ඉඳා පැකට් (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කෙටියෙන් ලියා තබමි..
ඒ දෙදහස් එක වසරයි. එවකට අප නවය වසරේය. නිශාන්ත බන්ඩාර ක්රීඩා ආචාර්යතුමා විසින් බණ්ඩාරවෙළ මැදිමහ විදුහලින් බිහිකල පළමු වොලිබෝල් කණ්ඩායම (මතක විදියට), එසේත් නැතහොත් පළමු වරට සමස්ථ ලංකා මට්ටමට ගිය කණ්ඩායමේ සාමාජිකයකු වීමට මටද හැකිවිය. අතිරේක ක්රීඩයකු ලෙස හෝ පාසල් කණ්ඩායම නියෝජනය කිරීමට ලැබීම හෙන දෙයකි.
ඒ වනවිට වොලිබෝල් වලට අත්පොත් තැබුවා පමණක් නිසා සමස්ථ කණ්ඩායමම තාක්ශණය සහ උපක්රම අතින් ඒ තරම් පෙරමුණේ නොසිටියත් කණ්ඩායම් හැඟීම සහ කැපවීම නිසා කොට්ඨාශයේ ධර්මපාලයන්,
ධර්මාශෝකයන්ද, කළාපයේ ජනානන්දයන්ද පළාතේ ධර්මදූතයන්, මල්ලත්තාවල සෙන්ට්රලීයන් අභිබවා සමස්තලංකා මට්ටමට ළඟාවීමට අපට හැකිවිය.
ඒ වනවිට අපේ කණ්ඩායමේ ප්රධානම තුරුම්පුව සහ ප්රහාරකයා වූයේ අපට වඩා දෙගුණයක් පමණ උසැති බුද්දික ය. ඊට අමතරව දුමින්ද සහ කෝලික ප්රධාන පහර දෙන්නන් ද, කුශාන් ඔසවා දෙන්නාද මිතිල අවැසි විට ඔසවා දෙන්නා සහ අවැසි විට පහර දෙන්නාද, කණිශ්ක නිහඬ නමුත් පිටිය ආවරණය කරන්නාද, සජීවක ලිබරෝද සහ මා ඇතුලු සෙස්සන් අතිරේක ක්රීඩකයන්ද වූවෙමු,
කෝලික සහ දුමින්ද පහර දීමේදී මනා හික්මීමක් සහිත වූවත් බුද්ධික කම්මැලියෙක් (උස නිසා) සහ කුකුල් කේන්තිකාරයෙක් වූ මුත් හරියට වැදුනි නම් ඔහුගේ ප්රහාර මල්ට් බැරල් මෙන් විය. මේ සියළු සංයෝගයන් නිසා ගාල්ල රිච්මන්ඩ් (මතකයට අනුව) පරදවා සෙමි ෆයිනල් පැමිණි අප මාදම්පේ සේනානායක හෝ කඳාන මැසනඩ් ඉදිරියේ පරදින්නේ කණගාටුවක් හිත තබාය.
මගේ කතාව එතැන් සිටයි
තෙවන ස්ථානය සඳහා අප තරඟ වදින්නට යෙදුනේ නාත්තණ්ඩිය ධම්මිස්සරයන් සමගය. අහෝ දුකකි. ඔවුන් උපතේ සිට වොලිබෝල් ගසා ඇත්තවුන්ය. අපි මීටර සියයේ මුදලිහාමිලා වාගේය.
ඔවුන්ගේ දැනුමට අනුව අප බුද්දිකයානන් බිඳ දැමිය යුතු බව සහ, එය කල හැකි බව උන් වටහාගත්හ, අපේ ශක්තිය කැටිවී තිබුනේ එතැන බව උන් වටහා ගත්හ. එසේ හෙයින් ඔවුන්ගේ සපෝර්ටරයන් බුද්ධික අලලා නොයෙක් පද පෙරලන්නට විය.
අන්න අතන කෝපි කඩේ
අංක හතේ වලක් වලක්
අවසානයට කියැවුනේ අංක හතේ පැකට් එකක් අංක හතේ පැකට් එකක් කියාය
මේ වනවිට බුද්ධිකයාට කුකුල් කේන්තිය ඉහවහා ගොසිනි. අප සිටියේ කරට කරය. ජයග්රහණයේ බලාපොරොත්තු ඉහවහාය.
සියල්ල සැණකින් සිදුවිය. අසූ හාරදහසට මල පැන සිටි බුද්ධිකයා ප්රහාරයක් එල්ල කිරීමට ඉහල නැගුනේය, ඔසවා දීම සාර්තකය
ඉ..න්..දා,,,,,පැ…..ක….ට්…
මුවගින් එසේ ගිගුම් දෙමින් යගදා ප්රහාරය එල්ලවිය.
සියල්ලන්ම මදකට ගැස්සී ගියෝය. මද පවන මොහොතකට නැවතින. අපේ දෙනෙත් බෝලය දෙසය. වේගයෙන් බෝලය ඊ ගසක් සේ ඇදී යයි. වා තලය කම්පනය විය. සපෝටරයන්ගේ දෙනෙත් උඩ ගියෝය. වැටුන සූර්යාලෝකයෙන් දෑස් නිලංකාරවූයේය. අප ජයග්රහණයේ මාවතට අවතීර්ණ වූවාක් මෙන් ය. පන්දුව පතිත විය.
