළු ඉස්කෝලෙටම තිබුණෙ එක දිග ශාලාවයි. ඒ ශාලාවෙම කෙළවරක ඔෆීස් එක. සරත් මහත්තයා එනකොට ඒ ඔෆීස් එකේ තිබිලා තියෙන්නෙ එකම එක දූවිලි වැදිච්ච ඉටි මල් පොකුරක් එක්ක මේසෙකුයි. ඒ මේසෙ උඩ එන ලිපි යන ලිපි ෆයිල් දෙකයි තව එකම එක කබඩ් එකකුයි විතරයි. ඔෆීස් එකේ එකම ජනේලෙට රෙද්දක් මහල තුබුණෙ කලින් හිටි විදුහල්පතිතුමාගෙ නෝනා.
ගුරුවරුන්ට කියලා වෙනම ස්ටාෆ් රූම් තිබිලා නෑ.. අඹ ගහේ ගෙඩි නැති කාලෙට කට්ටිය තේ බොන්න එක්කහු වෙන්නෙ ඒ අඹ ගහ යටටලු. අඹ ගෙඩි හැදිලා වැටෙන්න ගන්න කාලෙට ගුරුවරු ඔක්කෝම පිට්ටනියෙ තියෙන මයිල ගහ යටට යන එක පුරුද්දක් වෙලා තිබුණෙ ඩාං පටෝරියං ගාල වැටෙන අඹ ගෙඩිවලට තියෙන බයට වගේම ඉදහිට නසරානියෙක් ටක්කෙටම එල්ල කරල අඹ ගහට ගහන ගල් ශොට් එකක් වැදිලා අපූරුවට තියෙන ඔලුවක් නළලක් පැලේවි කියන බයට.
ගුණානන්දෙ ඒ වෙද්දි ඉදලා තියෙන්නෙ ළමයි තිස් දෙකයි. එක වසරේ ඉදන් එකොළහට යනකල්. එකොළහයි, එකයි පහේ පංතියයි ආයෙ නමය වසරයි විතරක් දිග ශාලාවෙ ඉගන්වද්දි අනිත් ළමයින්ට උන්නල තියෙන්නෙ පිට්ටෙනියෙ අයිනෙ තිබුණ ගස් යට ඉදන්… වැස්ස කාලෙට නම් ඔක්කෝම දිග ශාලාවෙ. ඒ කාලෙට ඉතිං කඩදහි ඔරු හදනව ඇරෙන්න පංති පැවැත්තිල්ලක් නැහැ කියලයි ගමේ උන්දැලා කියන්නෙ.
සරත් මහත්තයා ඉදපු කාලෙ තුළ ඉස්කෝලෙට දෙමහල් ගොඩනැගිල්ලකුයි තව දිග ශාලාවකුයි ඔෆීස් එකකුයි පාස් කර ගත්තා කොහොම හරි ආණ්ඩුවෙන්..
ඒ විතරක් නෙවෙයි ගමේ මිනිස්සුන්ගෙ උදවුවෙන් පුංචි කාමර කෑල්ලක් හදලා ඒක බෝඩ් වලින් වෙන් කරලා එක පැත්තකට පුස්තකාලය කියලා නමකුත් තිබ්බා. අනිත් කෑල්ල විද්යාගාරය.
ළමයි 32 ඉදන් හත්සිය පණස් හතරක් දක්වා උඩට ගත්තා විතරක් නෙවෙයි පහුණු අවුරුද්දෙ සාමාන්ය පෙළ ඒ නමය ගත්ත තුන් දෙනෙක්ම හිටියා.
එහෙවු උත්තමයෙක් වෙච්ච සරත් මහත්තයගෙ මරණෙට ආපු සෙනග කියා ගන්න බැරි තරම්. මරණේ වෙනුවෙන් අඩපු නැති එක මූණයි තිබුණෙ…ඒ නිර්මලී
” පොඩ්ඩො අර අක්කට ඩිංගක් මිනිය ගාවින් වාඩි වෙලා ඉන්ට කියපං. එයා අර කාබරේට වැදිලා සෝබනේට ඇදුම් අදිනවා. බලන්න ලැජ්ජයි… මං මේ ගෙදෙට්ට ආවෙත් තුන් අවුරුද්දකින්. නේන්නෙත් මේකිගෙ ලොකුකම හින්දා.. ආවට මූණක් දීලා කතා කරන එකක් යෑ..”
