– ඉංග්‍රීසී සාහිත්‍යය – (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක උනේ ඉස්කෝලේ දහය වසරෙදි. හැබැයි කතාවේ ටීකාව යනවා හය වසරට.
ඔන්න මං පුතා සිස්සත්තේ එහෙම පාස් වෙලා යනවා වෙන ඉස්කෝලෙකට. මාව දාපු පන්තියේ ඉන්නේ ඔක්කොම සිස්සත්තේ පාස් වෙලා වෙන ඉසකෝලවලින් ආපු එඋවුනුයි, පාස් වෙලත් මේකෙම ඉන්න එවුනුයි, පාස් මාක් එක කන ගාවින් ගිය එවුනුයි. සරලව කියන්වා නම් සෙක්ෂන් එකේ මීටර් ටික. එහෙම පංතිය හදලා තියෙන්නේ ඕලෙවල් ටාගට් කරලා.
ඔන්න හයෙන් හතට ආවට පස්සේ සෞන්දර්යට විශයක් තෝර ගන්න ඕනේ. තාලෙට අප්පුඩියක්වත් ගහ ගන්ඩ බැරි මම සංගීත කරන්ඩ හිතුවේ අනිත් ඒවා ඒ තරමටවත් බැරි නිසා. පුදනකොටම කාපි යකා කියලා අපේ පන්තියට නීතියක් දැම්මා, මේ පංතියේ ලමයි ඔක්කොම සෞන්දර්යට ඉංග්රීසි සාහිත්ය කරන්ඩ ඕනෙය, එහෙම නැත්තං වෙන පංතියකට දානවාය කියලා. ඉතිං අපේ මාපියන්ට කුලප්පුව හැදිලා අපිට ගෙවල්වලින් මරණ තර්ජන ඉංග්රීසි සාහිත්යම කොරපිය කියලා.
ඒ ඉතිං විප්ලව කරන වයසක් නෙමෙයි නිසාත්, අම්මලා කෝට්ට ගන්නකොට කලිසමේ සුලු දිය පහවන නිසාත්, අපේ පංතියේ එවුන් සද්ද වහලා, කං පාත් කරං, නැට්ට පු@ ගහං, ඉංග්රීසි සාහිත්ය කරන්ඩ පිලිවෙතින් පෙල ගැහුනා.
බෑං චූං ගහගෙන පටන් ගත්තට මොකද, වැඩේ හොදයි වගේ. ඉංග්රීසිවලටත් වැසිය ලේසි. වාර විබාගේ පේපරේට 80+. ඔය අතරේ අපේ පංතියේ හිටියා එවකට ගරු විදුහල්පති තුමාගේ පුත්ර රත්නය හා තව ටීචර්ලා දෙන්නෙකුගේ පුත්ර රත්නයන්. පලවෙනි වාරෙන් පස්සේ මුං ගියා නටන්ඩ. ඒ උනාට උන්ගේ පංති මාරු කලේ නෑ. දෙවනි වාරෙ වෙනකොට එහෙන් මෙහෙන් එකා දෙන්නා අනිත් විෂයන් වලට මාරු උනා. හැබැයි පංතිය මාරු උනේ නෑ.
මාරු වෙච්ච එවුන්ගේ වාර විබාගවල සෞන්දර්යට ලකුණු අඩුයි. අපිට තාම 80+. මේක ඕලෙවල් වලටත් බලපාන නිසා අපි වැඩි විරෝධයක් නැතුව ඉංග්රීසි සාහිත්යම දිගටම කරගෙන ගියා. වාර විබාගවල ලකුණු දෙනකොට අරුන්ට ඇගිලිවලින් කුණුහරප පෙන්න පෙන්න අහිංසක කුරිරු සතුටක් ලබන්ඩත් අමතක කලේ නෑ මිත්රවරුණි.
කොහොමින් කොහොමින් හරි 10 වසරටත් ආවා. ඉංග්රීසි සාහිත්යට අච්චු පොතකුත් දුන්නා. ටීච හැමදාම නෝට් එකක් කියවනවා, අපි ලියනවා. ඔන්න වාර විබාගෙත් ආවා.හරි ශෝක් පේපරේ. දෙපැත්තම ප්රින්ට් කරපු තනි කොලයක්. පැය බාගයයි, උත්තර ලියලා කොලේ දීලා, වැඩ්ඩා වගේ එලියට ආවා. අනිත් එවුන් මගේ දිහා බැලුවේ හදුනා නොගත් ජීවියෙක් දිහා බලනවා වගේ. “තනි පිටුවේ පේපරේට මුං මොනවා මෙච්චර ලියනවද දන්නෑ ” එහම හිත හිත මං ගෙදර ආවා.
