ඉංග්‍රීසි පන්ති (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

රස කතා වලට ලියපු  මැරතන් කතාවේ දිව්ව මගේ යාලුවා මාත් එක්ක සාංසාරික වෛරයක් පතාන ආව එකියක්. 2020ට අපේ යාලුකමට අවුරුදු 19/ 20ක් වගේ වෙනවා. මොන්ටිසෝරි කාලෙ ඉදන්ම මගෙ යාලුවා. ප්‍රාතමික පංතිවල අපි දෙන්නා ගියේ ඉස්කෝල දෙකකට උනාට අපි හොද යාලුවො. ඉස්කෝල දෙකකට යන්නත් හේතුව මගෙම වැඩ තමා. ඒකත් කලින් කතාවල කියලා තියනවානෙ. ඒ මොනා උනත් වැවේ පීනන්න යන්න.. ඉස්ගෙඩියො අල්ලලා මාලු වෙලෙන්දන්ට විකුනන්න, සෙල්ලම් ගෙවල් දාන්න, බෝනික්කො වඩාගෙන ක්ලිනික් යන්න.. සාරි ඇදන් මල් ගස් වලට උගන්නන්න.. එකී මෙකී නොකී කොයි දේටත් මුල් උනේ ඒකියි මායි තමයි. ඒ දවස් වල මල් ගස් වලට තඩිබාපු තරම කොයිතරම් ද කියනවා නම් අදටත් ඒවගෙ මල්ක් තියා කුරුලෑවක් තරම් ගෙඩියක්වත් හැදෙන්නෙ නෑ. ඒ උනාට අද වෙනකොට එයා ටීච කෙනෙක්.

කොහොමහරි ඉතින් ඔන්න මෙයාලගෙ ගෙදර නැවතිලා හිටියා ඉංග්‍රීසි ටීච කෙනෙක්. යාලුවාගෙ අම්මත් ටීච කෙනෙක්. ඒ හින්දා ඉංග්‍රීසි මිස් එහෙ ඉදලා නැවතිලා තමයි ඉස්කොලෙ ගියේ. ඉංග්‍රීසි මිස්ගෙ ගෙවල් ඈත පළාතක. අපේ අම්මත් ටීච කෙනෙක්නෙ ඉතින් මේ ගොල්ලො හරි යාලුයි. ළමයින්ට් ඉංග්‍රීසි ටිකක් උගන්නන්න කියලා මේ ගොල්ලො කතා කරගෙන දවසක් දාලා නැකතක් වෙලාවක් බලලා එහෙම හා හා පුරා කියලා ක්ලාස් එක සෙට්ල් කරගත්තා. එතකොට අපි දෙක වසරෙ වගේ. ක්ලාස් කියලා මෙලෝ අටමගලෙකට ගිහිල්ලත් නෑ.. ඉතින් අපිත් හරි ආසාවෙන් අලුත් පොත් එහෙම අරන් යන්න ලෑස්ති වෙලා හිටියේ.

ඔය ඉංග්‍රීසි මිස්ට පොඩි භූත දෝසයක් තිබ්බා. පෙරේතයෙක් වැහෙනවා ඒ මිස්ට. ඒ හින්දම එයා බැදලා හිටියෙත් නෑ. ඒක ඇත්තටම හරි පුදුම කතාවක්. දැන් ඒ මිස් ජීවතුන් අතර නෑ ඇත්තටම.. ඒකටත් හේතුව ඒ පෙරේත ආත්මේ හින්දම තමා. ඒ මිස්ගෙ පවුලෙ එක සහෝදරයෙක්වත් බැදලා නෑ. පවුල පිටින්ම අමුතු අමුතු විදියට මැරිලා ගියේ.
කොහොමහරි මේ මිස් යාලුවාගෙ ගෙදර ඉන්න දවස් වලට කරවල බදින්නෙ බිත්තර බදින්නෙ එහෙම නෑ.
හරි හරි ඒ කතා වැඩක් නෑ. ඒක කියන්න ගියොත් මෙතන හොල්මන් කතා පත්තරයක් වෙනවා.