අම්මා සමදරාට ඇවිත් කිවුවේ බැරිම තැන. දැන් මිනිය උස්සන්නත් ළගයි. බෙර දවුල් ගහන වාරයක් පාසා සරත් අයියගෙන් ඉගෙන ගත්ත ළමයිනුයි ස්ටාෆ් එකයි ගමේ මිනිස්සුයි අඩා වැටෙනවා.
නිර්මලී විතරක් සුදු සායක් හැට්ටයක් ඇදන් කිසි ගාණක් නැතුව ඉන්නවා.
” සාමා මේක උස්සන්නෙ නැද්ද”
නිර්මලී සමදරාගෙන් ඇහුවෙ ඉවසලා බැරිම තැන වගේ. සාලෙ පෙට්ටියක වැතිරිච්ච සරත් එතනින් ඉවත් කරනකල් ඉවසිල්ලක් නැති බවක් තමයි නිර්මලීගෙන් පෙනුණෙ.
” මොකක් ද චුට්ටි අක්කෙ තමුසෙට වෙලාතියෙන්නෙ. අම්මත් කේන්තියෙන් අරහෙ වසන්ති අක්කත් යන්න හදනවා. තමුසෙගෙ මිනිහා ඕයි මේ ඉන්නෙ. අඩන්න බැරි නම් ටිකක් අර ළගින් ඉන්නවා මිනිස්සුත් තමුසෙ ගැන අනන් මනන් කියනවා. “
සමදරා කිවුවේ යස්සාරූඪෙන් වගේ.
“මිනිස්සුන්ට ඕන විදියට මං හිටියා මදිද පොඩ්ඩි. “
නිර්මලී කිවුවෙ එච්චරයි. ඒ කියලා ඈ වේගෙන් කාමරේට ගියා ඒ පස්සෙන් සමදරත් ගියේ අක්කගෙ හැටි දන්න නිසා. අඩන්න ගත්තොත් ආය නවත්තනවා බොරු.
“චුට්ටි අක්කෙ…”
නිර්මලී ඇද විට්ටමට ඔලුව තියන් ඉද්දි සමදරා දොර වැහුවෙ අක්ක හයියෙන් කියවන්න ගත්තොත් මිනිස්සුන්ට මේක තව අලුත් මාතෘකාවක් වෙන නිසාමයි.
අවුරුදු පාළොවක කසාද ජීවිතේ ඇතුළෙ ගෙයින් එළියට මහා දෙවියෙක් වෙච්ච සරත් ගෙදරට අමු තිරිසනෙක් වෙන්න පටන් ගත්තෙ කසාද බැදපු දා ම නේද කියලා හිතෙද්දි නිර්මලීට දැනුණෙ ඇග ඇතුළෙන් විදුලි කොටාගෙන යන්න වගේ. එතන ඉදන් නිර්මලී කියපු කතන්දරේ අහද්දී සමදරාගෙ අත් දෙකත් කිටි කිටියේ මිට මෙලවුණා.
“පට්ට වල් පරට්ටි කියපිය. තෝ මොකා එක්කද ලැග්ගෙ.. ලේ පැල්ලමක් නැති ගෑනු ඉන්නෙ ගණික මඩම්වල යකෝ “
මගුල් දවසෙ රෑ ඇද රෙද්ද පුරා හෙවුවත් ලේ පාටක් නොතිබිච්ච තැන පරල වෙලා කෑ ගැහුවේ ඔය පෙට්ටියෙ ඉන්න සත් ගුණවත් සරත්ම නේන්නම්..
ගෙදර ගෑනු දරුවන්ගෙන් තුන් වෙනියා වෙච්ච නිර්මලී එක දවසක්වත් ගෙයින් පිට හිටි එකියෙක් නෙවෙයි. අඩු ගාණෙ යෝජනාවකින් සරත්ව බදිනකල් නාමිකවවත් ප්රේම සම්බන්ධයක් තිබුණෙ නැහැ ඈට. එහෙවු හැදියාවක් ඇතුව ඉදලත් මෙහෙම අවලමියෙක් විදියට හංවඩු ගැහෙද්දී නිර්මලී අඩා වැටුණා..අඩන පාරක් පාරක් ගාණේ බඩටයි පිටටයි පාරවල් වැදුණා මිසක් සරත්ගෙ හිතේ එක දශමෙක මනුස්සකමක් නම් ඇති වුණේ නෑ.
” අනේ මාව දික්කසාද කරන්න දෙයියනේ.”
