ඇටෙං පොත්තෙං එලියට ආපු ගමං කොල්ලෙක් දැක්කම එන කිචිය අපි හැමෝටම පොදුයිනෙ. ආයි ඉතිං ඕක නෑ කියන්න ඕන නෑ. මේක මේ අසහනේවත් වෙන මොකුත් දේව කෝපෙට ලක් වෙන එකක් නෙමේ. විරුද්ද ලිංගික ආකර්ශනේ..
ඔහොම ආකර්ශනේ වෙන්න ගිහින් හොම්බ බිම ඇනගත්ත අවස්තාවක් තමා මං මේ කියන්න යන්නෙ.
ඒ කාලෙ මට කොල බොක්කෙම්ම ප්‍රේම කරපු කොල්ලෙක් හිටියා. මිනිහා මට ආදරේ ප්‍රකාස කරලා ලියුමක් එවලා තිබ්බා 10 වසරෙදි. ලියුමක් කිව්වට ඒක ඇවිල්ලා තනිකර පුස්කොල පොතක්! ෆුල්ස්කැප් ම පිටු හතරක්.
හනේ මෙච්චර ලියල තියෙන්නෙ මං ගැන වෙන්නැති! මටත් ඉතින් හම්බේ.. හරි මෙව්වයි.
ඒක ඇවිල්ලා ලියුමක් නෙමේ! ඔටෝග්‍රාෆ් එකක්. ගෑල්ලමයි දන්නවා ඔටෝග්‍රාෆ් එක. යාලුවන්ට දුන්නම යාලුවො ලියනව කවි, නිසදැස්..
පටං අරං තිබ්බෙ මෙහෙම.
නොසිතූ විලස අප දෙදෙනා හමුවූවා
යහපත් ගති පැවතුම් සැමදා පැතිරේවා
පුංචි කුමාරිගෙ නාමය මගෙ හදේ ලියවේවා
යලි ඔබ රාජගිරියෙදි මට හමු වේවා..
අහම්බෙන් ගියපු සෙමිනා එකකදි තමා පොර දැක්කෙ. මං නං තාම හිතන්නෙ මිනිහා කාගෙ හරි ඔටෝග්‍රාෆ් එහෙකිං උස්සපු කවි මෙව්වා…
මං අර කොල හතර පුරාම හෙව්වා එක වචනයක් මං ගැන. මොනාමහරි ලියන්නෙපැයි ලියුමක නං.. කොල උඩ නැගලා හෙව්වා. පාට පාට පෑන් වලින් ලියල තිබ්බ අකුරෙං අකුරට ඇඟිල්ල තිය තිය හෙව්වා.
විස්සාස කරන්න, අර කොල හතරෙම තිබ්බෙ ඔය වගේ කවි. ඉගනීමේ වැදගත්කම, කැම්පස් ගියාම අමතක කරන්නෙපා, හන්තානට පායන හඳ…
උගේ ආච්චිට අපි එතකොට 10 වසරෙ!
(නම කියන්න නැතුව මනක්කල්පිත නමකින් කියන්නං හොදේ) හතර වෙනි පිටුවෙ අන්තිමට හැඩ අකුරෙං ‘ඉශ් රූල්ස්’ කියල ලියලා.. එදා නං මට ලියුම කඩාගෙන කන්න හිතුනා. හැබැයි දැං ඒක මතක් වෙද්දි හරිම සුන්දර අත්දැකීමක්. එහෙම හරි ලියුමක් හම්බුන පලවෙනි සහ අවසාන වතාව ඒක.
ඔහොම ගිහින් මං 12 වසරට ආවට පස්සෙ, ෆෝන් නෑ මට අම්මගෙ ෆෝන් එකෙන් තමා වැඩ කෑලි ඔක්කොම දාන්නෙ. දවසක් ආවා කෝල් එකක්, රෝන්ග් නම්බර් එකකින්.
මිනිහට රෝන්ග් නම්බර් කියල තිබ්බට කෙල්ලෙක්ගෙ කටහඬක් නිසා මේකා ආයි ආයි ගන්නවා.. කොල්ලො බහුතරේ එහෙමනෙ. මං කැත උනාට ඒ කාලෙ කටහඬ හෙන මෙව්වයි. දැන් වගේ ගොරහැඬි නෑ.
මාත් ඒ කාලෙ තනිකඩ කුරුල්ලා. මේකාගෙ වැඩේම කෝල් කරනවා, මැසේජ් කරනවා. මිනිහා සීදූවෙ. බෑන්ඩ් එකක් එහෙමත් තියනවා. සිංදු කියන්නත් පුලුවන්ලු.
සිංදු කියන්න පුලුවන්! අන්න වැදගත්ම දේ. සිංදු කියන රාං කුරුල්ලෙක් අහම්බෙං හරි හම්බුනා කියන්නෙ! මොන වාසනාවක්ද..
මට ඉතිං ඒකාගෙ කටහඬින් සිංදුවක් අහනකං ඉවසිල්ලක් නෑ. මාත් ගණං උස්සන එක පැත්තකිං තියලා ඒකගෙන් සිංදුවක් රික්වෙස්ට් කරා. ඒ කරපු ගොංකම තරං ගොං වැඩක් හම්මේ! මට වඩා නං සිංදු කියන්න පුලුවන්, ඒක හරි. මට සැකයි මිනිහා බෑන්ඩ් එකක් කිව්වෙ හෙයා බෑන්ඩ් එකක්ද කියලා..
