දෙවියන් වහන්සේ මාව මවන වෙලේ, කවුරුන් හෝ පාපී ග්රහයෙක් එතුමාට දුරකථන ඇමතුමක් හෝ දී කරදර කර තිබෙන බවක් මට දැණුනේ අදක ඊයෙක නොවේය. පෙර පාසල් වයසේ සිට ඉංග්රීසි භාෂාව උගෙනීමට මට පැවති අසීම්ත හැකියාව සහ උනන්දුව ගැන දන්නා ඕනෙම කෙනෙක් ඊට සාක්ෂි දරනවාය.
අපේ පෙර පාසල් පාලිකාව විසින් දරුවන්ට විටින් විට පාඩම් කරවන්නයැයි කියා ඉංග්රීසි කවි හෙවත් පොයම් මිටියක් දෙමාපියන් අතට පත්කර තිබුණි. රතු කිකිළී බිත්තර දාලාද, නිලානි අක්කලා, ශිරෝම් අක්කලාට දවසින් දවස පාට පාට නියපොතු ලැබෙන්නේ කොහොමද ,ඊයේ පොතක් අස්සේ දැමූ පැන්සල් කුඩු ටික සමනළයෙක් වෙලාද, කිටියාගේ පැටව් ඇස් ඇරලා ද ආදී දහසකුත් දේ පරික්ෂා කිරීම ඇතුළු එකසිය ගාණට වැඩ තිබූ මට එකල, ඔය විජාතික කවි පාඩම් කිරීමට කොහෙත්ම වෙලාවක් තිබ්බේ නැත. ලෝක නවනිංගිරාවෙන් බේරෙන්නට අපේ අම්මා, ලතා ඇන්ටී ඇතුළු ලඟම නෑදෑ හිත ම්ත්රාදීන් රැයක් දවාලක් නැතිව ගත් අති ප්රශංසනීය උත්සහයට පිංසිද්ධ වෙන්නට “ටුවින්කල් ටුවින්කල් ලිට්ලිස්ටාර්” ගීතය යන්තම් කටපාඩම් කර ගන්නට මට හැකිවිය. ගෙදරට එන අමුත්තන්ට ඒ කාලේ තිබ්බේ එකසිය ගාණක උනක්ය. නිදහසේ ඉන්නා පොඩ් එකෙක් පේන්නට බැරිය. අද වගේ සුපර් ස්ටාර් තරඟ නැති නිසා අප වැනි අහිංසක මොන්ටිසෝරි සිස්සයන් ලවා සිංඳුවක් දෙකක් කියවා ගන්නට පුදුම ආසය. තඳම උන ඇති නැන්දා කෙනෙක් වගේ ආවොත්, “කෝ බබා ඉංග්රීසි සිංදුවක් කියන්නැයි” කියනවාය. මේ ගෑණිටත් ඕනෙ නැති මල ඉලව්වක් නෑනේ කියා සිතමින්, උච්ච ස්වරයෙන් දන්නා එකම ඉංග්රීසි ගීතය කියන්නට ඕනෑය. මගේ ගැයුමෙන් උද්දාමයට පත් අමුත්තන්, “වන් මෝ” කිව්වොත් අපේ අම්මාගේ පටි රෝල් වෙනවාය. ඒ නිසා අපේ අම්මා පළවෙනි ගීතය ඉවර වෙනකොටම අමුත්තන්ට තේ බීමට කතා කරනවාය.
මාව පාසලට ඇතුලත් කිරීමට සමගාමීව ඉංග්රීසි පංතියකට ඇතුළත් කිරීමට අම්මාත්, අප්පච්චීත් වගබලා ගත්තෝය. ඉංග්රීසි පන්තියට මාව එක්කන් ගියේ, එක්කන් ආවේ අපේ පොඩි බාප්පාය. ඒ පංතියේ ඩික්ටේෂන් නම්න් කිසිඳු භයානක ක්රියාදාමයක් නොමැති අතර, පහන් සිතින් පන්ති ගොස් දෙන දෙයක් ලියා එන්නට පුළුවන්කම පැවති අපූරු පන්තියක් විය. අපේ බාප්පා මාවත් එක්කරගෙන බස් හෝල්ට් එකට එනකොට හැමදාම අහඹු සිදුවීමක් වෙනවාය. කවුදෝ කොන්ඩෙ බොකුටු එකියක්, තවත් පතෝල කරලක් වැනි එකියක් එක්ක “ආ කොහොමද අයියේ” කියාගෙන එතනට එනවාය. ඒකිගේ මුකුළුව මට ඇල්ලුවේ නැතත්, ආ බබා කියා මට දෙන එඩ්නා චොකලට් එක නිසා මේ සිද්ධ්ය වැඩිය සමාජ ගත නොකර ඉන්නට මම තීරණය කලාය. කොහොම්න් කොහොම හරි දැන් උන්දෑට මම ආමන්ත්රණය කරන්නේ චූට් පුංචි කියාය. චූටි පුංචියාගේ ඔය චොකලට් එක එතෙක් කලක් ඉංග්රීසි පන්ති යාමට මා උනන්දු කළ ප්රභල උත්තේජකයක් විය.