ලේ බින්දුවෙන් පටන් ගත්ත කාලකණ්ණි කසාද ජීවිටේ පුරාවටම නිර්මලී ඉල්ලුවත් කවදාවත් ඈ නොලද්දේ ඒ නිදහසම තමයි.
” උඹේ මූණට මං කවදාවත් අත තියන්නෙ නෑ යකෝ… ඕකෙ පාරවල් වදිද්දී එවුවා එළියට පේනවා.”
හැමදාම ගෙදර තියන් බොන සරත් බීලා ඉවර වෙලා සද්දෙට ගමටම ඇහෙන්න සෙත් පිරිත් දාලා රත් වෙච්ච අයන් එක නිර්මලීගෙ පිටට තියද්දි කිවුවේ වියරුවෙන් වගේ.
කිසිම දවසක ඇදක නිදා ගන්න ඉඩක් නිර්මලීට ලැබුණෙ නෑ. දවල් දවස කුස්සිය මුල්ලෙ ඉන්න ඈ රෑට රෙද්දක්වත් නැති හීතල පොළොවෙ වැතිරිලා ඉන්නෙ. සරත්ගෙ ලිංගික වහලියක් විදියට හිටියා මිසක් සම්මතේ පතිනියක් නොවුණ නිර්මලී කවදාවත් ඒ දුක එළියට දුන්නෙ නෑ.. දුන්නෙ නෑ නෙවෙයි දෙන්න ඉඩක් තිබ්බෙ නෑ.. ඒ තරම්ම සරත් නිර්මලී වටේ හිටියා.
එහෙවු සරත්ගෙ මළගම ආරංචි වුණහම සන්තෝසෙන් අපූරු හිනාවක් නගා ගත්ත නිර්මලීව දැකපු මහ ඉස්පිරිතලෙ දොස්තර මහත්තය හිතුවෙම විදුහල්පතිතුමාගෙ නෝනා පිස්සියෙක් කියලා.
මරණෙ කටයුතු හරි අපූරුවට සිද්ධ වෙද්දි කවදාවත් අදින්න ලැබුණෙ නැති මහ පෙට්ටගමේ තිබුණ සුදු ඇදුම් එකින් එක ඇද ඇද නිර්මලී මිනිස්සු ඉස්සරහට ආවා.
සරත්ගෙ ළගදි හැමදාම කොණ්ඩෙ ගෙඩිය ගහන් හිටි නිර්මලී ලස්සනට පෝනි ටේල් එකක් දැම්මා.
සරත්ගෙ අම්මලයි නිර්මලීගෙ අම්මලයි මේ ගෙදරට එන දවසට විතරක් හැඩ වැඩ වෙවී බොරුවට රඟපාපු නිර්මලී සරත් මළ දා ඉදන්ම ඇත්ත ජීවිතේට අවතීර්ණ වුණා.
කවුරුත් ගෑ ගහල අඩන්න කියලා කියද්දී නිර්මලීට ඕන වුණේ මහා හයියෙන් හිනා වෙන්න.
පුදුම නිදහසක් ඈට දැනුණා…
“එතකොට චුට්ටි අක්කට බැන්කුවෙ රස්සවට යන්න නොදුන්නෙත් ඔය තරහටම දෙයියනේ…. “
ඇද විට්ටමට ඔලුව තියන් මහා දිග පාළොස් අවුරුදු කතන්දරයක් සාරාංශ කරපු නිර්මලී තුරුල් කර ගත්ත සමදරා ඇහුවේ වෙන අහන්නෙ මොකක් ද කියල හිතා ගන්නවත් බැරුව.
“එයා ඒ ලියුම කෑලි කෑලිවලට ඉරලා පිච්චුවා පොඩ්ඩි. “
“අක්කට තිබ්බෙ කොහොම හරි පැනලා එන්න “
” ඒ ආවා නම් අද උඹල අපි කවුරුවත් නෑ නංගී. “
“මූ නම්…. “
“මට සතුටුයි පොඩ්ඩි… මට හරී සතුටුයි. ඉතිං උඹලා අඩන්න කියද්දි මං අඩන්නෙ කොහොම ද බං…මේ මිනිහා පුච්චද්දිත් ඇත්තමයි මට මහා හයියෙන් හිනා යාවි…. “
එහෙම කියපු නිර්මලී මහා හයියෙන් හිනා වුණා. සමදරා ඒ හිනාව දිහා හැඟීම් නැත්තියක සේ බලාගෙන හිටියා.
නිමි
උපුටා ගැනීම: උද්දීපා ගමගේ