අම්මයි තාත්තයි දෙන්නා රජයේ උසස් රැකියාධාරීන්. දරුවන් සියල්ලෝමත් පාසල් වයසේ. ප්රාථමික ශ්රේණිවල .ඉතින්, උදෙන් අවදිවී කෑම ඇතුළු දවසේ අවශ්ය සියල්ල පිළියෙලකරගෙන දරුවන් පාසල් යවන්න සූදානම් කරනවාය කියන්නෙ ම සතියේ දින පහේම කරන සුපුරුදු පොඩි යුද්දයක්.ඒකේ සොඳුරු වෙන තැන්, කඳුලු එන තැන්,තරහ පිපෙන තැන් ඕසෙට. හැම දවසකම මොකක් හරි අළුත් අවුලක්.ඒක විසඳන්න ඉතිං වෙනම වෙලාවක් ඕන කාට කාටත්.
හැබැයි, මෙන්න මේ අලුත් අවුල් තියෙනවා නේ,,,ඒවා තමයි අපිට අලුත් දවස් මතකේ තියවන්නෙ ජීවිතේ. වැඩිහිටියන්ට වඩා ඒවා දරුවන්ට වටිනවා. වගේ ම කොච්චර වැඩිහිටියි කිව්වත් ජීවිතේ අලුත් වෙන්න නම් මේ වගේ අලුත් ප්රශ්න, අවුල්, කේසස් එන්නම ඕන.
ඔන්න මං අර කියාපු පවුලේ අම්මයි තාත්තයි උදෙන් නැගිටලා,පොල් ගාලා, කලින් දා රෑ කපලා පිළියෙලකරලා තියාගත්තු එළවළු ඒදලා,ලිපේ තියලා,ඔය අතරේ ගෙදර අනෙක් පොඩි පොඩි වැඩත් කරලා ඔන්න ඇහැරවනවා පොඩි සෙට් එක දැන් ඉක්මනට ඉස්කෝලෙ යන්න සූදානම් කරවන්න. ටොයිලෙට්ස් යවන්න,දත් මද්දවන්න,ඇඳුම් අන්ඳවන්න, කවන්න,සපත්තු දම්මවන්න…වැඩ වැලයි. අම්මයි තාත්තයි ඔය අතරේ එයාලගෙ ගමනටත් සූදානම් වෙන්න එපායැ.
හපොයි ජීවිතේ කියලා හිතෙනව නම්,,,,මෙන්න කතාව!
දැන් අර සෙට් එකේ එක්කෙනෙක් ටොයිලෙට්ස් ගිහිං, අනික් එක්කෙනා මුණ හෝදනවා…බලද්දි යකඩෝ දෙවනියා නෑ. තාත්තා ඔන්න අරෙහෙට දිව්වා,මෙහාට දිව්වා,ගේට්ටුව පැත්ත බැලුව,කුස්සියෙ පිටිපස්සෙ බැලුවා දෙවනියා නෑ. මගුලයි කෝ මේ දෙවනි කියලා තරමකට රත් වෙච්ච තාත්තා ඇරලා තිබ්බ මැද දොරෙන් පනිනවා එළියට. ඒත් එක්ක එක යායට තියෙන්නෙ වෙල. වෙලයි වත්තයි වෙන්වෙන යකඩ වැටට ටිකක් මෙහායින් අන්න බොලේ දෙවනි ඉන්නවා වෙල දිහා බලාගෙන.
කිසී ම ගාණක් හදිස්සියක් නැතුව, ඔහේ දත් මැද මැද අර වෙලේ ඈත දිහා බලාගෙන ක්ලැසික් සීන් එකක නිමග්නවෙලා.
හිතන්නකෝ දැන් මේක පේන තාත්තගේ ඇස් කරුණාබරින් තෙත් වෙලා,එයාගෙ මුලු ඇඟම ආදරයෙන් ඇළලිලා ගිහිං හෙමීට හෙමීට දරුවා ලඟට පිටිපස්සෙන් හෙමීට ගිහිං දරුවාව බදලා තුරුල්කරගන්නා හැටි. හොඳට මවාගන්නකෝ…
ඔබ වුණත් හා එහෙම නැද්ද තමන්ගෙ දරුවා මේ තරම් හදිස්සි,කාර්ය බහුල වෙලාවක වුණත් අර වගේ ඉන්නවා දැක්කම.?
නැතුව….!