මගේ පාසල් වැඩ පස්සේ හිට්යේ අපේ අම්මාය. අවාරෙට පොල් වැටෙන්නා වගේ, මගේ දැනුම පරික්ෂා කිරීමේ උවමනාවක් අපේ අප්පච්චීට හිටි ගමන් එනවාය. එදාට උන්දෑ අහන්නේම අසරණ මම කොරවෙන දේවල්ය. මීටර් , සෙන්ටිමීටර් වත් හරියට තවම දන්නේ නැති මගෙන් උන්දෑ අඩි, අඟල් ගැන අහනවාය. අම්මා එක්ක නිලා කූරක්, බඹර චක්රයක් පත්තු කරන් ඉන්නා මට මේ මල්වෙඩි සංදර්ශන අල්ලන්නේ නැතිය.
අපේ අප්පච්චී ගෙදර කැඩුනු බඩුවක්, වතුර බටයක්, ආදී කුමක් හෝ අළුත්වැඩියාවක් කරන්නට ගියහොත් අපිට තරු පේනවාය. ඉල්ලන ඉල්ලන ආයුධ ආම්පන්න ලඟට දෙන්නට ඕනෑය. ඔය බැරෑරුම්කම දන්නා අපෙ අම්මා ඔය වැඩෙත් සේප් එකේ මටම පන්ගාර්තු කරනවාය. ” දූ ඔය අප්පච්චී මොනවද ඉල්ලනවා නේද, කෝ ගිහින් දෙන්නකෝ.” අනේ අපෙ අම්මගෙත්, මායම් කියා මට තියෙන්නේ ගේමට එන්ටර් වෙන්නය.
අපේ අප්පොච්චි දැන් එංගලන්තෙන් ගොඩ බැහැලා වගේය. “දෝනි ප්ලීස් බ්රින්ග් ද හැමර්” උන්දෑ කියනවාය. ඒ කියන්නෙ මිටියටය. යන්තම් ඒ ඉල්ලීම ගොඩ දා ගත හැකිය. ඊ ලඟට උන්දෑ “පයිප් රින්ච් , ස්කෲ ඩ්රයිවර්, ස්පැනර් “වැනි බරපතල් වචන කියනවාය. වන්නිලාඇත්තන්ට චොප්-ස්ට්ක් එහෙකින් පාස්තා කන්න දුන්නා වගේ, මට විකාර නැටවෙන්නේ ඔය වෙලාවටය. නමේ බරපතල්කම හැටියට ටකා, ටිකා, ටුකා ගණන් කර අදාල ආයුධය තෝරාගෙන යන මට, ලුණු ඇබුල් ඇතිව ඉංග්රීසි භාෂා ඥානය ගැන අහගන්නට වන්නේ, “ස්කෲ ඩ්රයිවර්” වගේ දෙයකට “අඬුව” වාගේ ගෙන ගිය වෙලාවටය. මට විතරක් නෙමේ ජෝජ් බුෂ්ට, මාග්රට් ටැචර්ට වුනත් ඔව්වා පොඩ් කාලේ පැටලිලා ඇති, ඔය දැන් අපූරුවට ඉංග්රීසි කතා කරන් ජනාධිපතිකම් කරන්නේ…මගෙ යටි චිත්තයා ගතු කියනවාය. කට උළුක් වෙන වචන නොකියා ඉස්කුරුප්පු නියන කිව්වනම් ඉවරනෙ….මම හරියට ගෙනියවනේ….මේ ලෝකෙ කිසිම තාත්තෙක් මෙහෙම පොඩි ළමයිගෙන් ඉංග්රීසියෙන් බඩු ඉල්ලන් නැතුව ඇති…හරි වේදනයි මට….මම හිතනවාය.