දැන් ඉතින් ඔන්න සුභ නැකතින් අපිට ඉංග්‍රීසි පන්ති පටන් ගන්නයි යන්නෙ. හරිම ආසාවෙන් පලවෙනි දවස දෙක ඉගෙන ගත්තා.. ඒ ෆෝ ඇපල් බී ෆෝ බැට් සි ෆෝ කැට්.. ඔය ටික තමා ගියේ මුල් සතියේ.. ඉස්සරලම සතියට සැරයක් පැය දෙකක් තිබ්බ් පන්තිය ටික ටික යනකොට සතියට දවස් දෙක තුන වෙන්න පටන් ගත්තා. මේක දැන් මට මහම වදයක් උනා. හවසට දාගන්න සෙල්ලම් සේරම කැන්සල් වෙනවා. ඇයි මට ඉංග්ලිස් ක්ලාස් නේ. වෙනදට ක්ලාස් එකට පැයකට විතර කලින් මාව යාලුවාගෙ ගෙදර ගිහින් දානවා.. ටිකක් සෙල්ලම් කරලා එහෙම තමා පංතිය පටන් ගන්නේ.. දැන් එන්න එන්න අපේ සෙල්ලම් කරන වෙලාවත් අයුතු ලෙස පාව්ච්චි කරන බවක් අපි දෙන්නට තේරුනා.

මිස් පවුනෙ කියලා අපි ක්ලාස් ගියේ.. ඒත් අන්තිමට මිස් ආවා අපේ ඔලුවට අත හෝදන්න.. බාබා අයිතිවාසිකම් උල්ලංගනය කරන්න බෑ කියලා හිතුව අපි දෙන්නා ඊලග සතියෙ ක්ලාස් කට් කරන්න හිතා ගත්තා. යාලුවාට ඉතින් ඕක කරන්න බෑ නේ. ඒකිත් ඒ ගෙදරමනෙ. ඒ හින්දා මන් ක්ලාස් නොඑන්න තීරණය කරා. එහෙම හිතලා ඊලග සතියෙ කාටවත් නොකියා මන් හොරෙන් ගෙදරින් පැන්නා සෙල්ලම් කරන්න. ඉස්සර අපි සෙල්ලම් කරන්නේ ලග ගෙදරක. පොට් එක අප්පච්චි දන්න හින්දා වැවේ ඉස්මත්තට යමු කියලා කතා කරගෙන එතෙන්‍ට ගියා. එදා අපේ සෙල්ලම පන් පසිදුවන්. අපි කෑම්ප් එකක් ගහලා කියලා හිතාන රෙද්දක් එලාන ගෙනාපුවා කන එක තම සෙල්ලම. එක එකා ගෙවල් වලින් හොරකන් කරගෙන ඇවිල්ලා තිබ්බ එක එක එව්වා. ඉතුරු වෙච්චි මාරි බිස්කට් ටිකක්.. හකුරු කෑලී… සමපෝෂ ගුලී.. මන් ගෙනිච්චෙ කඩල. කඩල කීවට ඔය හූබිත්තන් කාලෙ දන්නෙ නෑ කඩල තම්බල කන කෑමක් කියලා. මන් ගෙනිහින් තිබ්බේ පෙගෙන්න වතුරෙ දාලා තිබ්බ කඩල ටිකක්.

ටික වෙලාවක් යනකොට මේන් ගමේ එකා දෙන්නා ළමයි හොයනවා. වැව තියෙන්නේත් අපේ වත්ත ඉවරවෙන මායිමේ. ඒ දවස් වල මන් ගමේ හැමෝමව අදුරන්නෙ නෑ නේ. මතක කීප දෙනයි. කොහොමහරි එක්කෙනෙක්ගෙ අම්මෙක් ආවා හොද දිග කෝට්ටකුත් අරගෙන.. දැන් ඌට සෙල්සියක් අංශක එකසිය ගානට උණ අරගෙන. කෝමහරි ඒ නැන්දා ඌව කුදලගෙන ගියා යන්න. ඒ යන ගමන් මටත් කීවා ආන් ඉස්කෝලෙ මහත්තයා දුවව හොයනවා කියලා. බඩු හරි අමුවෙන් ගිල්ල කඩල දැන් මගේ බඩේ තැම්බෙනවා.

