ඉන්දියාව (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉන්දියාව කියන්නේ පුංචි සන්ධියේ ඉඳන් මම ඒ තරම් කැමැත්තෙන් හිටපු රටක් නෙමෙයි. 1987 ජූනි 5 වැනිදා ඉන්දීය ගුවන් හමුදාව “ඔපරේෂන් පූමාලෙයි” හරහා උතුරු පළාතට ගුවනින් පරිප්පු දැම්මට පස්සේ මේ අකමැත්ත තවත් වැඩි වුණා.
කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට එල්.ටී.ටී.ඊ. ය ප්රහාර එල්ල කළේ 1995 අවුරුද්දේ ඔක්තෝබර් 20 වැනිදා. මේ තෙල් ගබඩා සංකීර්ණය තියෙන්නේ අපේ ගෙදර ඉඳන් මීටර් 100 ක් විතර දුරින්. තෙල් ගබඩා සංකීර්ණය අපේ ගමෙන් වෙන්වෙන්නේ ගඟකින්. අපි මේ ගඟට කියන්නේ තෙල් ගඟ කියලා.
මේ තෙල් ගඟ සහ මගේ ගෙදර අතර තියෙන මීටර් 100 ක් වෙන කෙටි දුර ප්රමාණයේ ගෙවල් සිය ගණනක් තියෙනවා. සමස්ථයක් විදිහට තෙල් සංස්ථාව පිටුපස්සේ තියෙන අපේ ගමේ ගෙවල් දාස් ගාණක් තියෙනවා.
අපි පොඩි කාලේ ඉඳලම අහලා තිබ්බේ තෙල් සංස්ථාවට ගැහුවොත් මුළු කොළඹම විනාශයි කියන එක. ඉතින් එල්.ටී.ටී.ඊ. මේ තෙල් ටැංකිවලට ගහලා ඒවා ගිනි ගන්න කොට අපේ ගමේ හැමෝටම ජීවිතේ පළවැනි පාරට මරණ භය කියන එක ආවා. මේ ප්රහාරය සිද්ධ වෙච්චි දවසේ රෑ තෙල් ටැංකි වලින් උඩට නැග්ග ගිනි දැල් නිසා අපේ ගමට ඉහළ අහස රතුම රතු පාට වුණා. ඒ ගින්නට වඩා ලොකුයි අපේ හිත්වල නැග්ග ගින්න.
මේ ගින්න නිවන්න අවශ්ය කරන සම්පත් අපේ ගිනි නිවන හමුදාවට තිබුණේ නැහැ. ගිනි නිවන හමුදාව ඊට කලින් ඒ වගේ ගින්නක් නිවලා තිබ්බෙත් නෑ. උඩින් ගිහින් වතුර ඉහින ගුවන් යානා අපේ ගුවන් හමුදාවට තිබුණේ නැහැ. ඒත් එදා ඒ ගින්න තෙල් සංස්ථාවෙන් පිටට නොයා පාලනය කරගන්න ලංකාවට උදවු කළේ ඉන්දියාව. ගිනි ගන්න ටැංකි ටික වටේ තිබ්බ ගිනි නොගත්තු ටැංකි සිසිල් කරන්න උඩ ඉඳන් වතුර දැම්මේ ඉන්දීය ගුවන් හමුදාවට අයිති ගුවන් යානයක්. දවස් තුනකට පස්සේ ගින්න නිවුණා. අන්න එදා තමයි ඉන්දියාව ගැන මගේ හිතේ තිබ්බ අකමැත්ත නැති වෙලා ගියේ.
ක්රිකට් ක්රීඩාව පැත්තෙන් ගත්තාම අපේ පරම වෛරක්කාරයා තමයි ඉන්දියාව. ඉන්දියාව එක්ක තියෙන මැච් එකකදි දැනෙන ත්රිල් එක වෙන කිසිම රටක් එක්ක තරග කරද්දි අපිට දැනෙන්නේ නැහැ. ශ්රී ලංකාවට ටෙස්ට් තත්ත්වය ලැබුණේ 1981 දී. ශ්රී ලංකාවට ටෙස්ට් තත්ත්වය දෙනවට එදා ටෙස්ට් ක්රිකට් ක්රීඩා කරපු රටවල් කිහිපයක් කැමැති වුණේ නැහැ. මම අහලා තියෙන විදිහට අපිට ටෙස්ට් තත්ත්වය අරන් දෙන්න ඉන්දියාව වගේම පාකිස්ථානයත් ලොකු සහයෝගයක් දුන්නලු.
සුනාමි වෙලාවෙත් ඉන්දියාව අපේ උදවුවට ආවා. ඊළාම් යුද්දේ මුල් කාලයේදි ඉන්දියාව එල්.ටී.ටී.ඊ. යට සහාය දෙන ප්රතිපත්තියක හිටියත්, අවසාන කාලයේදී, විශේෂයෙන්ම රජීව් ගාන්ධි ඝාතනයෙන් පස්සේ ඉන්දියාව අපිට බුද්ධි තොරතුරු ලබාදීමෙන් සෑහෙන උපකාර කළා. කොටින්ම අපේ නාවුක හමුදාව සතුව තියෙන හොඳම නැව විදිහට සැළකෙන “සයුර” නෞකාවත් අපට දුන්නේ ඉන්දියාව.
වැඩිය ඕනේ නෑ.. “සුව සැරිය” ගිලන් රථ සේවය අපිට දුන්නේ ඉන්දියාව. අද ඉන්දියාවේ කොවිඩ්-19 නිසා අසාධ්ය වුණු මිනිස්සු ත්රීවීල්වල ප්රතිකාර ගන්න අරගෙන එනකොට, අපේ ලෙඩ්ඩු “සුවසැරියෙන්” ඉස්පිරිතාලේ අරගෙන යනවා. නිකන් හිතන්න “සුව සැරිය” තිබ්බේ නැත්නම් අපේ ගිලන් රථ සේවාව මොන තත්ත්වයක තියෙයිද කියලා.
අද ඉන්දියාව කොවිඩ්-19 වසංගතය නිසා විනාශයේ කෙළවරටම ඇවිත්. මිනිස්සු මහ මඟ මැරෙනවා. රෝහල්වල ඉඩ නැති නිසා මිනිස්සු ත්රීවීල් ඇතුළේ ප්රතිකාර ගන්නවා. දවසට ලක්ෂ ගානක් පොසිටිව් වෙනවා. මැරුණු මිනිස්සු දර ගොඩවල් ගහලා පාරවල්වල ආදාහනය කරනවා. මොන දේ වුණත් ඒ ලෙඩ වෙන්නේ මැරෙන්නේ මිනිස්සු….
ප්රාර්ථනා කළ පමණින් ලෙඩ සනීප වෙන්නේ නම් නැහැ… ඒත් ඉන්දියාව වෙනුවෙන් අපිට කරන්න පුළුවන් එකම දේ යහපතක් ප්රාර්ථනා කරන එක විතරයි.
අසල්වැසි ඉන්දියාව සුවපත් වේවා….
– අනිල් කරුණාරත්න –

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!