ඉන්ස්ටන්ට් එන්ගේජ්මන්ට් (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අවුරුද්ද 2016, වාට්ටුව එච්චර බිසී නැති උදේ වරුවක්. උදේ ඩියුටි වැටිලා හිටියේ ජාඩියට මූඩිය වගේ සෙට් එකක්. සෙට් එකම එකට ඩියුටි වැටෙන්නෙත් කලාතුරකින් නිසා ෆොටෝ කෑලි ටිකකුත් ගැහුවා. ගහලා නිකන් හිටියෙත් නෑ, ඒ ගමන්ම අපේ මිස් කෙනෙක් අපිවත් ටැග් කරලම ෆොටෝ ටික ෆ්බී එකට දැම්මා. ඊටපස්සේ ඉතින් සාමාන්ය විදියට ඩියුටිය කරලා බෝඩිමට එද්දි හවස දෙකට විතර ඇති. එදා නයිට් ඩියුටියකුත් නැති නිසා වොශ් එකක් දාලා නිදහසේ කාලා බීලා ඇඳට ආවේ ෆ්බී එකේ උඩහට පල්ලෙහට යන්න.
උදේ දාපු ෆොටෝ ටිකට ලයික් කමෙන්ට් බර ගානක් වැටිලා තිබුනා. රික්වෙස්ට් ටිකකුත් ඇවිත් තිබ්බා. මං ලේසියෙන් රික්වෙස්ට් ඇක්සෙප්ට් කරන කෙනෙකුත් නෙමෙයි , හැබැයි සන්ග්ලාස් දෙකක් දාලා හිටපු කොල්ලෙක්ගේ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරන්න හිතුනා. බැලින්නම් අර අපිව ටැග් කරපු මිස්ගෙ යාළුවෙක්. ඊටපස්සේ මට එහෙම්ම නින්ද ගිහින්. රූම් එකේ අනිත් එකා ඩියුටි ඕෆ් වෙලා ඇවිල්ලා කෑමත් අරගෙන ලඟට ඇවිත් කතා කරනකොටයි ඇහැරුනේ. එහෙම්ම කෑම එක කන ගමන් ෆෝන් එක බලද්දි අර සන්ග්ලාස් කොල්ලාගෙන් හායි එකක් ඇවිත් තිබ්බා. මාත් ඉතින් හායි කිව්වා. එදා එච්චරයි.
පහුවදාට ගුඩ්මෝනින් , මාත් ගුඩ්මෝනින් . රෑට ගුඩ් නයිට්, මාත් ගුඩ්නයිට්. එච්චරයි .
තුන්වෙනි දවසේ ටිකක් වෙලා මැසේජ් කරන්න ඇති. සන්ග්ලාස් කොල්ලා කිව්වා එයා ඕස්ට්රේලියන් නැවක චෙෆ් කෙනෙක් කියලා. ඒක දැනගත්තම මගෙ ඔළුවට ආවේ,
” යකඩෝ චෙෆ් කෙනෙක්, මට එහෙනම් අළුත් කෑම වල රෙසිපි ටිකක් එහෙම දැනගත්තහැකි” කියන දේ විතරමයි.
කොහොම හරි මාසයක් විතර අපි කතා කලා. වැඩිපුරම කෑම ගැන තමයි ඉතින්.
අගෝස්තු 13 , උදේ වරුවේ එකපාරටම එයා ඇහුවා එයාව මැරි කරනවද කියලා. මං හිතුවේ විහිළුවට කියලා. ඉතින් මාත් කිව්වා අම්මගෙන් අහන්න කියලා. ගෙදර ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලුවා. මාත් ඉතින් දුන්නා. එදා මං නයිට් ඩියුටි. මං රෙස්ට් කරන්න යද්දි රෑ එකොලහට විතර ඇති . ආයෙ වෝඩ් එකට යන්න ඕනි පාන්දර දෙකට. ඒ කියන්නේ දාහතර වෙනිදා. එදා මගේ උපන්දිනේ. ඉතින් පාන්දර එකයි හතලිස්පහට විතර නැඟිටලා ෆෝන් එක බලද්දි විෂ් කරලා මැසේජ් එකක් ඇවිත් තිබ්බා සන්ග්ලාස් කොල්ලගෙන්. විෂ් එකට යටින් I love you කියලා වචන තුනකුත් තිබ්බා. ඒ වෙලාවෙනම් කිසිම දෙයක් හිතුන් නෑ, මොකද මං එනකම් අනිත් කෙනා බලන් ඉන්නේ රෙස්ට් කරන්න යන්න. ඉතින් දඩිබිඩියේ ලෑස්ති වෙලා වෝඩ් එකට ගියා. දාහතර වෙනිදා මගෙ උපන්දිනේ නිසා මං එදාට ගෙදර යන්න ස්ලීපින් ඩේ එක ෆ්රී කරගෙන හිටියේ. ඉතින් උදේ ඩියුටි ඕෆ් වෙලා මං ගෙදරට එද්දි උදේ දහයටත් කිට්ටුයි.
