ඉස්හොරි කියන්නේ සුලභවම තියෙන සමේ ගැටළුවක්. හිසේ සම වියළි වෙලා සුදුපැහැ කුඩා පොතු සහ කුඩු වශයෙන් හිසෙන් ඉවත්වෙන එකට ඉස්හොරි කියලා කියනවා. ඉස්හොරි එක පැත්තකින් කොණ්ඩයේ පෙනුම වෙනස් කරනවා. අනෙක් පසින් මුහුණට, අපේ ඇඳුම්වලට වැටිලා අපවිත්ර පෙනුමක් ගේනවා. ඉතින් ඉස්හොරි තියෙන හැම එක්කෙනෙක්ටම ඕනි ඉස්හොරි ඉවත් කරගන්න.
1. හිස්සොරි ඇතිවෙන සහ වැඩිවෙන හේතු
දිලීර ආසාදන තත්ත්වයන් නිසාත් ඉස්හොරි ඇතිවෙනවා. ඒ වගේම හිසට යොදන ෂැම්පෝ, කන්ඩිශනර් සහ වෙනත් දේවල් නිසාත් ඉස්හොරි වැඩිවෙන්නට පුළුවන්. විටමින් බී, සින්ක් ආදී පෝෂ පදාර්ථ සිරුරට නොලැබී ගියාමත් ඉස්හොරි ඇතිවීම වැඩිවෙනවා. ඉස්හොරි ඇතැම් වර්ග බෝ වෙනවා. දිලීර ආසාදන ලෙස වැළඳෙන ඉස්හොරි වර්ග බෝවන්නට ඉඩකඩ තියෙනවා. ඒ වගේ අවස්ථාවල තුවා සහ ඇඳුම් ආදිය හුවමාරු නොකර පාවිච්චි කිරීමෙන් ඉස්හොරි සහ සමේ රෝග අවදානම අඩුකරගන්න පුළුවන්.
2. නෑම පාලනය
හිස නිතරම සේදීම තුළින් හිසේ තිබෙන ස්වාභාවික තෙල් ගතිය නැතිවෙලා ඉස්හොරි අවදානම වැඩි වෙනවා. ඒ වගේම හිස හෝදන්නේ නැතුව දවස් ගණන් නොනා ඉන්නවා නම් එතැනදීත් හිසේ මැරුණු සම් කොටස් තට්ටු ලෙස එක්රැස් වී ඉස්හොරි අවදානම වැඩි කරන්නට හේතු වෙනවා. ඒ නිසා නෑම නිසි පරිදි කිරීම ඉස්හොරි පාලනයට වැදගත් වෙනවා. මේ පිළිබඳ පර්යේෂණ කරන අය කියන විදිහට නෑම කියන්නේ මළපහ කරනවා වගේ වැඩක්. අපි නිතරම මළපහ කරනවා නම් ඒකත් අවුලක්, ඒ වගේම මළපහ කරන්නේ සතියකට දෙකකට වතාවක් නම් එතනත් අවුලක් තියෙනවා.
3. සෞඛ්ය සහ ඉස්හොරි
ස්ට්රෙස් එක වැඩි වුනාම ඉස්හොරිත් ඒ එක්කම වැඩි වෙනවා. ඒ නිසා ස්ට්රෙස් පාලනයත් ඉස්හොරිවලට බලපානවා. සීතල වටපිටාවකට එකපාර ඇතුළත් වීම නිසාත් ඉස්හොරි අවදානම වැඩි වනවා. අපිට වින්ටර් හෝ සීතල කාලයක් නැතත් ඔෆිස් එකක පැය හත අටක් සීතලේ වායුසමනය කළ වටපිටාවේ ඉන්න අයටත් ඉස්හොරි වැඩිවෙන්න අවදානමක් තියෙනවා. සීතල පරිසරයක ජීවත් වීම, ස්ට්රෙස් එක වගේ කාරණා පාලනය කරන්න තරමක් අමාරු වුනත් හැකි පමණ එයින් ගැලවී ඉන්නට පුළුවන් නම් වටිනවා.
4. ඉස්හොරි තත්ත්වයන් ගැන තවත්
ඉස්හොරි ඇතිවීම සාමාන්යයෙන් කාන්තාවන්ට වඩා පිරිමින්ට වැඩියි. ඒ වගේම යෞවන සමයේ වැඩිහිටි ලක්ෂණ පහළ වෙන සමයේත් ඉස්හොරි ඇතිවීම වැඩිවීමක් පෙන්වනවා. තෙල් සහිත හිස්කබලක් තිබීමත් ඉස්හොරි වැඩිවෙන්නට එක හේතුවක්. ලංකාවෙදි නම් එක් එක් පළාත්වල තිබෙන ජලයේ තත්ත්වය අනුවත් ඉස්හොරි ඇතිවීමේ අවදානම වෙනස් වෙනවා.