විනිසුරු දෑතම ඔසවා එය පිටියෙන් ඉවතට ගිය බව සන් කලේය.
“කමෝන් බුද්ධිකයා…නෝ හරී…ඩෝන්ට් වොරී…අපි ගහමූ…”
“ඉඳා පැකට්”
දෙවන ප්රහාරය එල්ල විය.පෙරකී සියල්ල සිදුවිය. අපි පන්දුව දෙස දෑස් යොමා බලන් සිටියේ ඊළඟ නිමේෂය කුමකින් කුමක් වේදැයි දෙගිඩියාවෙනි. පන්දුවට නිසි පහර වැදිනි. පන්දුව වේගයෙන් ඊ ගසක් මෙන්. විදුළි සැරයක් මෙන්, විදුලි දුම් රියක් මෙන්, සුපර් සොනික් ජෙට් යානාවක් මෙන්, ඇදී
හෝ…ව්…. එච්චර ගියෙ නෑ,ඒක දැලේ.
බුද්ධිකයා පැකට් පැකට්. බුද්ධිකයා පැකට් පැකට්.
බුද්ධිකයා ගොරක යකා මෙන් ය.
අන්තීමට බුද්දිකයාගෙ පැකට් ප්රහාර නිසා අපිට බඩු පැකට් විය. ප්රතිවාදීන්ගෙන් එල්ලවෙන පීඩන හමුවේ තම මානසිකත්වය කෙසේ පවත්වාගතයුතුද යන්න ඌ දැන සිටියේ නැත. අවසානයේ සිව්වන ස්ථානය දිනා පාසලට පැමිනියෙමු. එපමණය
එතැන් පටන් දේෂණ, උපදේශණ, පුහුණු සැසි.
සියල්ල යහමින් ඉටුවිය..
අවසානයේ බුද්දිකයාගේ හික්මීම ලැබී කම්මැලිකම දුරුවිය. පළාතේ නම් දරාපු ප්රහාරකයෙක් විය. ඔහුගේ ප්රහාරයන් හිසට පතිතවීම වැලැක්වීමට අහිංසක අපි මෙන්ම පළාතෙ නමගිය ක්රීඩකයන්ද පරිස්සම් වූ බව නොරහසකි. ඔහුගේ හික්මීම හා කැපවීම ඔහුට ඒ තත්වය උදා කර දුනි.
කෝලිකයා විශිශ්ටතම කෙටි ප්රහාරකයකු විය. ඔහු ඉහළ නැගුනොත් පන්දුව අනෙක් පස ඇටෑක් ලයින් එකටත් මෙහා පතිත කරන්නේ අසුරු සැනිනි. ඒ ප්රහාරයෙන් මවිත නොවූවෙක් වී නම් ඒ පුදුමයකි. දුමින්දගේ අලංකාර ප්රහාරයන් එල්ල වූයේ පසු පස සිට මෙන්ම ඕනෑම තැනක සිට පාවී ගොස් ය. ඒ තරමට ඒ පහරවල් ප්රියමනාපය. මේ සියල්ලට ලොකුම පිටුවහල පසු පසට පමණක් නොව තුන්සිය හැටටම ඇස් ඇති කුශාන් ය. බටු ඇට දෙකක් තරමට උස ඔහුගේ ඔසවා දීම් විශිශ්ට විය.
මිතිල සහ කනිශ්කගේ පිටිය ආවරණය සහ අවශ්ය විටෙක ක්රියාත්මක වීමද සහ ඕනෑම මොහොතක අඩි ගණන් පාවි ගොස් පන්දුව උඩට ගෙන එන ලිබරෝ සජීවක නිසා පසු කාලයක කඳාන මැසනඩ් විද්යාලය අප විදුහලට ගෙන්වා අමතක නොවන පාඩම් උගන්වා යැවීමට පවා අප විදුහල් කණ්ඩායමට හැකිවිය. කොටින්ම යුගයේ විශිෂ්ඨතම කණ්ඩායමක් බවට පත්විය
මෙසේ මනා කැපවීමෙන් අපද ක්රියා කලෙමු. අවසානයේ මා ඇතුලු මගේ මිතුරු අතිරේක බලඇණිය? අපි දිවා රෑ මහන්සි වුනෙමු. තරඟ දිනවන උපක්රම සකස්කලෙමු. පිඹුරුපත් ඇන්දෙමු. ජිම් ගියෙමු. අවවසානයේ?
ඒත් ඉතින් අතිරේකම තමයි
මේ පින්තූරය මේ සිදුවීමෙන් වසර දෙකකට පසු ගත්තකි. ඒ වනවිට අපි අධ්යාපනය වෙනුවෙන් ක්රීඩාවට සමු දී තිබුනි. අවසානයේ අපිට දෙකම නැතිය
උපුටා ගැනීම: Ishara Wanasuriya

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!