තවදුරටත් මෙතන ඉදලා හරියන්නෙ නෑ කියලා තේරුම්ගත්තු අපි එතනින් පිටවෙලා යන්න හිතාගත්තා. එක එකා දැන් තම තමන්ගෙ ග්ව්වල් වලට ගියා. ඒත් මට යන්න බෑ, ගියොත් ක්ලාස් යන්න වෙනවා. ඒ හින්දා මාත් වෙන එකෙක්ගෙ ගෙදර යන්න කියලා ඌත් එක්ක පිටත් උනා. ටික දුරක් ගියාම ෆුට් සයිකලයකින් ආපු මාමෙක් කීවා…

“”” ආ… දුව කොහෙද හිටියේ අන්න අප්පච්චි හොයනවා එන්න යන්න කියලා “””

බුදු අම්මෝ අදුරන්නෙ නැති අය එක්ක කොහොම යන්නද.. කරවල වේලන්න එක්කන් යනවද කවුද දන්නේ…. කියලා හිතලා.. වටපිට බලලා

“””හෑ මේ තමා අපේ ගෙදර මාමට වැරදිලාද දන්නෑ අපේ තාත්තා ආමි එකේ…”””

කියලා මාත් මාමට පාරෙ ඉන්න කියලා..
‘”” අම්මේ……. කියාගෙන ලග ගෙදරකට දිව්වා. මාමයි යාලුවයි පාරට වෙලා ටිකක් වෙලා බලන් ඉදලා.. යාලුවා ඊට ගෙවල් දෙකක් එහායින් තිබ්බ ඌගෙ ගෙදරට ගියා. මාමා ආපහු බයිසිකලේ හරවගෙන යන්න ගියා. මාත් දැන් අර රිංග ගත්ත ගෙදරට ඊට කලින් ගිහිල්ලත් නෑ. ටිකක් වටපිට කැරකිලා බලනකොට ගෙදර පිටිපස්සෙ නැන්දෙක් ඉන්නවා. ලගට ගිහින් හිනාවෙවී හිටියා. නැන්දත් ටිකක් මාත් එක්ක කතා කරලා.. ඇයි පුතේ ආවේ කියපු පාර මන් කීවා.. නිකන් හිතිලා අවේ.. ටිකක් ඉදලා යන්නද කියලා ඇහුවම නැන්දත් හා පුතේ කීවා. ඒ නැන්දා හරීම හොදයි. මාවත් දන්නවා… අම්මලාවත් දන්නවා.. තෙ හදලා මට බිස්කටුත් දුන්නා. බිස්කට් එක පොගවල තේ එක ගිලින්න හම්බුනේ නෑ අප්පච්චි ආවා. ඊටපස්සෙ අප්පච්චිත් හරීම ආදරෙන් අර නැන්දටත් ස්තූති කරලා මාව ගෙදර එක්කන් ගියා.

එතනින් එහාට සංවේදී දර්ශන ඇති බැවින් එව්වා මේවගේ දාන්නේ නෑ. කොහොමහරි කමක් නෑ එදා ක්ලාස් කට් කරානෙ. අර ආපු මාමත් අපේ ගමේ මාමා කෙනෙක්. මන් එයාව නොදන්නවා උනාට අප්පච්චිම තමා ඒ මාමව එවලා තිබුනේ මාව හොයාගෙන එන්න කියලා.

ඔන්න එදා ඒ දවස එහෙම කට් කරපු හින්දා. ඊලග සතියෙ ක්ලාස් යන එක අනිවාර්ය උනා. එදා ක්ලාස් ගියාපු පාර අරකි මගෙ මූන බලන්නෙවත් නෑ. තරහා වෙලා.. මන් එයාට දුන්නු මක්කෙත් ආපහු මට දුන්නා.. එයා මට දුන්නු ස්ටෝබෙරි මක්කෙ ආපහු මගෙන් ඉල්ලා ගත්තත් එක්ක. ඒකට නම් මට දුක හිතුනා. තරහද තරහද කියලා අහලා අහලා යාලු කරගත්තම තමා මේකි මට විස්තරේ කිව්වේ. ගිය සතියෙ මන් නැති උනාට කමක් නෑ කියලා අරකිට මුලු හවස් වරුවෙම ඩික්ටේශන් දීලා ගෙදරට වෙලා පාඩම් කරන්න කියලා. ආයේ රෑට කන්න දෙනකන් ඒ වචන පාඩම් අරගෙන.. බැරිම තැන අරකිට ඉංග්‍රීසි වමනෙ යන්න ආපු පාර කලන්තෙ කියලා ඇදට ගිහිල්ලා. අප්පිරියාවට රෑට කාලත් නෑ. එදා ඒකි රෑට කෑවෙ නැති උනාට මක් වෙනවද එදා රෑ මට කෑම හබුනෙත් නෑ.

