මේ සිද්ධිය වෙන කාලයේ අපේ දුව ඩැනීට (නම උදානී – ඔසියො ඒක ඩැනී කරලා) අවුරුදු 14 විතර ඇති. මම තමයි එයාගෙ යාලුවා, අම්මා විනය පාලක අර කලින් කතාවෙ කිව්ව වගේ..
එක දවසක එයාට යාලුවෙකුගෙ ගෙදර යන්න ඕන කිව්වා, ඒ යාලුවගේ (අයිසැක්ගෙ) බර්ත්ඩේ එක කියලා. මම තමයි සාමාන්යයෙන් ඩැනීගෙ ඩ්රයිවර්. මට නිම්මි කිව්වා,
‘ඔයා ලමයව ගේ ඇතුලටම බස්සන්න. අයිසැක්ගේ අම්මට් හරි තාත්තට හරි කතා කරල එන්න’
‘හරි හරි මම එයාල දන්නවනේ’
ඉතින් ඔහොම කියලා දුවත් දාගෙන ආව කියමුකො අයිසැක්ගෙ ගෙදර. එයාලා හිටියෙ බොහොම පොෂ් පැත්තක, ඇමතිලා තානාපතිවරු එහෙම ඉන්න. ඩැනී මට කියනවා,
‘ඩැඩී ඔයා මාව එක්කගෙනත් ආපු එකේ, කරදර වෙන්න එපා. මාව ගේ ඉස්සරහ බස්සන්නකෝ’
කියලා, පුරුදු පරිදි උම්මා එකක් දීලා
‘අයි ලව් යූ’
කියලා කාර් එකෙන් බැහැලා අයිසැක්ගෙ ගේ ඇතුලට දිව්වා.
මම ගෙදර ආවම නිම්මි අහනවා,
‘ඔයා අයිසැක්ගෙ තාත්තාට කතා කලා ද?’
‘සේරම හරි. තේ එකක් බොමුද?’
කියලා බොරු නොකියා මාතෘකාව වෙනස් කරා.
පැයකින් විතර කෙල්ල කෝල් කරලා කියනවා,
‘ඩැඩී ඇවිල්ලා මාව ගෙදර අරන් යන්න. මම්ව ගේන්න එපා’
‘ඕකේ’
මම දැන ගත්තා මොකක් හරි ප්රශ්නයක් කියලා. ඉතින් මම ආපහු දොර ඇරගෙන යන කොට නිම්මි අහනවා,
‘කොහේද ඔයා යන්නෙ?’
‘පොඩි ඩ්රයිව් එකකට යනවා’
‘මාත් එන්නම්’
‘ඔයාට මහන්සි ඇතිනේ. ඊයේ ආවෙත් රෑ වෙලානේ. ඔයා රෙස්ට් කරන්න’
‘නැහැ, මටත් ගේ ඇතුලෙ ඉඳලා එපා වෙලා’
වෙනද හරි මහන්සියි, මට රෙස්ට් කරන්න ඕන කියන ගෑනි දැන් බලෙන්ම එන්න හදනවා.
ඉතින් එයත් දා ගෙන මග එනකොට ඩැනී ආයෙත් කෝල් කරනවා.
‘ඩැඩී ඔයා කොහේ ද?’
‘මම මග’
‘ඔයා තනියම නේ?’
‘නැහැ, මම් එනවා මාත් එක්ක’
‘මම කිව්වනේ එයාව ගේන්න එපා කියලා’
‘මොනව කරන්නද, එයා බලෙන්ම ආවා’
දැන් නම් ෂුවර් මොකක් හරි කෙලියක් කියලා.
අපි අයිසැක්ගෙ ගෙදරට එනකොට, එයාගෙ ඩ්රයිව් වේ එකෙ පොලිස් කාර් දෙකක්. ඒ එක කාර් එකකට හේත්තු වෙලා ඩැනී පොලිස් කාරයොත් එක්ක ගජරාමෙට කතාවක්. මම කාර් එකෙන් බහිනකොටම, මාව දැකලා දුවගෙන ඇවිල්ලා මාව බදා ගත්තා.