අරුන්ට ඒ කාලේ ඇගිලිවලින් කුනුහරප පෙන්නපුවා ගෙඩිය පිටින් පලදීලා පෙපරේට ලකුණු පහලවයි. “මට පේන්නේ ටීච බුලක් ගහලද කොහෙද..” ගැම්මට ගිහින් ටීචගෙන් ගේම ඉල්ලුවා නිකං මද්දුම බණ්ඩාර වගේ. ටීච පේපරේ අරන් බැලුවා. මගේ උත්තර පත්තරේ පිටු දෙකයි. ටීච ඒක දිහා බලලා මගේ දිහාත් බලලා, වැඩිම ලකුණු ගත්ත එකාගේ පේපරේ ගෙන්නගෙන මට පෙන්නුවා. ඌ කොල මිටියක් ලියලා. ඒත් ඌට හැට ගානක්.
“මෙච්චර ලියපු මේ ලමයට හැට ගානක් නම්, ඔයා කොල දෙකක් ලියලා මගෙන් කීයක්ද බලාපොරොත්තු වෙන්නෙ…? ” හරිනේ.. සායම ගියානේ. අස්සයා මැරිච්ච කව්බෝයි වගේ ගිහින් ඉදගත්තා.
ඕලෙවල්වල කණුවක් මැවී පේනවා දැන්. මේක හරියන්නෑ.මොකක් හරි කරන්ඩ ඕනේ. මට වෙච්ච විනම්බෑසියම වෙච්ච තව එවුන් දෙන්නෙකුත් ඉන්නවා.එකෙක් මගෙ ගජයා, දේමිත, අනිකා අනුක්. අපි තුන්දෙනා ඔන්න දැන් වට මේස සාකච්චාවක් දාලා අවසන් තීරණේට එලඹුනා වහාම ක්රියාත්මක වන පරිදි විෂය මාරු කරන්ඩ ඕනෙය, යන අපායක එකටම යන්ඩ ඕනෑ නිසා එකම විෂයක් කරමුය කියලා. කරන්නේ සංගීතය කියලා තුනෙන් දෙකක චන්දයෙන් සම්මත උනා.
ඔන්න දැන් ප්ලෑන. ඉස්සෙල්ලම අල්ල ගත්තා “සංගා”ව. සංගා කිව්වට උගේ නම තරිදු. ඌ ඉස්කෝලේ ක්රිකට් ටීම් එකේ විකට් කීපර්.ලෙෆ්ට් හෑන්ඩ් බැටින්. ඒක නිසා ඌට සංගා කිව්වට ඌ සංගා වගේ ක්ලාසි ප්ලේයර් කෙනෙක් නෙමෙයි.ඌව මේ වැඩෙට අල්ල ගත්තේ ඌ කරන්නෙත් සංගීත සහ මූ සංගීත සර්ගේ සුවච කීකරු ගෝලයා නිසා. කොහොමින් කොහොමින් හරි මූට තෙල බෙදලා මූව තෝල්කයා විදියට යැව්වා. වැඩේ හරි.සර් අපිට සංගීත කරන්ඩ එන්ඩ කියලා.
ඔන්න ඉතිං වාරයක් පුරාවට ලියපු ඉංග්රීසි සාහිත්ය නෝට් ටික අපි ගැම්මට ඉරලා, කුණු බක්කියට දාලා, බක්කියේ කුණු ටික කුණු ගොඩට හලලා, බක්කියත් කැලේට විසික් කරලා, කැලෙත් ගිනි තියලා අරූගෙන් සංගීත නෝට් ටික ඉල්ලගෙන ඒ පෝතේම ලියාගෙන, සරස්වතී දේවියට වැදලා, ඉංග්රීසි සාහිත්ය කරන එවුන්ට කෝචොක් කරලා, සපත්තුත් ගලවලා සංගීතේ කරන්ඩ ගියා.