කොහොමහරි දැන් අපි දෙන්නට මේ ඉංග්‍රීසි මගුල එපා වෙලා තිබුනෙ. මාරම ඇණයක්.. ක්ලාස් දවස ලං වෙද්දි.. තුනටි අමාරු… හන්දිපත් අමාරු.. දණිස් අමාරු… නහර ගැට ගැසීම්.. වගේ ලෙඩ ගොඩයි. කොරන්න දෙයක් නෑ මොනා උනත් ගෙදරින් ඇදගෙන යනවා. ඉතින් අපිටත් ඉර පායපු දවසක් ආවා. එදා යාලුවාගෙ අම්මලා ගමනක් යනවා. එනකන් ක්ලාස්. එනකන් ක්ලාස් එකේ ඉන්න බෑ නේ.. ඉතින් ඔන්න හැමදාම වගේ මගේ යටි බඩට අමුතු අයිඩියා එකක් ආවා. හැබැයි පුතේ මේක තනියම කරන්න පුළුවන් ගුරුකමක් නෙමෙයි ඒ හින්දා යාලුවාගෙ පිටිපස්සෙ ගෙදර අක්කව අපි සූදානම් කරලා තියාගත්තා. එයත් අපිට ෆුල් සප් එක දුන්නා.. එයා අපිට උදව් කරොත් අපි එයාට රියල් පෙරේතයෙක් පෙන්නනවා. ඒක තමා ගිවිසුම.

ඔන්න දැන් ක්ලාස් එක පටන් ගත්තා. ටිකකින් මන් කීව අනේ මගේ බඩ රිදෙනවා මිස් කියලා.. ඒ මිස් හරි නපුරුයි.. මොනා උනත් නැගිටින්න දෙන්නෙම නෑ. එක පාරක් කීවා දෙපාරක් කීවා.. තුන් පාරක් කීවා.. තිස්තුන් වෙනි පාරත් කීවම තමා මොකද කියලා ඇහුවේ.. මන් කීවා මන් දන්නෙ නෑ ටොයිලට් එකට යන්න ඕනා කියලා. මේ මිස් ඒත් මුකුත් නෑ.. ආයෙ පාරක් කීවා දැන්නම් ඉන්නම බෑ කියලා.. යකො ඒත් යන්න කීවේ නෑ.. බැරිම තැන කෙදිරි ගාලා කෙදිරි ගාලා.. පොතේ ලොකුවට ටොයිලට් එකත් ඇදලා පෙන්නපුවාම තමා කිව්වේ.. ඉංග්‍රීසියෙන් කීවොත් යන්න දෙනවා කියලා.. දැන් නම් මට මිස් එක්ක විතරක් නෙමෙයි ඇගේ ඉන්න පෙරේත පරාණෙ එක්කත් මල. පස්සෙ ඉතින් මෙයයි මායි ගෝ ටු ද ලැට් කියලා අවසර ගත්තට අරකිට යන්න හම්බුනේ නෑ.. මට විතරක් ගිහින් එන්න කීවා.

හරි දැන් තමා.. වෙලාව.. මයි ටයිම් හෑස් කම්. අයු ගිව් යූ බැටේ කියලා.. කුස්සියේ හන්ගපු අක්ලවත් එලියට අරන් ගෑස් ලිපත් ගහලා.. අර අක්කා ඉල්ලන ඉල්ලන එක දැන් මන් හොයා හොයා දෙනවා. වැඩේ ටිකක් ආමාරුයි හිතුවට වඩා. අරකිට එන්න දුන්නෙ නෑ නේ. දැන් මායි අක්කයි බිත්තර ගෙඩි දෙකත් හොයාගෙන.. හොද….ට තෙල් රත් කරලා… බිත්තර දෙක කඩලා දැම්මා තපස් තපස් කියලා.. එක ලිපක බිත්තර බදිනවා. අනිත් ලිපේ ගැඹුරු තෙලේ කරවල කූරු පිටින් බදිනවා..

