ඉස්කෝලේ (කෙටිකතාව..) (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
උඩින් විසි වී ඇවිත් මං ළඟට වැටුණු පුංචි එක්සයිස් පොත අහුලාගෙන මම විනාඩියක් පමණ ගෙන එහි “නම ,පංතිය” ලියා ඇති තීරුව කියෙව්වෙමි.බ්රවුන් පේපර් කවරයක් දමා තිබූ පොතේ ඊටත් වඩා දුඹුරු පැහැයට දුහුවිලි තැවරී ඇත.දූවිලි පිසදමා එය එවන ලද පංතිය දෙස බලද්දී නිමාලි මැඩම් තවත් පොඩිඋන් ටිකක් වටකරගෙන පොත් බලමින් සිටියි.එතනට ටිකක් එහායින් නිල් කොට කලිසමට මඩ පැහැ ගැහුණ සුදු කමිසයක් හැඳ සිටින පොඩි කොලු පැටියෙක් මගේ දිහා ,හැබැවින්ම මගේ අතේ ඇති පොත දිහා බලාගෙන සිටිනු මා දුටුවේ එවිටය. නිසැකවම මේ ඔහුගේ පොත විය යුතුය .ඔහු පොත ඇහිඳගන්නට නොඑන්නේ , නිමාලි ටීච “දැන්ම යන්නට එපා “කීව් නිසා විය යුතුය. තවත් විනාඩි දහයකින් මේ පීරියඩ් එක ඉවර නිසාත් මට දැන් පන්තියක් නැති නිසාත් මෙතනම ටිකක් හිඳ පොත ඔහුට දීම යන්නට මම සිතා ගත්තෙමි. බෙල් එක වැදුණු විට නිමාලි ටීච තමන් ගෙනා පොත් දෙකත් වේවැලත් ගෙන එලියට බැස්සේ මටත් කට පුරා සිනාසීය. ” ගුඩ්මෝනින් සම්මානි ටීච . මොකෝ මෙතන.ඔයාම ඇවිත් එක්ක යනවද ළමයින්ව. ඉතින් මෙයාලට එන්න කියන්නෙපැයි පීරියඩ් එක ආවම මියුසික් රූම් එකට ? ” ඇය මගේ ළඟ නතරවී අසයි. ඒ ගමන් මගේ සාරිය දෙසත් උඩ සිට පහළට බලනවා මා බලාගෙනය.
” ගුඩ් මෝනින් නිමාලි ටීච. නෑ මට මේ ළමයෙක්ට පණිවිඩයක් කියන්න තියෙනව ඒකයි .” මමත් කීවේ සිනාමුසු මුහුණකිනි.ඇය යන්නම් කියා පිටව ගිය පසු අර පිරිමි ළමයා හිමි හිමින් මා ළඟට ඇවිද එනු මා දුටුවෙමි. ” පුතාගෙද පොත ? ” ඔහු ඔලුව වනා දෝතම දිගු කර පොත ඉල්ලාගෙන පපුවට තුරුලු කරගත්තේය. ” ඇයි ඒක විසි කලේ ටීච? “
” මගෙ ගෙදර වැඩ වැරදී කියල බැනලා විසි කලා ” මම පුදුම වුණෙමි. මා සිතුවේ ගෙදර වැඩ නොකරීම නිසා හෝ වෙනත් දඩබ්බර වැඩක් නිසා පොත එලෙස විසිකරන්නට ඇති කියාය.එසේවත් අහිංසක පොඩි උන්ගේ ඉගෙන ගන්නා පොත් එලෙස විසිකිරීම මා පෞද්ගලිකව අනුමත නොකරයි . නමුත් නොදන්නාකම නිසා ? ඔහු කෙසේ හෝ ඒවා කර ඇත.ගැටලුව පාඩම අවබෝධ වී ඇති ප්රමාණය අඩුවීමය. එය සියයට සීයක් ඔහුගේ වරදක් නොවෙයි . මේ දරුවාට හරිහැටි අකුරු ලිවීමට , කියවාගැනීමටවත් නොහැකිබව මා තේරුම් ගත්තේ පොත පෙරලා බැලූ විටය . ” ඉතින් ටීචල කියල දෙන්නේ නැද්ද ලියන හැටි . ? ” ” නෑ.මං ලියන්න දන්නෙ නෑ වචන. ඉතින් තේරෙන අයට කියල දෙනවා ටීචලා ” එක්වරම දැනුණු කේන්තියක් හෝ දුකක් වැනි හැඟීමකින් මගේ උගුර සිරවී යනු මට දැනුණි.