සංගීත කාමරේට ගියාම අපේ තොරනේ විස්තරේ ඔක්කොම අපෙන් අහගත්තට පස්සේ සර් කියාපි ” එහෙම එක පාරට මාරු වෙන්ඩ බෑ පුතා. ඔයාලා මේ විෂයට අදාලව හත වසරේ ඉදං කරපු ඇගයීම්, ක්රියාකාරකම් එහෙම කලාපෙට අපි වාර්තා කරල තියෙන්ඩ ඕනේ. මේ අවුරුදු දෙක ඇතුලට ඕවා ඔක්කොම කරන්ඩ බෑනේ. ” කියලා. යකෝ මූව කොටියා කාලා කොටියව තව මොකෙක් හරි කන්ඩ එපැයි මේ කියන කතාවට.ඕක සංගා අතේ කියලා එව්වා නම් අපි තව පාරක් කල්පනා කරනවනේ.
අපි දැං ගල් බිල්ලෝ වගේ. “හරි, අපි ප්රින්සිපල් සර්ගෙන් අහලා බලමු මොකද කරන්ඩ පුලුවන් කියලා. එන්ඩකෝ යන්ඩ මාත් එක්ක ” අන්තිමට සර්ම කිව්වා
ගහෙන් වැටිලා ගොනාත් ඇනලා ඉන්නකොට දේවාලෙත් ඔලුවට වැටුනා වගේ වැඩක් උනේ. ප්රින්සිපල් සර් අලුතෙන් ඉස්කොලෙට ආවේ. ඒ මදිවට මිනිහා හරි සැරයි. නැව් ගුටි දෙන්නේ. අපි ඉතිං මැඩලින් ගගහා සර්ගේ පස්සෙන් ගියා ප්රින්සිපල් ගාවට. ඉස්සරහින් හිටියේ අනුක්. ඊට පස්සේ මම. අන්තිමට දේමිතයා. සර් තොරනේ විසතරේ කිව්වා. ප්රින්සිපල් අපේ පැත්තට හැරුනා.
“තමුසෙලාට මොකක්ද එක පාරටම හැදිච්ච කඩි කුලප්පුව.. හතේදි කරන්ඩ ඕන ඒවා දහයෙදි කරන්ඩ හදන්නෙ…?”
එකෙක් මීක් නෑ. බරිම තැන මම දුක් ගැනවිල්ල පටන් ගත්තා. ” අපි හතේ ඉදං කැමැත්තෙන් කරා නෙමෙයි සර්. කරේ නැත්තං පන්තිය මාරු කරනවා කිව්වා. ඒ බයට කරේ. පස්සේ කට්ටිය මාරු…” කියනකොට ප්රින්සිපල්ගේ අත ඉස්සෙනවා දැක්කා. මම එහෙම්ම ඇස් දෙක පියා ගත්තා. “චටාස්..”
යකෝ මට ලාදුරුද..? ප්රින්සිපල් ගැහුවට මට දැනුනේ නෑනේ. මම ඇස් දෙක ඇරියේ අනිත් කම්මුලත් දික් කරන්ඩ හිතාගෙන. ඉස්සරහින්ම හිටපු අනුක් කම්මුල අල්ලං ඉන්නවා. ප්රින්සිපල් ගක්ති සංස්තිති නියමය පාවිච්චි කරලා, වැඩි චාලක ශක්තියක් පාවිච්චි කරන්ඩ ඕන නිසා විභව ශක්තිය අඩුවෙන් පාවිච්චි කරලා ලගම හිටපු අනුකයාට ඇදලා ඇරලා. පාරේ සැරට අරූට කදුලුත් පැනලා.
” අනිත් එවුන් ඒ කාලේ මාරු වෙද්දි තොපි මෝදක කාලද හිටියේ..? තොපිට ඕන ඕන වෙලාවට එහෙට මෙහෙට පයින්ඩ මේක කෝලං මඩුවක් කියලා හිතුවද…? කලිං කර කර හිටපු එකම කරපියව් ගිහිං මගෙන් මැරිං නොකා..” ප්රින්සිපල් අවසාන තීරණේ දුන්නා.
“දැං එහෙනං ඔය ලමයි ඉංග්රීසී සාහිත්ය පංතියට යන්ඩ” එලියට ආපුවාම සංගීත සර් කියපි.
දැං ආයි කොහෙ යන්ඩද රෙද්දක් ඇදං. “අනේ සර් අපිව අදට විතරක් සංගීත පංතියේ තියා ගන්ඩ. ලබන සතියේ ඉදං අපි යන්නං”
“පිස්සුද ලමයිනේ.ඔයාලට ඒ පාඩම මග ඇරෙනවා. තාම පීරියඩ් එකෙන් බාගෙනේ ගියේ. අනික ඩබල් පීරියඩ්නෙ. යන්ඩ යන්ඩ ඒ පංතියට”
සංගීත සර් අපිව බොහොම සාදරයෙන් එලව ගත්තා. අපිත් නයා මැරිච්ච අහිකුන්ඨකයා වගේ එලියට බැස්සා.
