ඉස්සර අපේ ගමේ වෙසක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉස්සර මම ගමේ ඉන්න කාලේ,
ඒ කියන්නේ ඕලෙවල් ඉවර වුණ කාලේ ඉඳන් මම ජොබ් එකට යන්න වුණ කලේ වෙනකම් කාලේ තමයි හරිම සුන්දරම,
ජොබ් එකට ගියත් හැම නිවාඩුවකම මම ගමේ යන්නේ හරිම ආසාවෙන්,
යටන්වල හංදියෙන් බැහැලා ආනන්ද අයියාට අශෝක මාමාට අත වනාගෙන ගම ඇතුලට යනවා ඉතින්,
එතන ඉඳන් හැම තැනක්ම මගේ හරිම ආදරණීය මතක,
පොඩි කාලේ අප්පච්චීගේ අම්මාගේ අතේ එල්ලිලා අරුණ මාමලාගේ කඩෙන් බනිසයක් අරගෙන හප හපා කියව කියව යන කාලේ ඉඳන් මතක් වෙනවා ගමේ හැම තැනකම,
හංදියෙන් පටන් ගත්තාම වෙසක් එකට ට්රැෆ්රික් කන්ට්රෝල් කරපුවා,
පොඩි කාලේ වික්රමේ මාමාගේ ලී මෝල තිබ්බ වත්තේ තිබුණ කුන්දිරා ගහේ බෙනේක හිටපු කුරුලු පැටව් බලන්න යද්දී කුමාර අයියලා ඇවිත් උන්ට කරදර කරන්න එපා තාරු කියපුවා,
ඊලඟට අනිත් පැත්තේ කොහිල කොටුවට සෑම් අයියයි මායි බයිසිකලේ යද්දී ඇදගෙන වැටිලා කොහිල කටු ඇනගත්තු ඒවා,
ගං වතුර දවස් වලට ගමට යට වෙලා තියෙද්දී ඔරු පැදපුවා,
දහම් පාසල් යන කාලේ හොරෙන් තැඹිලි කඩන් බීපුවා,
දහම් පාසල් ඇරිලා යද්දී කැඩුණ සරම කරේ දාගෙන ශෝට පිටින් ගෙදර ගියපුවා,
ඔරු ගේ ගාව ලිඳේ රෑට බීපුවා,
පන්සල් වත්තේ වොලිබෝල් ගහන ගමන් එතන අඹ ගහට පොලු ගහලා අඹ කඩපුවා,
පතිරාජ මාමලාගේ පේර ගහෙන් හොරෙන් පේර කඩන් කාලා කණ්ඩිය දිගේ අසේලයයි චතුවයි ඇදගෙන වැටුණ ඒවා,
ඇලේ දණ්ඩි පැටව් අල්ලලා ජෑම් බෝතලේට දාගෙන ගෙනාපුවා,
වෙලේ කලුපාට බෝල වගේ කොරවකු පැටව් අල්ලලා උන්ගේ පූර්ව ලමා විය සංවර්ධනය කිරීම අපිම භාර ගත්තුවා,
සරුංගල් අරිද්දී සරුංගලේ බණ්ඩි ගොයම උඩට කඩාගෙන වැටුණාම ඒක ගන්න ලියදි දිගේ ගිහින් ගොයම් පැළ තැලුණාම බැනුම් අහගත්තුවා,
ගොයම් කපලා ඉවර වුණාම ගොඩ ගහන පිදුරු ගොඩේ නටලා හවසට ඇඟ කස කසා හිටපුවා හැම එකක්ම මට හරිම සුන්දර මතක විදිහට මතක් වෙනවා,
මම ගෙදර එද්දී ඒ හැම එකක්ම මතක් කරගෙන තමයි එන්නේ ගෙදර…
මම ඉතින් මේ ලියන්න ගත්තේ බොරලැස්ගමුවේ බිල්ඩින් ගොඩක් අස්සේ මේ වෙසක් කාලෙට වෙසක් බැති ගී ඇහෙද්දී මට ගම මතක් වෙනවා,
මොන ඝන්ඨාරෙක හඬ ඇහුණත් මට ඇත්තටම මටතක් වෙන්නේ අපේ යටන්වල ශ්රී ස්වර්ණ වාළුකාරාමේ පංසලේ ඝන්ඨාරේ,
හඳුන්කූරු සුවඳක් ආවත් මට මතක් වෙන්නේ අපේ පන්සලේ උඩ මළුවේ හීං වැලි පාග පාග අපි තියපු බෝධිපූජා සහ වැඳ නමස්කාර කරපුවා,
එහෙම තියා පාංතියරක් පිච්චිලා එන සුවඳ පවා මතක් කරන්නේ අපේ ගමේ පන්සල,
ඇත්තටම ඒ ඉතින් ඉපදුණ දවසේ ඉඳලා අපි විඳපු අත්දැකීම් එක්ක වෙන්න ඇති.
