“අනේ අම්මේ ලබන සතියේ ඉස්කෝලෙන් ට්රිප් එකක් යනවා.මාත් යන්නද?”
“ඕවගේ යන්න කෝ බන් සල්ලි? ඒ වියදම් කරන ටිකෙන් දවස් කීයක් බඩ පුරෝගත්තැකිද?
ඔන්න ඔහේ ගෙදරට වෙලා ඉඳහන්.අපි පුළුවන් වුනු දවසක යමු.”
කතාව එච්චරයි.එතනින් එහාට අම්මට බල කරන්න හිතක් දුන්නෙම නෑ.හිතේ ආසාවට අර වචන ටික එලියට පැන්න බව ඇත්ත.ඒත් ඊටත් වඩා අම්මායි තාත්තායි අපිව ජීවත් කරවන්න විඳින දුක මම දැක්කා.ඔව්,අම්මා කීවේ ඇත්ත.බස් එකේ ගාණයි අතට වියදමට දෙන ගාණයි එකතු කළොත් අපිට දවස් තුන හතරකට හරි කන්න බොන්න ඇති.ඉතින් ඒ වගේ ගමනක් මට ඕනේ නෑ.යාළුවෝ ටික ගිහින් ආවදෙන් කියලා මම හිත හදාගත්තා.දුකයි නම් තමා.ඒත් මොනා කරන්නද.
ඔහොම දවස් දෙකක් විතර ගියා.අම්මා එක සැරේම මට කතා කළා..
“අර උබලා ඉස්කෝලෙන් යනවයි කීව ගමනට මොකද වුනේ? ඒක ගියාද?”
“තාම නෑ අම්මේ.ගෙවල් වලින් කැමැත්ත දීපු ලියුම් අරගෙන බස් එකට සල්ලි බැඳලා ඉවර කරන්න තිබ්බ දවස ඊයේ තිබුනේ. අනිද්දා යන්නේ.”
” එහෙමද? එහෙනම් ලියුමක් ලියහන්කෝ උබත් යනවා කියලා.තාත්තා සල්ලි දුන්නා.පන්තියේ හැම එකාම යද්දි උබ විතරක් ගෙදරට වෙලා ඉන්නවැයි.ගිහින් වරෙන්.”
අම්මා එහෙම කීවට මේ ගමන යන්න ඒ හැටි උනන්දුවක් දැන් මට නෑ.මොකද මන් දන්නවා ඒ සල්ලි අපිට උඩින් පහළ වුනේ නෑ කියන්න.කාගෙම හරි ළඟ වැඳ වැටිලා ණයට ඉල්ලන් එන්න ඇති.ඉතින් ඕවා කල්පනා වෙද්දි ඒ යන ගමන හිතේ සතුටකින් මට ගිහින් එන්න බෑ.
” අනේ දැන් ඕන් නෑ අම්මේ.මට යන්නත් බෑ වගේ.මම එහෙ යන්න ආසා නෑ.අම්මා ඒ සල්ලි තියාගන්න.”
මම එහෙම කියලා මේ කතාවෙන් කර අරින්න හැදුවට ගැලවිල්ලක් වුනේම නෑ.කොහොම හරි ඒ ගමන මට යන්න වුනා.මගේ කැමැත්තෙන් නෙවේ.හිතේ කිසිම ආසාවක් නැතුව.අම්මලාගෙන් බේරෙන්න බැරිකමට.
” අඩේ මොකද බන් නිකන් එපා වෙලා වගේ ඉන්නේ.වරෙන්.ඇවිත් සින්දුවක් කියපන් අපි එක්ක.තව ටිකකින් කන්න නවත්තයි”
සයිඩ් ගහලා හිටිය මාව යාලුවෙක් ඇදලා ගත්තේ උන් එක්ක සින්දුවක් කියන්න.මොන සින්දුට මට.අම්මායි තාත්තායි මල්ලියි කාලාද බීලද දන්නේ නෑ කියලා මතක් වෙද්දී පපුව පිච්චෙනවා.හිනාවෙලා උන්නට මං හිත ඇතුලෙන් හිටියේ වෙනම ලෝකෙක.
” ඒ වරෙන් කන්න.කෝ උබේ බත් එකත් අරගෙන වරෙන්.කට්ටියම බෙදාගෙන කමු.”
මගේ පපුව හෝස් ගෑවා.මගේ බත් එක කොහොමද උන් කන්නේ.මොනා උයලද දන්නෙත් නෑ.බතකුයි සම්බෝලෙකුයි තවත් මොනා හරි ඇති ඉතින්..උන් ඒවා කයිද කවුද දන්නේ.මාව වෙව්ලනවා.මොනා කරන්නද.බත් එක ලෙහලා බැලුවා.
ඇත්තටම ඒ බත් එක දකිද්දී මට අදහගන්න බැරිවුනා.මාස ගාණකින් රහ නොබලපු සැමන් මාලු කෑල්ලක් එක්ක,මලවාපු සම්බෝලෙකුයි,අලතෙල් දාලා තිබ්බා.
අම්මා කොයි වෙලේ,කොහොම මේ දේවල් කරාද කියන්න මම තාමත් කල්පනා කරනවා.කොච්චර අඩුපාඩු තිබ්බද ගෙදර.ඒත් මං නිසා ඒ හැමදේම පස්සට දාලා.වෙන උන්ට වගේම කිසිවෙනසක් නෑ මටත්.එද්දි අතට වියදමටත් රුපියල් දාහක් දුන්නා.ඒ වෙලාවේ පපුව පැලෙන්න තරම් දුකක් දැනුනා.ඔක්කොම මම හිත යට එහෙමම තද කරගෙන උන්නා.
