මගේ පංතියේ කොල්ලෙක් ඉන්නවා . පුතෙක් …. මගේ ගෝලයෙක් . කොල්ලව මට මුලින්ම මුණගැහුනේ මීට අව්රුදු දෙකකට කලින් . ඉස්කෝලෙම ලියවිලා තිබුණු නරකම පංතියේ ගණිතය විෂය ඉගැන්වීමට . අව්රුද්ද මැදකදී මට මේ පංතිය භාර දුන්න දවසෙම මමත් ඒ පංතියට ගියේ කිසිම කැමැත්තකින් නෙමේ යි . මොකද මගේ ඔළුවේ තිබුනෙත් මේ තමයි ඉස්කෝලේ නරකම පංතිය කියලා .මම ඒ පංතියේ පන්තිභාර ටීචර් උනා මේ අව්රුද්දෙ මුල්ම දවසේ . දැන්නම් කොල්ලෝ කෙල්ලෝ මගේ යාලුවෝ වගේ . පංතියට ගිහාමත් , ඉස්කෝලේ කොහෙහරි ඉදලා අහුවුනාමත් ගෙදර දොරේ බල්ලා නාවපු එකේ ඉදලා කියවන්න පටන්ගන්නවා . සමහරවිට කරන වැරදි වලින් බේරෙන්න , නැත්නම් පීරියඩ් එක විනාස කරලා දාන්න වෙන්නත් පුළුවන් එහෙම කියවන්නේ ඉතින් . අපිත් ඉස්කෝලේ කාලේ ඒවගේ නසරාණි වැඩ පැල් බැදගන කරානේ …..
මේ ලගදි දවසක් උදේ පන්තිදීත් මේ කොල්ලාට ඊසා ඊසා …. කියලා කෑ ගහනවා පංතියේ අනික් කොල්ලෝ .
මටත් කොල්ලෝ සෙට් එක කියනවා මැඩම් අරයගෙන් අහන්නකො මුන ඇයි මොකද කියලා ?
හරි වදේ පාඩම කරන්නත් නෑ ….
හැබැයි අදාල කොල්ලගේ මුණේ තුවාලෙකුත් තියනවා .
කොල්ලගෙන් හේතුව අහන්න යන්නේ නැතිව ඉවසගන හිටියා .
හවස පීරියඩ් එකක කොල්ලෙක් ඇවිත් කියනවා මැඩම් අරයා ඊසාගේ අයියගෙන් ගුටිකෑවනේ සෙනසුරාදා කියලා . මටත් ඉතින් ඉවසුම් නැතිව ගියා මොකක්ද මේ සිද්දිය කියලා දැනගන්න .මේක අහන්නත් බෑ , නොඅසා ඉන්නත් බෑ .දැනගන්නම ඕනි දැන් . හවස 1.30- 3.30 පන්තියත් මේ ළමයින්ගේ පන්තියටනේ හවසම අහනවා සීන් එක කියලා හිත හදාගත්තා .
ඔන්න හවස පංතියේත්, අර කොල්ලා බයිට් වෙනවා .
ඊසා ඊසා කියනවා .. මුණ බල්ලෝ කැවද අහනවා . මටත් ඉවසීමේ සිමාව උච්ච වෙලා අදාල ළමයාට කතාකරා .
මම : මොකද අර ළමයි ඊසා ඊසා කියන්නේ ඔයාට ?
කොල්ලා බිම බලාගන සපත්තුව කරකවනගමන් මට කියනවා නෑ මැඩම් , උන්ට පිස්සු කියලා .
මම : ඇත්තටම මේ තුවාලේ මොකක්ද ?
ආයෙත් කොල්ලා ඇගිලි එකට එක අබරලා බිම බලාගන කියනවා බල්ලා හැපුවා කියලා .
මම පුදුම වෙලා : හෑ …. බෙහෙත් ගන්න ගියාද අම්මලාට කිව්වද ? කොහේ ඉන්න බල්ලෙක්ද හැපුවේ …. මොනවා කරන්න ගිහින්ද ?
කොල්ලගෙන් ප්රතිචාරයක් නෑ … බිම බලාගන අහිංසක ලීලාවෙන් හිනාවෙනවා .
ඇත හිටපු යාලුවෝ මට අතින් පයින් කියනවා ඕකා කියන්නේ බොරු කියලා .මම ඒවා දැක්කේ නැති පාටට ආයෙත් කොල්ලගෙන් ඇහුවා ගුටි කැවද ඇත්තටම කොල්ලෝ කියලා .
අනේ ….. එතකොට මේ කොල්ලා ඔව් කිව්වා .
මම ඇහුවා ආයෙත් ඇයි කියලා …
කොල්ලා කියනවා ඊසට ෆෝන් නම්බර් එක දෙන්න ගියා . ඊසා ඒක අයියට කියලා . ඉතින් ඒකට ගැහුවා කියලා .
ආයෙත් මම අහනවා කව්ද ඊසා … කොහේ ළමයෙක්ද කියලා . කොල්ලා කිව්වා අපේ ඉස්කෝලේ නෙවේ එයා කියලා ඇඹරි ඇඹරි . මාත් ඉතින් පාඩම පැත්තකින් තියලා කොල්ලට ඕවා ඔය වයසේ හැටිය .. එත් අපි මොනවා කරන්නත් ඉගෙනගන ඉන්න ඕනිය ගගා ලොකු ටෝක් ටිකක් දීලා පිටටත් තට්ටුවක් දාලා … එහෙනම් යන්න , ඉගෙනගෙන ඉමුකො මුලින්ම කියලා කිව්වා .
ඒක අහලා කොල්ලගේ මුණේ මල් මල් හිනාවක් වැටිලා දත් ටික පෙන්නලා කට කරකවලා මට කියනවා ……..
” මාත් සැලුනේ නෑ මැඩම් …. අයියට කිව්වා අර සංගීතේ තියෙන දෙබසක් “
මම ඇහුව ඒ මොකක්ද කියලා .
කොල්ලා කියපි
” අතක් පයක් කඩන්න එපා අයියේ … කවදාහරි දවසක නංගිව බලාගන්න ඉන්නේ මමනේ කියලා “
මම හිතන්නේ ඒක කොල්ලගේ බොරුවක් .
මාත් හිතින් හිතුවේ ඒ වෙලාවේ කොල්ලෝ ඒ වයසට ඔහොම වැඩ නොකර කොහොමද කියලා. 

උපුටා ගැනීම: – හසිකා විජේතුංග –