ඔයාකාරයට ඇඳගෙන නා ගත් දවසක අප්පච්චී මාව ලිඛිත පරීක්ෂණයකට යොමු කිරීමේ ප්රතිඵලයක් ලෙස හරියට “ඒ” අකුරවත් ලියාගන්නට බැරිව සිටි මාගේ එතෙක් ගිය ඉංග්රීසි පන්ති ගමන අත් හිටුවා පුළුල් සොයා බැලීමකට පසුව හමුවූ බර්ගර් ගුරුතුමියකගේ ඉඳිගොල්ලේ පිහිට් ඉංග්රීසි පන්තියකට ඇතුලත් කරන ලදි.
අළුත් ඉංග්රීසි පන්තියේ මුල් වකවානුව එච්චර අවුල් නැත. ඉංග්රීසි හෝඩියේ සිටම කියාදුන් ඒ පන්තියේ ඩ්ක්ටේෂන් තිබු අතර එදිනෙදා උගන්වන අකුරැ ,ශබ්ද හා ඊට අදාල වචන පාඩම් කරගෙන යා යුතු විය. අපෙ අම්මා දන්නා දහ අට වන්නමම දමා, ලෝක නවනිංගිරාවෙන් බේරෙන්නට ඒවා මට පාඩම් කෙර වූ අතර, වැඩේ අල වුනහොත් පන්තිය මැද්දේ දණ ගහනවාට අමතරව වික්ටෝරියා වේල්ල නාය ගියා වගේ ඉංග්රීසියෙන් බැනුම් අහන්නට තියන ලැජ්ජා භය නිසාම මමද හැකි හෑම මහන්සියක්ම දා පාඩම් කිරීම සිඳු කරන ලදි. වැඩේ අප්සට් ගියේ “ඒ” අකුර මැදට යොදා ලියන අකුරු තුනේ වචන ලියපු දවසේය.
කැට්, බැට්, ටැප්,රැට් ආදී වචන දොළහක් මට ඩ්ක්ටේෂන් සදහා දී තිබුණි. අසරණ ජීවනීට ඉන් ලැබුනේ ලකුණු දෙකක් පමණි. පන්ති ඇරෙනකන් දණ ගහගෙන පාඩම් කළත් ඒවා අසරණීගේ මතකයට පැම්ණියේ නැත. අම්මාව ඊලඟ දවසේ එක්කන් එන්නයි යන අවවාදාත්මක ලිපියද පොත අස්සේ දා ගෙන ගෙදර පැමිණි මම ඊලඟ දවසේ පන්ති නොයා ඉන්නට බොරු උනක් ගැනීමට තීරණය කලෙමි. අදාල දවසේ උදේ අටේ ඉදන්ම
මගේ ඇගට උන වග, මම තීරණය කළාය. එකොළහට විතර ඔළුව රිදෙනවා කියා ඇඩූ නිසා, පන්තිභාර ගුරුතුමිය මගේ හිසේ සිද්ධාලේපද ගෑවාය. පන්තියේ සිට්න රටක් වටින ශිෂ්යාවක ඉංග්රීසි නිසා මෙවැනි අසරණ අඩියකට ඇද වැටේයයි ඈ හීනෙන්වත් නොසිතන්නට ඇත. එදා මම ගෙදර ගියේ උන සන්නිපාතය හැදිලා ඉන්න ගානටය. ඇඟ රස්නෙනම් නෑ අම්මා කියනවාය. ඇඟ ඇතුලින් උන,ඒකයි තාම පිටට දැනෙන් නැත්තෙ , ඒ මාය … “කටත් තිත්තයි, කන්ඩත් බෑ වගේ මට…”
“අයියෝ එහෙමද….මම මාළු බැදලා කැරට් සම්බෝලත් හැදුවා ඔයා කැමති නිසා” අම්මා කියනවාය. අනේ මන්දා උන ගන්න හිතන දවසටමනෙ මේ ගෙදර අයට මම කැමති කෑම හදන්න හිතෙන්නෙ…ඔන්න ඔහේ මාළු ටිකක් කාලම උන මූඩ් එක ගන්නවා, මම ස්ථිර අධිෂ්ඨානයකට එළඹුනි. “කන්ඩත් බෑ මට, ඒත් නොකා හිට්යොත් උන වැඩිවෙයි….බත් චුට්ටක් ගේන්නකො….මාළු වැඩ්පුර දාන්න…”