මම මේ කියන්න ගත්තේ අපි වෙසක් එකට සූදානම් වෙන විදිහ,
ඉස්සර හැම වෙසක් පොසොන් එකකටම යටන්වල ගමේ තොරණක්,
කූඩුවක් දන්සැලක් වරදින්නේ නෑ,
අපි දන්න කාලේ ඉඳලා අපේ අයියලා වෙසක් එකට මොනවාහරි දෙයක් කරනවා,
රවී අයියයි දයානන්ද මාමයි තමයි හදන කූඩුවේ ඩිසයින් එක අඳින්නේ,
තාක්ශණික සහය සුමිත් මාමලා නිරාන් අයියලා තමයි,
ඉතින් ප්රියන්කර අයියලා කුමාර අයියලා එහෙම මුලිකත්වය අරගෙන අපි යනවා ගෙයින් ගෙට ආධර එකතු කරන්න,
ගොඩක් වෙලාවට අපි යද්දී අපේ පන්සලේ පොඩි හාමුදුරුවොත් වඩිනවා,
අපි ඉතින් ටවුන් එකේ කඩවල් වලට එහෙමත් යනවා ආධාර පත්රය අරගෙන,
ඔය කියනවා වගේ අන්න අරුන් ආධාර කොලේ උස්සන් එනවා කියලා විහිලුවට කිව්වාට හැමෝම හරිම කැමැත්තෙන් තමන්ට පුලු පුලුවන් විදිහට දායකත්වය ලබා දෙනවා ගමේ දේට.
ඊට පස්සේ ඉතින් කැටයම් කැපිලි,
පුවක් කොට හෙවිලි,
උණ බට හෙවිලි වලට අපි කණ්ඩායම් බෙදිලා යනවා,
පන්සලේ ඇලුමිනියම් පෝච්චියට ඉඟුරු දාපු තේ හදලා,
පාට පාට ප්ලාස්ටික් කෝප්ප වල තේ බිබී,
ශ්රී විශ්ණු දේවාලයේ පූජාවලට ගෙනාපු කැවිලි වර්ග,
පළතුරු අපිට තේ එකට වරදින්නේ නෑ,
අපි ඉතින් කයියක් ගහගෙන වැඩ කරනවා.
මට මතකයි මම ඒලෙවල් කරන කාලේ වුණත් කොච්චර එක්සෑම් ලං වුණත් මම ඒ වැඩ කරන තැනට පැය දෙකක් හරි ගිහින් කැටයමක් දෙකක් කපලා දීල එනවා,
අපිට ඉතින් ලොකු තාක්ශණයක් නෑ,
රවී අයියා හරි දයානන්ද මාමා හරි ඇඳලා දෙන ඩ්රෝවින් එක කලු කොල මිටියක් උඩ තියලා හදලා දුන්නාම කෙලවර ෆ්ලැට් කරපු ඇණ වලින් අපි ඒ කැටයම් කපනවා,
වෙසක් පොසොන් දවස ලං වුණාම සමහර වෙලාවට අපි රෑ එක දෙක වෙනකම් වැඩ,
හරිම සුන්දර කාලයක්,
දන්සැල් දෙද්දීත් එහෙමයි,
නිරාන් අයියාගෙ හෝටලේ හරි,
වික්රමේ මාමාගෙ ලී මෝලේ හරි තමයි කෑම උයන්නේ,
උයලා ඉතින් කැටයම් වැඩපල ගාව හට් එකක් ගහලා එතන මොහිදීන් බෙග්ගේ සිංදුවක් හයියෙන් දාගෙන අපි එන වාහන නවත්තලා,
සීනි සම්බල් පාන් සමඟ තේ,
මැකරෝනි,
බිස්කට් වගේ සෑහෙන ජාති බෙදා දෙනවා,
හරිම විනෝදයි ඒ කාලේ,
ඔය ෆොටෝ එකේ තියෙන්නේ දන්සැලට කලින් පාරේ දූවිල්ල අයින් වෙන්න පාර හෝද අවස්ථාවක්.
අපේ ගමේ ඒ වැඩ වලට දායක වෙන සෙට් එක අවුරුදු 15 ඉඳලා 65 විතර වෙනකම් බාල මහළු හැමෝම දායක වෙනවා,
ඇත්තටම මතක් වෙද්දී මොකද්දෝ දුකක් හිතට එනවා.
  උපුටා ගැනීම: -Tharu Rajapaksha-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!