” එතකොට මේ ලියල තියෙන්නෙ.? “
” ඔව් ටිකක් ටිකක් පුළුවන් . ඒත් ඔක්කොම බෑ.ඕවත් පොත බලන් ලීවෙ.” ඔහු බිම බලාගෙන කියයි. ” අම්මා හරි තාත්තා හරි ගෙදරදි අකුරු කියලා දෙන්නෙ නැද්ද පුතේ ?” මම ඔහු වෙතට මදක් පහත් වී ඔලුව අතගා ඇසුවෙමි.” අම්මා නැතිවෙලා. තාත්තට අකුරු බෑ ” මේ ඇසෙන්නේ මොනවාද.? හය වසරේ දරුවෙකුට හරියට අකුරු කියවාගැනීමට ලිවීමටත් අපහසුය.නූගත් පියෙක් තම දරුවාට හෝ හොඳින් ඉගැන්වීමට අපේක්ෂාවෙන් පාසලකට එවා ඇත. මීට පෙර පෙරපාසලේදීත් පාසලේ වසර පහක් තිස්සේත් ඔහුට ගුරුවරුන් බොහෝ දෙනෙක් හමුවී තිබිය යුතුය. නමුත් ඒ කිසිවෙකු මේ දරුවාගේ දුර්වලතාව හඳුනාගෙන නැත. දැනුත් මා හඳුනා නොගත්තේනම් මේ දරුවා ඉදිරියට යන්නේත් මෙලෙසය. මෙතෙක් ඔහුට ඉගැන්වූ “ගුරුවරුන් ” යන මිනිසුන් ඒ දුර්වලතාව පැල වෙන්නට හැර ඇත. කිසිවෙක් එම වල් පැලෑටිය මේ පැටියාගෙන් උගුල්ලා දැමීමට විනාඩියක් හෝ වෙන්කර නැත.මේ උනන්දුවක් නැති දරුවෙකු නොවන බව ඔහු වැඩ සියල්ලම කිරීමට උත්සහා දරා ඇති සැටියෙන් මට කිව හැක. එසේනම් ගැටලුව කොතනද ? ඉගෙනීමට දක්ෂ දරුවන් පමණක් මුදුනින් තබාගෙන දුර්වලයා පාගා තලා පොඩිකර මුල්ලකට විසි කරන ඉගැන්වීම් ක්රමය මට ඉගෙන ගන්නා කාලයේ සිටම පිළිකුල්ය. මා එකලත් ගුරුවරුන් කිහිප දෙනක්ගෙන් මේ වැරැද්ද දැක තිබුණත් එදා හඬ නැගීමට පුංචි මට හැකියාවක් නොවීය.
” මගෙ පුතා එනවද හවස ඉස්කෝලෙ ඉවර වෙලා පැයක් විතර මං කියවන්න උගන්නන්න . ම්ම් ..
ගෙදරට කියල එන්න හෙට එද්දි ටිකක් පරක්කු වෙනවා කියල . තව යාලුවො ඉන්නවනම් එන්න කියන්න.හාද ? ” ඔහු කලු පාට ඇස් බෝල දෙක දිස්නෙ ගසමින් ” හා ටීච මං එන්නම්.කොහෙටද එන්නෝනෙ ? ” කියා ඇසූ සැටි මේ පැටියා ඉගෙන ගන්නට කොච්චර ආසාද යන්න තේරුම් ගැනීමට මට ප්රමාණවත් විය.