එදා ඉදං මට බේරුමක් නෑ මේකගෙ වැඩේ කෝල් කරල සිංදු කියනවා. රෑ ජාමෙ ඇහැරෝලත් සිංදු කියනවා. ඒ සිංදු අහගෙනම නින්ද ගිහිං මං හීනෙනුත් බය වෙනවා. නිදාගන්න නෑ.. පොතක් පතක් බලාගන්න නෑ.. මේකා සිංදුම කියනවා.
දවල් රෑ නැතුව සිංදු කිව්වට ඒකා මගෙං කැමැත්ත අහලා නෑ. මං කියලත් නෑ අහලත් නෑ. ඔහොම ගිහිං මෙයාට ඕන උනා මාව බලන්න. වීඩියෝ කෝල් ගන්න එව්වා මෙව්වා බෑ පොඩි නොකියා ෆෝන් එකක් තිබ්බෙ. වාසනාවට! නැත්තං සිංදු කියනවා ලයිව් බලන්නත් තිබ්බා.
බලන්න එන්න කියලා කොහේ එන්නද.මිනිහා සීදූවෙ. මං පිලියන්දල. පොඩි දුරද!
මං සක්යා එකේ ක්ලාස් යනව ඒ කාලෙ. මෙයා දැන් එක පොරේ ක්ලාස් එක ගාවට එන්න. සීදූවෙ ඉදං. කොල්ලෙක් ඔහොම මං වගේ කටු මැස්සෙක් වෙනුවෙං කැප වෙනව කිව්වම හදවත මොලොක් වුනා.. දියාරු උනා.. ඉටි වගේ වැක්කෙරුනා.. මං කිව්වා එන්ඩ කියලා..
ඒ දවස උදා වුනා.. ඉර පෑව්වා. කුරුල්ලො කෑ ගැහුවා. හරක් උම්බෑ කිව්වා. කුකුල්ලු ඇඬලුවා. මම ලෑස්ති උනා. එනව කිව්ව වෙලාවට කොහුවල බස් ස්ටෑන්ඩ් එකට ටිකක් මෙහාට වෙන්න හිටගත්තා.. පපුව ගැහෙනව බිමට වැටෙන සයිස්. දනිස් වෙවුලනවා. දාඩිය දානවා.
ඒ අස්සෙ මං විසි පහක විතර වයස කොල්ලෙක්ව හොයනවා.
අර මනුස්සයා කෝල් කරා. ලඟ ඉන්නෙ කිව්වා.. ඇඳන් ඉන්න ඇඳුමෙ පාට කිව්වා. ඔන්න කිව්වා වගේම ත්‍රීවීලර් එකකින් ඇවිත් බැස්සා..
තාත්තා එක්කද ඇවිත් තියෙන්නෙ! මං දැන් බලං ඉන්නව අංකල්ට පස්සෙ කොල්ලා බහිනකං. ත්‍රීවීල් එක ගියා. මගෙ දෙලෝ රත් උනා. කං දෙකෙන් දුං දානවා.
මගෙ උරහිස්ස ගානට උස, තට්ටෙ වටේට තියන කෙස් ගස් ටික හොඳට තෙල්ගාලා ඔලුවට අලෝපු, කොට, කලු මහත අංකල් කෙනෙක්! මෙච්චර කල් මට දිවා රෑ නැතුව සිංදු එපා වෙනකං සිංදු කිව්ව මනුස්සයා.. අවුරුදු 40ක වගේ පෙනුමයි.
අයියෙ කියන්නද,අංකල් කියන්නද කියලවත් හිතාගන්න බෑ. හතර විලි ලැජ්ජාවයි. පන්තියට යන ලමයිත් යනවා. මට හිතුනෙම කකුල් දෙකට ඇඟේම පන දීලා දුවන්න.
අංකල් කෙනෙක් උනත් සීදූවෙ ඉදං ආපු මනුස්සයට එහෙම කරන්නත් පව්! මට තරහම මේකා මට වයස බොරු කිව්ව එකට.
“අයියෙ මං ගොඩක් වෙලා බලං හිටියා. දැං ක්ලාස් පටං ගන්නවා. මං යන්නද”
එපා කියන්නද ඉතිං! යන්න කිව්වා. මාත් ආවා. ආයි හැරිල බැලුවෙ ක්ලාස් එකටම ඇවිත්. සිම් එක ගලෝලා දාගත්තා බෑග් එකට. ලැජ්ජාව ඉහෙං එකයි.
ඔන්න ඔහොම ඒ ප්‍රේම වෘතාන්තය ඉවර උනා. හැබැයි අංකල් කෙනෙක් එහෙම කතා කරල, අනවශ්‍ය දේවල් වලට එන්නැතුව සිංදු කිය කියම හිටපු එකම ඇති මට. තනි වෙච්චි මනුස්සයෙක් වෙන්නැති.
එදායිං පස්සෙ සිංදු කියන කොල්ලොන්ට තිබ්බ ආසාව හේදිලා ගියා. මාස දෙක තුනක් එක දිගට සිංදුම අහපු හැටියට එපා නොවුනනං පුදුමෙ.
ඔන්න ඔහොමයි අපි ලව් කොරේ!
එදා මං එන්නෙපා කිව්වනං තාම සිංදු අහනවා 😌
-නිර්ණාමිකයි😹