” ඒ වරෙන් අපි ගෙදරනේ දැන් කෙලින්ම යන්නේ.ඒ හින්දා මොනා හරි අරගමු.මට නම් ගන්න ගොඩක් දේවල් තියෙනවා.”
යාලුවෝ සෙට් එක හැම එකාම ඔහොම කතාවෙනවා.සමහරු එක එක කෑම ජාති අරගෙන හොඳට කනවා.තව සමහරු සෙල්ලම් බඩු අරගෙන.මං ලඟ උදේ ගෙදරින් ගෙනාපු රුපියල් දාහ තාමත් එහෙමමයි.වියදම් කරන්න බෑ.කන්නත් ආසයි,සෙල්ලම් බඩුවකුත් ඕනේ.ඒත් ඊට වඩා අසරණයි.
මට බෑ මේ සල්ලි ටික වියදම් කරන්න.ඔන්න ඔහේ යාලුවෙක් කන අයිස්ක්රීම් එකකින් චුට්ටක් ඉල්ලගෙන කනවා.උන් එක්කම හිටියම ශේප් වුනෑකි.මම ඇත්තටම එද ගැහුවේ හොර ගේමක්.හිතට එකඟ නෑ.ඒත් නොකර බැරිවුනා.
ඔහොම ඉද්දී හැමෝම එක එක දේවල් ගෙදර ගෙනියන්න අරගන්නවා.මල්ලිලාට අක්කලාට කිය කියා හැමෝම මොනාහරි ගන්නවා.
මටත් ඒ ආසාව නම් තදටම දැනුනා.එතනදි මට නම් මාව පාලනය කරගන්න ඇත්තටම බැරිවුනා.
ඉක්මනට ගිහිල්ලා අම්මාට තාත්තටයි කියලා අතට බඳින්න පටි දෙකක් අරගත්තා.ඒ ඉද්දී ඉතින් ගෙදර මං එනකල් මඟ බලාන ඉන්න මල්ලිටත් මොනාම හරි ගන්න එපැයි කියලා හිතුන නිසා ඌටත් සෙල්ලම් බඩුවක් ගත්තා.ඇත්තටම මට මාර සතුටක් දැනුනේ එතන ඉඳලා නම්.අපරාදේ සල්ලි තියාගන්න තිබුනේ කියලත් හිතුනා.ඒ වුනත් අර සතුට ඊටත් වැඩියෙන් තිබුනා.ගෙදර යනකල් ඉවසිල්ලක් නෑ.
” අම්මේ.මේක ඔයාටයි තාත්තාටයි.මේක මල්ලිට.උදේට දෙන්න.ආහ් මේ ඉතුරු සල්ලි ඒකත් ඔයා ලඟ තියාගන්න.”
මම හරි ගැම්මෙන් ඒ දේවල් අම්මට දුන්නේ.ඇත්තටම ඊට පස්සෙයි මම මොකක්දෝ ලොකු බරකින් නිදහස් වුනා වගේ දැනුනේ.
” ඈ බන්.උබ කොහෙද ගියේ? දුන්න රුපියල් දාහෙන් මේ බඩුත් අරන් තව හත්සීය ගාණක් ඉතුරු කරනුත් ඇවිත් තියෙන්නේ? උබ මොනවත් කෑවේ බිව්වේ නැද්ද? ඇත්ත කියපන්.”
” අයියෝ නෑ නෑ මං කෑවා අම්මේ.ඉතින් ඉතුරු වුනා.ඒ ඉතුරුවා තමා ඔය.”
බොරු කියලා ශේප් වෙන්න බැරිබව දන්න හින්දා මම වැඩිය මොනාවත් කියාගෙන ගියේ නෑ.ඒත් මම දන්නවා අම්මා මොනවත් මගෙන් ඇහැව්වේ නැතුවට එයා හැමදේම තේරුම්ගත්ත වග.ඒක මං දැක්කේ අම්මගේ ඇස්වල කඳුළු වලින්.මට නොපෙන්නා මූණ හැංගුවට මං ඒ කඳුළු දැක්කා.මටත් ඉවසගන්න බැරිවෙන හින්දම මාත් නොදැක්ක ගාණට එතනින් එහාට වුනා.
ඉතින් මම දෙයියන්ට අදටත් පිං දෙනවා.සැප සම්පත් අපිට නොදුන්නත් දුක් විඳින්න,දුක තේරුම් ගන්න තරම් උණුවෙන හයිය හිතක් මට දුන්නට.ඒ වගේම අම්මා තාත්තා මට මොන දේ දුන්නත් නොදුන්නත් ඒ අය එක්ක තරහක් අදටත් නෑ ඉස්සරහට ඇතිවෙන්නෙත් නෑ.ඒ තමයි මගේ ඇත්තම දෙවිවරු.
හ්ම්.අම්මත් සෑහෙන වෙලාවක් අඬන්න ඇති.මාත් ඇඬුවා.හැබැයි හොරෙන්.
(සත්යය කතාවක් ඇසුරෙන්.)
-ශේනු

(දුප්පත්කම කියන්නේ බාහිර මිනිස්සුන්ට සමාජය මනින්න පුළුවන් දෙයක් වුනත්,දුප්පත් මිනිහෙක්ට දුප්පත්කම කියන්නේ නොසෑහෙන්න දේවල් ඉගෙන ගන්න තියෙන ජීවිතයක්.)
දැනුන හැඟීම ගැන වචනයක් කියාගෙන යමුද?
උපුටා ගැනීම: ශේ නු