5. ඉස්හොරි ෂැම්පූ
ඉස්හොරි ඇතිවන්නේ යම් ආසාදනමය තත්ත්වයක් නිසා නම් හොඳින් හිස සේදී යන ෂැම්පෝ වර්ග වලින් විතරක් හිසේ ඇති ඉස්හොරි මර්දනය කරගන්නට බැහැ. එවැනි අවස්ථාවක ඒ සඳහා නිමැවුණු, ඉස්හොරි වැළැක්වීමට තියෙන බැක්ටීරියා සහ දිලීර නසන්න විශේෂ හැකියාවක් තියෙන ෂැම්පෝ වර්ග අවශ්ය වෙනවා. එතැනදී pyrithizone zinc අඩංගු ෂැම්පෝ වර්ග ඉස්හොරි නැතිකිරීම සඳහා ජනප්රිය වෙලා තියෙනවා. ඊට අමතරව ගල්අඟුරු මූලික වූ ෂැම්පෝ, සෙලනියම් සල්ෆයිඩ් ඇතුළත් ෂැම්පෝ සහ සැලිසිලික් ඇසිඩ් අඩංගු ෂැම්පෝ වර්ග ඉස්හොරි නැතිකිරීමට පාවිච්චි කරනවා.
6. ස්වාභාවික සත්කාර
බේකින් සෝඩා සහ දෙහියුෂ, පොල්තෙල් සහ මී පැණි, කොහොඹ කොළ සහ ඔලිව් ඔයිල් ආදී ස්වභාවික ප්රතිකාර ගොඩක් මේ ඉස්හොරි මර්දනයට යොදාගන්නවා. ඒ ස්වාභාවික ප්රතිකාර වලදිත් බොහෝවිට ඉහත කී ඉස්හොරි නසන්න යොදාගන්නා සංයෝග ස්වාභාවිකවම හිසට ලබාදීම සිදුකරනවා. විවිධ ආකාරයේ ආයුර්වේද තෙල් වර්ගත් ඉස්හොරි නැතිවීමට පාවිච්චි කරනවා. මේ හිස ගල්වන තෙල්වර්ග පැය කිහිපයක් හිස මත තබා ඉන් පසු හොඳින් සෝදාහරින්නට ඕනි. නැතිනම් මේ තෙල් වර්ග හිසේ කුණු තට්ටු සමග එකතු වීමෙන් ඉස්හොරි තත්ත්වයන් තවත් වැඩිකරන්නට ඉඩ තියෙනවා.
7. ගෙදරදි කළ හැකි නව ඉස්හොරි ප්රතිකාර කිහිපයක්
ග්රින් ටී, පෙපර්මින්ට් ඔයිල් සහ විනාකිරි මිශ්රණයක් හිස ගල්වා මසාජ් කර විනාඩි පහක් තබා ඉන් පසු ඉවත්කිරීම.
තනුක කරන ලද ඇපල් සයිඩර් විනාකිරි ඔබේ ෂැම්පෝ වර්ගය සමග මිශ්රණයක් ලෙස පාවිච්චි කිරීම.
පොල්තෙල් මේස හැඳි පහකට ටී ට්රී ඔයිල් බිංදු දහයක් එකතු කරලා ඒ මිශ්රණය හිස ගල්වා මසාජ් කර, ඉන් මිනිත්තු තිහකට පස්සේ හිස සෝදා හැරීම.
කපන ලද දෙහි ගෙඩි කිහිපයක් මුට්ටියක දාලා තම්බලා, ඉන් පසු එහි යුෂ හොඳින් නිවුණු පසු හිස් කබලේ ආලේප කර සෝදා හැරීම.
මෙවැනි සුළු ප්රතිකර්ම වලින් වුවත් ඉස්හොරි හැදීම වැළකෙන හිස් කබලක් ඔයාලට ලබාගන්න පුළුවන්.
මේ ආකාරයට ඉස්හොරි ඉවත් කරගන්න මිල අධික ෂැම්පෝ වගේම එදිනෙදා කුස්සියේ තියෙන දේවලුත් පාවිච්චි කරන්න පුළුවන්. මෙතැනදි ස්වාභාවික දේවල් පාවිච්චි කළත් අවසානයේ ඒවා හරහා හිසේ ඉස්සොරි වළකන දිලීර නාශක ගුණ සහිත සංයෝග හිසට එකතු වෙනවා. පැරණි කාලේ ෂැම්පෝ බෝතල් නැති කාලේ ඉස්හොරි නැතිකරගන්න කරපු ස්වාභාවික ක්රම හිස් කබලට වඩාත් ගැලපිලා හිස් කබලේ ඉස්හොරි ඉවත් කරන්නට සහාය වේවි. ඒත් එක්කම ඉස්හොරි ඇතිවන්නට, වර්ධනය වන්නට මූලික වන සාධක වලින් ඈත්වෙලා ඉන්න එකත් ඉස්හොරි වලින් ඉක්මන්ටම ගැලවෙන්න ඔයාලට උදව් වේවි.
උපුටා ගැනීම: Suwa arana