කුස්සිය දැන් ශැන්ග්‍රිලා එකේ දොල පිදේනි බුෆේ දාලා වගේ. අක්කා බදිනවා.. මත් දැන් අක්කට සප් එක දෙනවා….

අනේ…. දන්නෙ නෑ… අනේ…. මන් දන්නෑ…. අයියෝ…. දන්නෑ…… අනේ… අපෝ…. අයියෝ… අම්මේ… දන්නෑ….. කියලා අරකි කටහඩ වඩා ඉතා සියුම් හඩකින් හූ තියනවා…

දැන් මායි අක්කයි ෆුල් හොල්මන්.. ඒ අස්සේ ලිපෙ තෙල් විසික් වෙවී කරවල බැදෙනවා.. අක්කා මාව අල්ලන්.. මන් අක්කව අල්ලන්.. ඔක්කොටම හපන් අපේ එකී සාලෙ ඉදන් කෑ ගහනවා…

අරකිත් මොනවද මන්දා නෑම කියනවා….. නෑමලු… නෑ නෑ නෑමලු… දඩාස් බඩාස් ගාලා සද්දෙටම මොනාහර් දෙක තුනක් පෙරලෙනවත් ඇහුනා… ඒ එක්කම අරකිගෙ සද්දෙත් නැවතුනා.

හ්ම්ම්ම්… මන් සැනසුම් සුසුමක් හෙලලා.. අක්කට කීවා.. අක්කේ අරකිට පෙරේතයා ගැහුවා… යාලුවා අපේන් සමුගත්තා කියලා… අක්කත් සැනසුම් සුසුමක් හෙලලා… දෙන්නම ඇස් දෙක පියාන වැදගත්තා…

ඉදම්මේ ඥාති ඉනම් හෝතු.. සුකිතා හොන්තු ඥාතියෝ… මාමේ බාල සමාගමෝ.. සටන් සමාගම් කරන්න බැරියෝ.. යාලුවා මැරිලෝ….

කියලා වැදගෙන ඉන්නකොට අක්කා මාව කොනිත් ගහනවා සීරුවට.. අඩද්දි ඩිස්ටර්බ් කරන්න එපා අක්කේ… ෆීලින්ග්ස් අවුට් යනවා කියලා කීප සැරයක්ම කීවට මේකී සද්දයක්වත් නෑ… කදුලුත් පිහලා හොටුත් පිහලා බලනකොට.. අක්කත් නෑ ලිපේ තිබ්බ වලදත් නෑ.. කරවලත් නෑ… එකෙක්වත් නෑ සේරම මාව දාලා ගිහින්.. වටපිට බලනකොට පිටිපස්සෙ දොර ගාව උලුවස්සට කෙලින් මිස් ඉන්නවා හිටගෙන… අත් දෙක බැදගෙන කකුල් දෙක පහසුවෙන් තියාගෙන මහ මිනිහෙක් වගේ පිටිපස්සෙ දොර ලග හිටගෙන. කරවල වලං විසික් කරලා. කරවල කූරියෝ මිදුල පුරා.. ඔක්කෝටම වඩා දුකයි අර පත ඔම්ලට් එක දැක්කම… නිලා මැස්සො විදපු පීසා එකක් වගෙ ඒක ගහක් මුල්ලේ.. මිසුත් දුන් දාගෙන ඉන්නවා හල්ක් වගේ…. යාලුවත් නෑ අක්කත් නෑ.. උන් දෙන්නටම වෙච්චි දෙයක් නෑ…. රතුම රතු ලොවි ඇස් දෙකකින් මන් දිහා බලන් ඉන්න මිස් දිහා කෙලින් බලන්නවත් බැරි තරම් භය හිතෙනවා.. අනික එවලෙ හිටියෙ නම් ඒ මිස් නෙමෙයි…

මොකක්ද බොල ඒ කරේ……!!! කියලා මිස් කෑ ගහපු පාර… බඩ ඇතුලෙ එකට ගුලි වෙලා හිටපු බොකු බඩවැල් බඩ පලාන එලියට එන්න දගලනවා.. ඒ අස්සේ කුඩා මොලෙන් දුවපන් දුවපන් කියලා මාව තල්ලු කරනවා… මාත් ඒ සැනින් ක්‍රියාත්මක වෙලා.. ආ…පසු… හැරේන්…!! කියලා ආපස්සට හැරිලා සාලෙ මැද්දෙන් පස්ස නොබලා දිව්වා… දුවලා ගෙයින් එලියට පනිනකොට අර අක්කයි යාලුවයි එලියේ.