මම පත්වීම ගෙන පැමිණ තවම ගත වී ඇත්තේ මාස දෙකක් පමණය. මෙය නගරබද නොවූවත් හොඳ තත්වයේ පවතින , ප්රදේශයේ නමක් දිනූ පාසලකි. පොඩි උන් රෑනක් වට කරන් ඔවුන්ව ආදරයෙන් බලාගන්නට උගන්වන්නට මට ඒ කාලයේ සිටම ඕනෑ වී තිබුණි.සමාජයට යන්නට පෙර මේ පොඩි උන්ගේ ඔලු හැදිය යුතුය. ඔවුන් යහපත් ,උගත් මිනිසුන් කිරීමට මට හැකි තාක් මා වෙහෙසිය යුතුය. එය මගේ ජීවිතයේ එකම සිහිනය බවට මේවන විට පත් වී හමාරය.
තවත් දිනක වාර්ෂික ත්යාග ප්රදානෝත්සවයේදී පදක්කම් හා තෑගි , ඒවා ලබාදෙන ආරාධිතයන් වෙත රැගෙන යාමට සිසුවියන් පිරිසක් අවැසි වී තිබුණි. එම උත්සවයේ සංවිධාන කටයුතු කරට ගෙන සිටි මැදිවියේ පසුවන මාලනී මැඩම් අට වසර පන්තියකට පැමිණ කැමති පස් දෙනෙක් එන්නැයි කීවේ මා එහි උගන්වමින් සිටින විටදී , මගෙන්ද අවසර ගෙන පන්තිය ඇතුළටම විත්ය .දැරියන් කීප දෙනෙක්ම අත් ඉස්සුවේ ඉතා උනන්දුවෙනි. එයින් හතර දෙනෙකුව පෙන්නා එන්නැයි කී ඇය ” මෙච්චරද කැමති අය ඉන්නෙ ? ” කියා ඇසුවාය. කිසිවෙක් කතා නැත. ” එහෙනම් මේ හතර දෙනා ගන්නම් ඈ ” කියූ ඇය ඔවුන්ට තවත් කුමක් හෝ පැහැදිලිකර දී පිටත් කර හැරියාය.” ඇයි දැන් ටීච කීවෙ පස් දෙනෙක් නේද .අර දුවත් එක්ක යන්න ” මා කීවේ ඇයව රැගෙන නොයාම ගැන සිතේ ඇති වූ පුදුමයත් සමඟිනි. ඇය මා ළඟට ළංව කී දෙය අසා මට ඇතිවූයේ පුදුම කළකිරීමකි. ” නෑ නංගි ඉතින් වැඩේ ලස්සනට වෙන්නෙපැයි. ඇමතිතුමත් එන කතාවක් කීවෙ. තෑගි අල්ලන්න සුදු ලස්සන ගෑණු ළමයි ටිකක් දාන්නෙපැයි. එතකොටනෙ එළියක් වැටෙන්නෙ.” මට හේතුව වැටහුණේ එවිටය. සත්තකින්ම මේවාට කියන්නට කටට එන්නේ සුද්ද සිංහල වචනය. අර ඉතිරි වූ දැරිය ටිකක් පැහැයෙන් අඩු කෙට්ටු දැරියකි. ඉතින් මොකද ? ඇරත් මේ පාට බලමින් ලස්සන දැරියන් සොයන ගුරුවරිය ඊටත් වඩා පැහැයෙන් අඩුය .” ඉතින් ටීචත් කලුයිනෙ. එහෙනම් එදාට ටීචත් නොගිහින් ඉන්න ” ඇගේ මුහුණ එක්වරම අඳුරු විය.” අනික මේ අවුරුදු කුමාරි තෝරනවා නෙවේනෙ.මේ පොඩි උන්ගෙ උත්සවයක්.මොකක්ද අර කැමැත්තෙන්ම එන්න අහපු ළමයව ගත්තම වෙන වැරැද්ද. මොනවද මේ ළමයි තෝරන විදිය ?” මගේ ආවේගයන් පාලනය කරගැනීම කුඩා කල සිටම මට අපහසුය . එය එකාතකට මගේ දුර්වලතාවකි.