මං ගේ ඇතුලට යද්දී අම්මා බරටම කෝල් එකක. බැලින්නම් සන්ග්ලාස් කොල්ලගෙ අම්මා එක්ක.
ඉතින් ඊටපස්සේ සන්ග්ලාස් කොල්ලා සැප්තැම්බර් හය රෑ ලංකාවට ආවා. සැප්තැම්බර් දහය අපි ඉස්සෙල්ලාම හම්බුනා. එදා මුලින්ම ගියේ ගෝල්ෆේස් එකට. එදා එතන බස් හෝල්ට් එකෙන් බැහැලා යනකොට එයා මගෙ අතින් අල්ලගෙන ඇවිද්දෙ නෑ , මගෙ කරට අත දාගෙන ඇවිද්දේ. එදා ඉඳන් කොහෙගියත් මේ වෙනකම්ම ඒ විදියමයි. ඊටපස්සේ අපි ගංගාරාමෙ ගියා , බෝට්ටු පැද්දා. නයිට් ඕෆ් වෙලා ගියපු නිසාද මන්දා මට බෝට්ටුවේ නින්දත් ගියා. මහලොකු දේවල් නම් කතා කලේ නෑ. එක එක කෑම ජාති කන එක තමයි වැඩිපුරම කලේ. විශේෂයෙන්ම කතා කලේ ඊලඟ දවසේ කන්න යන්නේ මොන තැන් වලටද කියලා. එයාලගේ ගෙදරින් සැප්තැම්බර් විස්ස මාව බලන්න ආවා. ඊට දවස් හතරකට විතර පස්සේ අපෙ ගෙදරින් එහෙ ගියා. ඔක්තෝම්බර් මැද අපි එන්ගේජ් උනා. ඊට දවස් තුනකට පස්සේ එයා ආපහු ඔසී ගියා. ආයෙ ලංකාවට ආවේ වෙඩින් එකට මාසයක් තියෙද්දී .
මැරි කරන්න කලින් අපි ඕනිනම් දවස් හතරක් පහක් හම්බෙලා ඇති. අපි එන්ගේජ් වෙද්දී වටපිටාවෙ ගොඩක් දෙනෙක් කිව්වේ අපි හදිස්සි උනා වැඩියි කියලා. හේතුවක් අදටත් තේරෙන්නේ නෑ. අපි දෙන්නට හිතුනේ පුළුවන් තරම් ඉක්මනට එන්ගේජ් වෙන්න ඕනි කියන එක විතරයි.
දැන් අවුරුදු පහක් ගෙවිලා. මේ අවුරුදු පහට එයා තාමත් ඒ විදියමයි. එයාගෙ වෙනසක් කියලා වෙලා තියෙන්නේ ඉවසීම වැඩි දියුණු කරගෙන ඉන්න එක විතරයි. දවසක් මං හබියගෙන් යාළුවෙලා ඉන්න කාලේ ඇහුවා ඔයාට මං ගැන මොනවද හිතෙන්නේ කියලා. එයා කිව්වේ , “ඔයා ගිරවෙක් වගේ කතා කරන , හා පැටියෙක් වගේ අහිංසක කෙනෙක් ” කියලා. හැබැයි ඉතින් වෙඩින් එකෙන් මාසයකට වගේ පස්සේ එයා ෆ්බී එකේ පෝස්ට් එකක් ශෙයාර් කරලා තිබ්බා ” යාළුවෙලා ඉන්න කාලෙදි හා පැටව් වගේ ඉන්න කෙල්ලෝ බැන්ඳට පස්සේ කොටි පැටව් වගේ වෙනවා ” කියලා.
පින්තූරය – මේ ඉන්නේ සන්ග්ලාස් කොල්ලා. මං ඉස්සෙල්ලාම දැකපු ෆොටෝ එක.
උපුටා ගැනීම:    බුද්ධි ජයවීර

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!