තුන් දෙනාම දැන් මාරුවෙන් මාරුවට ගැහෙනවා. එ අස්සෙ අර අක්කා අපිට කියනවා.. ඒ මහාසෝනාලු.. එයා වසයි ලු.. රෑටත් එනවලු… පිරිත් කියන්න ඕනලු කතා ගොඩයි… ඕවා කියව කියව ඉදලා හරු යන්නෙ නෑ ගිහින් හැන්ගෙමු මෙතෙන්ටත් එන්න කලින් කියලා තුන් දෙනාම ගෙදර ලිද පිටිපස්සට වෙලා හැන්ගිලා හිටියා. එතන වැල්ල හාර හාර පැය එක හමාරක් විතර සද්ද නොකර හුස්ම අතින් අල්ලන් හිටියටත් පස්සෙ තමා යාලුවාගෙ අම්මලා ආවේ. අපිත් වාහනේ සද්දෙට පාරට පැනලා විස්තරේ එහෙන් මෙහෙන් කීවා. මන් නම් වචනයක්වත් කීවේ නෑ. කටක් ඇරලා කියන්නත් බෑ නේ.

කොහොමහරි යාලුවාගෙ අම්මගෙ පිටිපස්සෙන් පාත්ත පැටව් වගේ අපිත් ගේ ඇතුලට ගියා. අක්කා නම් එන්න බෑ කීවා. එයා ගෙදර ගියා. ඇතුලට ගිහින් බලනකොට මිස් හොදට ඇද බදාගෙන නිදි. යාලුවාගෙ අම්මා අපේ ගෙදරටත් කෝල් කරලා “” කෙල්ල අරන් යමන් “” කීවා. කීව ක්සනික අපේ ගෙදරිනුත් ඇවිත් විස්තරෙත් අහගෙන ගියා. කොමහරි එදා රෑත් මටයි යාලුවාටයි කන්න නෑ. ආයෙ අපිට ඉංග්‍රීසි පංති කරෙත් නෑ.

එහෙමයි කියලා මට ඉංග්‍රීසි උගන්නන එක අපේ ගෙදරින් නතර කරේ නෑ… ඒත් එහෙමයි කියලා ඒ පංතියත් වැඩි කල් කරන් යන්න මන් ඉඩ දුන්නෙත් නෑ….. අම්මලා වැඩේ අතාරින්නෙත් නෑ.. ඒ ගැම්මටම මන් වැඩෙ අතාරියෙත් නෑ.. ඒ ක්ලාස් එක නැවතෙන්නත් කතාවක් තියනවා.

ආ… එදා අර මිස්ට පෙරේතයා වැහිලා නෑ… ඒත් එයාට තද ඔලුවෙ කැක්කුමක් එක්ක ලොකු තරහක් ඇවිල්ලා තිබුනා. පෙරේතයා ඔන් ද වේ… වෙලා තිබුනේ. වැඩි කාලයක් ගියෙ නෑ මිස් යන්නම යන්න ගියා. ඒක උනොත් පෙරේතයා වැහිලම තමා. මිස්ගෙ පවුලම මැරුනෙ එහෙම.කරපු වැඩේ ගැන නම් අපිට අදටත් දුකයි.

 

…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

#Whatsapp group එකට join වෙන අයට ඊළඟ article එක එනකම් ඉවසලා ඉන්න වෙනවා (පළකරන්නේ articles 2-4 අතර ප්‍රමාණයක් පමණයි), ඒ නිසා පරණ articles බලන්නත් ඕනේ නම් telegram group එකට join වෙන්න.

නැත්නම්

A/L පන්තිය Facebook page

Sri Online Readers (ශ්‍රී Online කියවන්නෝ) Facebook Page

කියන facebook pages වලට එකතු වෙන්න.😀🙏

 

 

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!