ඒ සතිය උනට පිං සිද්ධ වෙන්නට බේරුණත් ඊලඟ සතියේ අම්මා මාව මරණයට කැපවුණු මී හරකා වගේ පන්ති දැක්කීය. අම්මා ඉංග්රීසි ගුරුතුමිය සමඟ පැවැත් වූ දීර්ඝ සාකච්ඡාව පුරාවට මගේ ගුණ ගී වැයූ අතර, ස්වාධීන මිනී වලක් කපාගෙන මිහිදන් වන්නට ඇත්නම් මැනවැයි මට සිතුනි. ඊට පහුවදා ඉදන්ම අම්මා සියළු වැඩ අත්හැර මට ඩික්ටේෂන් පාඩම් කරවීමේ අධ්වේගී මෙහෙයුම ඇරඹූ අතර…එස්කීමෝකාරයෙක් තැපැල් මාර්ගික පොල් ගස් නැගීමේ පාඨමාලාවකට අදාල සටහනක් කියවනවා වාගේ හැගීමෙන් ඉංග්රීසි පොත දිහා උදේ හවා බලන් ඉන්නා මේ අසරණ ජීවියාත්, අකුරු තුනේ වචනයක් සිය දරුවාට පාඩම් කරවීමට නොහැකි කමෙන්, ලේ කෝප කරගන්නා අපෙ අම්මාත් නිසා, එදා සක් දෙව්දුගේ පඩුපුල් ආසනය උණු වන්නට ඇත. පොත දිහාම බලන් හිට් මට මොකක්දෝ වචන හැදෙන රටාවක් පෙණුනි. එදා ඉදන් අකුරු එකතු වී වචන හැදෙන ඒ රටාවට ඉව අල්ලාගෙන ඉංග්රීසි පන්ති ගිය මට ඒක ප්රිය විෂයක් බව හැගිණි. කට පාඩම් කරනවාට වඩා අවබෝධයෙන් ඉගෙන ගන්නා තැන පැවැත්මක් ඇත. එසේ උගන්වන ගුරුවරු දෙවියන් වැන්න.
ජීවනී පෙරේරා
07.03.2020
ප.ලි. – මම රාජ්ය සේවකයන්ට නියමිත දෙමළ භාෂා ප්රවීනතාවය කොහොම සමත් වුණාදැයි අදටත් මට හිතා ගත නොහැකිය. ලිඛිත හා කථන වශයෙන් දෙයාකාර වන දෙමළ භාෂා පොතක් පෙරලාගත්තොත් මියුසිකල් ෂෝ එකක් මැද්දේ හෝ මට එකසිය ගාණට නිදිමත එනවාය. දමිළ ජාතික සහෝදරවරු දුටු කළ කට ඇරන් බලා සිටීමේ ප්රතිඵලයක් ලෙස මට ඔවුන් කියන දෙයක් තේරැම් ගන්නට පුළුවන.කාර්යාලයකට අවශ්ය දමිළ දැනුම එකිනෙකට වෙනස්ය. ඒ පිළිබද නිළධාරීන්ට පුහුණුවක් ලබා දී ආකල්ප සංවර්ධන කළ තැන ත්රි භාෂා දැනුමම යොදන් සේවාලාභීයා තෘප්තිමත් කරන්නට අප දන්නවාය.ආකල්ප සංවර්ධයක් නැති තැන ෂඩ් භාෂා පරමේශ්වර වුනත් වැඩක් කරන්නේ නැතිය. ඔය කාර්ය්ක්ෂමතා නැති එකමයි කාරිය මට හිතෙනවාය.හැබෑ සිංහල පැටවුන්ට දමිළද, දමිළ පැටවුන්ට සිංහලද, මේ දෙගොල්ලන්ටම ඉංග්රීසිද එක වසරේ සිට විධිමත්ව ඉගැන්වීම මෙවැනි බහුවාර්ගික රටකට ඕනෑය .
උපුටා ගැනීම: Jeewani Harsha