“දැං මොකද බං කරන්නේ..? ” මං ඇහුවා. “පංතියට නම් යන්ඩ බෑ” දේමිතයා කියනවා. වැදිච්ච පාරේ සැරට අනුකයා කතා නෑ. “එහෙනං කට් කරමු” මම කිව්වා. ” කොහොටද යන්නේ..? ” දේමිතයා ඇහුවා.
ගැම්මට කට් කරමු කිව්වට අපි එකෙක්වත් මීට කලින් පීරියඩ් කට් නොකරපු විනීත ලමයි තුන්දෙනෙක්. කැන්ටිමට යන්ඩ බෑ. ටීච කෙනෙක් ආවොත් අහු වෙනවා. පිට්ටනියට යන්ඩ බෑ.ගේට්ටුව වහලා ලොක් කරලා. ගේට්ටුව උඩින් පනිනවා කියන්නේ, ආකිමිඩිස් හෙලුවෙන් ටවුමේ දිව්වා වගේ වැඩක්.
“යමු ටොයිලට් එකට” දේමිතයා කිව්වා.
“ඊයා යකෝ, සපත්තු නැතුව ඕක අස්සේ ලගින්නේ කොහොමද හුජ්ජා පාග පාග. හිරිකිතයිනේ.” මම කිව්වා. අනුකයගේ මූණත් ඇද උනා
” එහෙනං කොහෙද යන්නේ කියපිය..? “
” මං දන්නෑ..”
” එහෙනං වර යන්ඩ. වෙන තැනක් නෑ. එහෙම බැරිනං රෙදි ටික ගලවලා තියලා පංතියට පල”
ඉතිං මිත්රවරුණි හිතිං මවා ගත්ත නම්බුවට හානි කරගන්ඩ බැරි නිසා අකමැත්තෙං උනත් ටොයිලට් එකට යන්ඩ තීරණය කරා කියමුකෝ. ඊලග ප්රශ්නේ යන එක. ටොයිලට් එක තියෙන්නේ අපේ සෙක්ෂන් එක තිබ්බ බිල්ඩිමට එහා පැත්තේ සහ අපේ පංතිය තිබ්බේ බිල්ඩිමේ කෙලවරම. ටොයිලට් එකට යන්වා නම් අපේ පංතිය වටෙන් යන්ඩ ඕනේ. ඒ කියන්නේ වැඩේ මාට්ටු වෙනවා.
“ආයි පාරක් ප්රින්සිපල් ගාවට යන්ඩ උනොත් තොපි දෙන්නගෙන් එකෙක් ඉස්සරහින් පල” ප්රින්සිපල්ගෙන් ගුටි කෑවට පස්සේ මේ වෙනකං අනුකයාගෙන් ඇහිච්ච එකම වචන පේලිය තමා ඒ.
ඕකට ගණදෙවි නුවන පහල උනේ දේමිතයට. අපේ පංතියට මෙහා පංතියේ එවුන් උන්ගේ ජනේලේ දැල කඩලා තිබ්බා ඉමජන්සි එක්සිට් එකක් විදියට. ඒකෙන් පැන්නම කෙලින්ම වැටෙන්නෙ ටොයිලට් එක ඉස්සරහට. මේ වෙලාවට ඒ පංතියේ එකෙක්වත් නෑ. උන්ටයි අපිටයි සෞන්දර්ය තියෙන්නෙ එකම වෙලාවට නිසා උන් චිත්ර, නැටුම්, සංගීත කාමරවල. දෙයියනේ කියලා ඉතිං අපි පීරියඩ් දෙකක් සපත්තුත් නැතුව ටොයිලට් එකට වෙලා හිටියා නිකං නෙමෙයි, මොකෙක් හරි එනකොට අපිත් බොරුවට චූ දැම්මා. නැත්තං පොඩි ඇම්බැට්ටයෙක් දැකලා ගිහිං කිව්වොත් අනුකයාගේ අනිත් කම්මුල පව්නේ.
ඔන්න ඔහොම ඉංග්රීසි සාහිත්ය කරලා, අම්මලා ගෙදරට ගෙනල්ලා උගන්නපු සර්ගෙ තේ එකට ඇල් වතුර කලවං කරපු පිනෙන් යන්තං “S” එකක් දා ගත්තා ඕලෙවල් වලට.
උපුටා ගැනීම: Tharaka Chathuranga

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!