හැබැයි ඒකට මේ තාත්තා…
පරක්කුව පැත්තක තියලා කොල්ලා කොහේද කියලා බයවෙලා හොයාපු අප්පට මේකා අරෙහෙම වෙල දිහා බලාගෙන මෙලෝ හදිස්සියක් නැතුව දත් මැද මැද ඉන්නවා දැක්කම මට නම් හිතෙන්නෙ එයාගෙ ඔෆීස් එකේ තියෙන ෆයිල්ස් සෙට් එක මතක්වුණා වගේ තියෙන්න ඇති කියලයි.
පැන්නා කොල්ලා ලඟට හෙණගහන්න වගේ,කොල්ලා උඩ ගිහිං බිම වැටුණා,ටූත් බ්රශ් එකත් කොල්ලා අතින් බිමට වැටුණා.
“මොන මගුලක් කරනවද හලෝ මෙතනට වෙලා මෙච්චර පරක්කුවෙලා තියෙද්දිත්!
මෙන්න මෙහෙ එනවා ඉක්මණට දත් ටික මැදං මූණ හෝදවන්න. තේරෙන් නැද්ද ඉස්කෝලෙට පරක්කුවෙලා ගිහිං බැණුම් අහන්න වෙනවා කියලා..ඒහ්????”
තාත්තාගේ දකුණු අතේ හයිය ඇඟිලි ටික දරුවාගේ වම් අතේ බාහුවට මැදින් තදවිය. ඒත් එක්කම තාත්තාගේ දකුණු අත තාත්තා දෙසටත්,තාත්තාගේ දෙපා නිවෙස දෙසටත් ඇදෙන්නට විය. කොටි කටට හසුවූ මුව පොව්වෙකු සේ දරුවා තත්පර කිහිපයක් ඇතුළත නාන කාමරයේ දොර ලඟය.
අම්මාගේ රාජකාරියට අම්මා පිටත්වූවාය. තාත්තා දරු තිදෙනාද කැටුව දැන් පළමුව පාසල් ගේට්ටුව තෙක් පැදවිය යුතුය. අර දෙවනියා දැන් පසුපස අසුනේය. මේ උදේ හයයි තිහ පමණ වෙද්දී සිදුවූ අර කිසිවක් හිතේවත් නැති ගාණෙන් දෙවනිද අනෙක් දෙදෙනා හා වාහනය තුළ සිට අවට සිරි බලමින් එක එක කතාවල ය.
තාත්තා වාහනය පදවන ගමන් පසුපස බලන කණ්නාඩිය දෙස බැලුවේය. ඒ, පසුපසින් එන වාහන පරීක්ෂාකරන්නට නොව දෙවෙනි දෙස බලන්නටය. ඒ මුහුණේ පැතිරුණු හිනාවත් එක්ක සිනාසෙන පුංචි දත් තාත්තාගේ පසුපස බලන කණ්නාඩියෙන් ක්ෂණයකින් තාත්තා දුටුවේය. තාත්තාට කට නතරකර කරගන්නට වලාවක් නොදීම කට කතාකළේය.
“නෙතූ, මොකක්ද පුතේ පුතා අර කෙරුවෙ අද දත් මැද මැද වෙල දිහා බලං..මම ඔයිට කලින් දවසකත් දැක්කා ඕක..තේරෙන් නැද්ද ඉස්කෝලෙට එන්න පරක්කුවෙනවා කියලා…ඒහ්?”
තාත්තාගේ ඒ තරහත් නැති, සැරත් නැති,දුකත් නැති හඬෙන් උපන් ප්රශ්නයට දරුවා මුළින් ම කළේ සිනාසී තාත්තාගේ රියදුරු අසුන දෙසට දරුවාගේ ඇඟ නමාගැනීමයි.
” අනේ නෑ තාත්තේ..මං ඒ ඉර පායන හැටි බලං ඉන්නවා..හරී ලස්සනයි තාත්තේ…මං ආසයි තාත්තෙ ඒකට. ඒකයි ඒ. තාත්තට තරහ ගියානං සොරි හොඳේ…”
තමන්ට පාසලේවත්, විශ්වවිද්යාලයේවත් කිසිම ගුරුවරයෙකු මහාචාර්ය වරයෙකු කියා නොදුන් පාඩමක් මුතු ඇට වගේ දත් ටිකකින් හිනාවෙවී මේ කියන්නේ මොකක්දැයි ඒ තාත්තා මොහොතකට ගල්වුණා සේ තමන්ගේ මොළයෙන් ප්රශ්න කළේ සිතා ද නොසිතාද යන දෙක අතරේ සිටය.
පාර දෙපස මිනිස් ඇඟවල් පිරිලාය.මිනිසුන් වමටත් සේ ම දකුණටත් පාර දෙපස ඇවිද යති.