නමුත් කියන්නට සිතට ආ දේ මා එහෙම්මම ඇයට කියා අහවර කරගත්තේ නැතිනම් ඒ තරහ හිතේ තබාගෙන මට අද දවසටම වෙන වැඩක් කරගන්නට නොහැකි වන බව දන්නා නිසාය. ” හා හා .ඒක මං බලාගන්නම්කො .මංනෙ මේක බලන්නෙ.සම්මානි මිස් වැඩක් බලාගන්නකො ” කියා ගස්සාගෙන ඇය යන්නට ගියාය. තවත් ඔවැනි මා අකමැති සිද්ධි කිහිපයක්ම මේ ටික කලට මගේ නෙත ගැටී ඇත . එක වසරෙ පුංචි උන්ට දවස් පහට කෑම ජාති පහක් ගෙනෙන්නට කියා එවූ නෝට් එකක් අපේ අක්කා මට පෙන්නුවේ පෙරේදා හවසය . ඇගේ පුතාත් මේ පාසලේම එක වසරේ ඉගෙනුම ලබයි. අපට එය ගැටලුවක් නොවිය හැක.නමුත් සඳුදාට බත් , අඟහරුවාදාට නූඩ්ල්ස් ලෙස එක එක කෑම ජාති එවීමට , එදා වේල කන්න හාල් ටිකක් හොයාගැනීමත් අපහසු, දුප්පත් අම්මා අප්පච්චිලාට නොහැකිබව උගත් ගුරුවරියකට නොතේරෙන්නේ මන්දැයි මට මහත් ප්රශ්නයකි.පොඩි පැටවුන්ගේ පෝෂණය ගැන සිතා එසේ කීවා වන්නට හැකිය.නමුත් අඩුගානේ එය අනිවාර්යය නොකර ඉන්නට ඔවුන්ට තිබුණි . මේවා වෙනස් විය යුතුය. නමුත් වෙනස් කළයුතු ආකාරය මා දන්නේ නැත.
මේ සියල්ල දකිනා විට මගේ ජීවිතේ මට හමුවූ ගුරුවරුන් ගැන මට ඇතිවන්නේ වචනයෙන් කියාගත නොහැකි ගෞරවයක් හා ආදරයකි.ඔවුන්ට දෙවරක් නොසිතා මල් තබා වැඳිය හැක. අහම්බෙන් හමුවූ එක්කෙනෙක් දෙන්නෙක් හැරුණු විට වාසනාවකට ජීවිතේ අඩියෙන් අඩිය ආ ගමනේ හමුවුණේ දෙවියන් වැනි ගුරුවරුන්වය .විෂය කරුණු පමණක් නොව ජීවිතය කියාදුන් ගුරුවරුන් ඒ අතර විය. පාසලේදී පමණක් නොව අමතර පංතිවලදී වුව, සල්ලි පසුපස දුවන ගුරුවරුන් අතර උගුර ලේ රහවෙනතෙක් උගන්වමින් ඒත් නොතේරුනේ නම් එකම දේ දහවරක් හෝ කියාදුන් ගුරුවරුන් මට හමුවී ඇත . පළමුවර උසස්පෙළට පංති ගොස් ප්රතිඵල මදි වූ විට නැවත දෙවන වර මුදල් නොගෙන ඉගැන්නූ ගුරුවරුන් මට හමුවී ඇත. තවත් එකී මෙකී නොකී බොහෝ දෙව්වරුන් ගුරුවරුන් ලෙසින් පාසලේදීත් ඉන් පිටතදීත් මා දැක ඇත. එක වසරේ සිට අද වනතෙක් ” සම්මානි ” චරිතය හැඩගැසී ඇත්නම් එයින් බර ගණනක ප්රසාදය හිමිවිය යුත්තේ ඔවුන්ටය. එවැනි මිනිසුන් මේ පාසලේ නම් සිටින්නේ ඉතාම අතලොස්සකි.එය මේ දරුවන්ගේ අවාසනාව වන්නට ඇත.
