“අවුරුද්දට ඉස්කෝලෙ නිවාඩු දෙන්නෙ නමවෙනිදටලු ” එහා ගෙදර ඇන්ටි අපෙ අම්මත් එක්ක කියනවා ඇහුනා. ඒක ඇහුනම ඉස්සර වෙච්ච පොඩි කතාවක් මතක් උනා.
මතක විදියට මේක වෙද්දි මං හත වසරෙ වෙන්න ඕනි. ඉස්කෝලෙ නිවාඩු දෙන දවස. එදාට හැම පන්තියකම ශෝක් අවුරුදු කෑම මේසයක් ලෑස්ති කරනවා. තව පන්තියකින් පන්තියකට ලොකු කෑම පිඟානක් හුවමාරුත් කරගන්නවා.
අපේ පන්තියෙ ඩෙස්ක් ටිකක් එකතු කරලා මේසයක් හදලා ඊට උඩින් මේස රෙද්දක් දාලා ඊටත් උඩින් කිරිබත් පෙට්ටිය මැද්දට වෙන්න තියලා අනිත් කෑම ජාති ලස්සනට වටේට තියලා තියෙනවා. ආ තව මේසෙ වටේට පුටු ටිකකුත් තියලා තියෙනවා. අනිත් ඩෙස්ක් , පුටු පන්තිය කෙලවරේ ගොඩ ගහලා තියෙන්නේ.
ඔන්න ඉතින් අපේ ටීචර්ස්ලා ඇවිත් සංකේතාත්මකව කෑම මේසෙ විවෘත කරලා එහෙම ගියා.
දැන් ඉතින් අපේ අනුභව වෙලාව. කට්ටිය හරි හරියට කනවා. මාත් ඉතින් මේසෙ ලගම තිබ්බ පුටුවක වාඩි වෙලා කෑම ටික දිහා බලන් කල්පනා කරනවා කොහෙන්ද පටන් ගන්නේ කියලා. ඔය තියෙන්නේ කිරිබත් පෙට්ටිය ලස්සනට සුදු පාටට. එතනින්ම පටන් ගන්නවා කියලා හිතලා අත දික් කලා. ම්ම්ම්හ් දිග මදි. පොඩ්ඩක් නැගිටලා ඉස්සරහට නැමිලා අත් දෙකත් දික්කරලා කිරිබත් පෙට්ටිය දෝතින්ම අරගෙන වාඩි උනා. හැබැයි පුටුවෙ නෙමෙයි ඩෝං ගාලා බිම ඉන්දුනේ කිරිබත් පෙට්ටියත් බදාගෙනම.
ඒ ටිකට අපේ එකෙක් පුටුව අයින් කරලා හිනාවෙවී ඉන්නවා. කොහොම හරි ඒ නිවාඩු කාලෙ මුල් දවස් පහ හයම ඇවිද්දෙ පුදුම අමාරුවකින්.
ඒ දවස්වල ඕවා මතක් කරලා හිනාඋනාට දැන් තමයි තේරෙන්නේ ඒවා ඇස් රතු වෙන විහිළු කියලා.
උපුටා ගැනීම: Buddhi Jayaweera