පයින් යනකොට දකුණෙන් යා යුතු බව ඉගෙනගත් දරුවන්ද, එසේ අදටත් දරුවන්ට උගන්වන ගුරුවරුද අඩු වැඩි නැතුව වමෙනුත් දකුණෙනුත් දෙපැත්තෙන් ම පාරේ ඇවිදයනවා මේ තාත්තාට තේරෙන්නට විය. තත්තගේ ඇස් දෙක උඩ කඳුළු බෝල දෙකක් ගලන්නට යනවා දැනෙන්නට වී තම දකුණතේ දබරැඟිල්ලට හා මහපටැඟිල්ලට කියා ඒවා යට යවාගත්තේය.
ෂිහ්!
මොන බූරුවෙක්ද මං. මේ දරුවා සොබාදහමත් එක්ක ආදරෙන්,සතුටෙන් ඉඳපු පුංචි වෙලාව නේද මම අර දරුවගෙ ඉස්සරහට පැනලා,කෑගහලා විනාශකරලා දරුවව ඇදගෙන ඇවිත් මං අර කළේ.
“මට මාර ලැජ්ජයි අයියෙ මං ගැන. මේ පොඩිඑවුං පව් අයියෙ. අපිත් ගොන්නු වගේ මේ පුංචි එවුන්ව ඉස්කෝලවලට ම ගාල් කර කර,උන්ට පොත්ම පාඩංකරන්නය කිය කියා… ඔන්න අපිම මුං ලොකුවුණාම කියනවා මුං ගස් කපනවලු, මුං අම්මා තාත්තට සළකන්න දන් නෑලු, මුං කොයි වෙලෙත් ගේම් ගහනවලු, ෆෝන් එකත් එක්ක බැලුවොත් ඇත්තං කාමරේලු…
ඉතිං පොඩිඑවුං හරිනෙ අයියෙ. අපි උංට අඩුගානෙ ඉර පායන එකවත් ආසාවෙන් බලං ඉන්න පොඩි වෙලාවක් නොදී ඇදං එනවා ඉස්කෝලෙට. ගෙනත් එතෙන්ට දැම්මම එතන එවුං උගන්වනව උදේ පාන්දර ඉර එළියෙ විටමින් D තියෙනවා කියලා. හැබැයි අම්මලා තාත්තලා වෙච්ච අපිවත්, මේ එක ගුරුවරයෙක්වත් මේ දරුවෙකුට උදේට ඉර පායන දිහා බලලා ඒක විඳින්න…ඒ හරහා පරිසරයට ආදරේ කරන්න,අර විටමින් D ඇඟට ගන්න උන්ට එක මොහොතක්වත් දෙනවද…ඒ මොකුත් නොදී අපි හැත්ත බුරුත්ත ඔක්කොම කතාකරන්නෙ නං අධ්යාපනේ ගැන.
ෂිහ්! මට අද ඇඬුණා අයියෙ. ඇත්තමයි. ඒකයි මං මේ ඔෆිස් එකට යන්න කලින් ම ඔයාට කෝල් එකක් ගත්තෙ මේ වෙච්ච දේ කියන්න.
මේවා ඔයාගෙ ඔය දේශන වලදි කියන්න අයියෙ පොඩිඑවුන් ඉන්න අම්මලා තාත්තලාට.”
මම නිහඬව අසාගෙනය.
“අයියා දන්නවද,,,හෙට ඉඳං මමත් පොඩි එවුන් එක්ක දත් මැද මැද ඉර දිහා ටිකවෙලාවක් බලං ඉඳල තමයි මූණ හෝදන්න එන්නෙ. ඔව් ඔව්. ඔන්න බලන්නකො බොරුනං.
අම්මපල්ලා මං එහෙම කරනවා අයියෙ. ඉස්කෝලෙට යන්න පරක්කු වුණොත් මම ප්රින්සිපල්ටත් කියනවා එයාටත් උදේ පාන්දර ඉර පායන හැටි ටිකක් බලං ඉඳලා ඉස්කෝලෙට එන්න, නැතුව බොරුවට පරිසරයේ වටිනාකම ගැන උදේ රැස්වීමෙදි දරුවෝ ඉස්සරහා තියං ලොකු ටෝක්ස් දෙන්න නම් එපා,,එහෙම වුණොත් මුණුත් ලොකුවෙලා රටේ තියෙන ඉතුරු ගස් ටිකත් කපයි කියලා.
ඔව්! ඔව්!!
ඇයි අයියෙ මුංට පොත් වල ගස් තිබුණම ඇතිනෙ. කැලෑවල ගස් තියෙන්න ඕන් නෑනේ”.
උපුටා ගැනීම: උදයා දේවාමුල්ල