කාලය කෙමෙන් ගතවන්නට විය .ශිෂ්යත්ව විභාගය යෙදී ඇත්තේ තව දින හතරකිනි. ඒ ගැන පොඩි පංතිවල ගුරුවරියන් කතාබහ කරමින් සිටින විට හදිසි පණිවිඩයක් ලැබුනේ මෙවර විභාගය ලියන්නට සිටි දුවෙක්ගේ පියා නැතිවී ඇති බවයි . අධික ණය බර නිසා ඔහු සියදිවි හානිකරගෙන තිබුණි. පොඩි දැරියගේ අක්කා තූර්යවාදක කණ්ඩායමේ නායිකාව බව මා දැනගත්තේ මලගෙදරට ගියාටත් පසුය.අලුතින්ම එම කණ්ඩායම නිර්මාණය කලේ මාය .ඔවුන්ගේ ඇඳුම් නිර්මාණයේදී ඇය මුදල් ගෙනෙන්නට පමාවූයේ ඇයිදැයි මට වැටහෙන්නේ දැන්ය. මා ඇයට සැර නොවූවත් කිහිපවරක්ම “ඉක්මනට සල්ලි ගෙනත් දෙන්න පුතේ ඇඳුම් මහගන්න පරක්කු වෙයි නැත්නම්” යැයි මතක් කර ඇත. ඇය වරක් එයින් අස්වෙන්නද කියාත් ඇසුවද මා එයත් නැවැත්වූයේ ඇය කණ්ඩායමට වටිනා දැරියක් වූ නිසාය. නමුත් මා කර ඇති වරද මට තේරෙන්නෙ දැන් ය. මේ හඬන පැටවුන් දෙදෙනා දකින විට මට වැටහුණේ එලෙසය .අපි දරුවන් මත ඔවුන්ගේ පවුල් මත සොයානොබලා කෙතරම් නම් බරක් පටවනවාද ? ඇතැම්විට ඔවුන් කිසිත් නොකියා නිහඬව ඉන්නවා වන්නට හැක. තව දින දෙකකින් ශිෂ්යත්වය එයි. මේ පොඩි දැරිය විභාගය ලිවිය යුතුය .ඇරත් මෙතැන සිටියා කියා ඇයට කිසිත් තේරුමක් ද නැත. මෙහි සිටියොත් ඇයව විභාගයකට යවන්නට හෝ කිසිවෙකුට මතක් නොවෙනු ඇත. මම ඇගේ නෑදෑයෙකුට කියා පොත් පත් ටිකත් ඇඳුම් ටිකකුත් බෑග් වලට දමාගත්තෙමි. ” චූටි දූ අපි යමු ටීචලගෙ ගෙදර.තාත්ති දැන්ම යන්නෙ නෑනෙ.අපි විභාගෙ ලියල ඊට පස්සෙ ඇවිත් තාත්ති බලමු.ම්ම් ? ” මා එලෙස ඇයව කැටුව ආවේ හිතාමතා නොකළත් ඇයගේ පියාගේ සිතට ණය නිසා ඇතිවූ පීඩනය වැඩිකිරීමට මාද වචනෙකින් හෝ දායක වී ඇති වරදට හදවතින් බැනුම් අසමින්ය.
අවසානයි.
උපුටා ගැනීම: Chamodi Lakshani

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!