පොලිස් කාරයෝ දෙන්නෙක් මගෙ ලඟට ආවා. එකෙක් අහනවා
‘ඔයා ඩැනීගෙ තාත්ත ද?’
‘ඔව් ඔෆිසර්, මොකක්ද ප්රශ්නය?’
මේ වෙනකොට නිම්මිත් එතනට ඇවිල්ලා.
‘ඔයාලා ආඩම්බර වෙන්න ඕන ඔයාලගෙ දුව ගැන. අයිසැක්ගෙ දෙමව්පියෝ මෙල්බර්න් ගිහිල්ලා, ඉතින් මෙයාලා පාටි එකක් ලෑස්ති කරලා, සේරම කෙල්ලො කොල්ලො බීලා. ඊට පස්සෙ හිස් බියර් බෝතල් උඩ දාලා බැට් වලින් ගහලා. ඒ සද්දෙ නිසා අසල්වැසියෝ පොලිසියට කෝල් කරා. අපි එනකොට සේරම අය දිව්වා. ඔයාගෙ දුව විතරයි බීලා නැත්තෙ, ඒ වගේම අයිසැක්ව තනි කරලා නොදිව්වේ. ඔයාට ඩැනීව අරන් යන්න පුලුවන්. අපි අයිසැක්ව තනියම තියන්න බැහැ බාලවයස්කාරයෙක් නිසා. ඒ නිසා එයාගෙ දෙමව්පියෝ එනතුරු පොලිසියේ තියා ගන්නවා. දෙමව්පියන්ට නඩු වැටේවි’
අම්මෝ ඇති යන්තම්.
(පසු කලෙක මගේ උපන්දින පාටියක දුවගේ කතාවෙ කිව්වා ඒ වෙලාවෙ ඩැඩී ලොකු සැනසුම් සුසුමක් හෙලුවෙ පොලිසියෙන් මාව ඇල්ලුවෙ නැතුවටත් වඩා අම්මගෙන් ඔහු ගැලවුනු එක ගැනයි කියල හිනාවෙවී. ඒකේ වීඩියො එක තියෙනව, ඒත් දාන්න බැහැ නේ)
අපි කාර් එකට නැග්ගම දුව අහනවා
‘පව්නේ ඩැඩී අයිසැක්ට. අපි අපේ ගෙදර තියාගමු එයාගෙ අම්මලා එන කම්’
‘සොරි ඩැනී, ඒක කරන්න බැහැ’
‘ප්ලීස් ඩැඩී, මම බිව්වෙ නැහැනේ’
‘ඒක හරි. මම එහෙම කලොත් අයිසැක්ගෙ වැඩේට මම අනුබලදීමක් කරන්නේ. එයාට දඬුවම් ලැබුනොත් ඒක මතක් තියෙන තුරු වැරදි වැඩ නොකර ඉඳීවි’
‘හරි එකඟයි ඩැඩී’
‘මම්, ඔයා මාත් එක්ක තරහද?’
‘ඔව්, ඔයා නොබිව්වට මට බොරු කිව්වා. අයිසැක්ගේ බර්ත්ඩේ එක නෙවෙයි නේ. ඩැඩී එක්ක තරහ මම අච්චර කියලත් ඔයාව ගෙදර ඇතුලට අරන් ගිහිල්ලා නැහනේ. ගියා නම් අයිසැක්ගේ අම්මලා නැති බව දැන ගන්නවනේ. කවුරුද අනේ අම්මලා නැති උනාම ඔහොම පාටි දාන්නෙ?’
මම හිනාවෙමින්,
‘මම අයිසැක් උනා නම් මාත් පාටි දමාවී’
කියලා හිනා උනාම දුවත් මගේ හිනාවට එක් උනා. නිම්මිටත් හිනහයි, ඒත් හිනාව තද කරගෙන
‘ඔයා නිසා තමයි ලමයත් හදා ගන්න බැරි’
කියා අනික් පැත්ත බලා ගත්තා ය.
උපුටා ගැනීම: Devapriya Siriwardena