අපි දෙන්නා කලබලෙන් හමුවෙලා කලබලෙන්ම වෙන් වෙලා යන දවස් වලින් එක දවසක අනේ තව ටිකක් ඉන්න තිබුණා කියලා මම කියද්දි එයා එහෙම කියනවා.
“ඔව්නේද ?”
හැම තප්පරයක්ම එයා ලඟින් ඉන්න දවස් ගැන හීන මවාගෙන මං එතකොට එහෙම කියන්නේ එයාගේ වම් උරහිරසට බර වෙන ගමන්.
සමහර වෙලාවට මගේ සම්පූර්ණ බරම එයාට දරාගන්න එහෙම බර වෙන එක අමාරු ඇති. ඒත් කවදාවත්ම එයා එහෙම කියලා නෑ.
“මං මෙහෙම ඉද්දී බර නැද්ද ?”
එහෙම ඇහුවාම එයා මං දිහා බලනවා. මුකුත්ම නොකියා ඇස් වලින් හිනාවෙලා ආයේම ඉස්සරහ බලාගන්නවා. හැමදාම ඇහුවත් උත්තරේ උනේ ඒක.
‘දඩි බිඩි තප්පර…’
අපි මුණ ගැහුනම වෙලාව ඉක්මනට යන නිසා අපි ඒ වෙලාවට කිව්වේ එහෙම.
ඇත්තටම අපි මුණගැහුනේ උපරිම විනාඩි පහලවකට විස්සකට. ඒවා හරිම චූටී වෙලාවල්. ඒත් ඒ හැම දඩි බිඩි තප්පරක්ම කප්පරක් ආදරෙන් පිරිලා තිබ්බා.
“අද මොනාද ගෙනාවේ ?”
එයා මාව බලන්න එද්දි මොනාම හරි අරන් එන්න කවදාවත්ම අමතක කරන්නේ නෑ කියලා දන්න නිසාම කලබලේට දුවන්න කලින් මං එයාගෙන් එහෙම අහනවා. සමහර දවසට එයාට මුකුත්ම ගේන්න බැරි වෙනවා.
“අද නම් මුකුත් ගෑනූ ළමයෝ…”
එයා එහෙම කියද්දි මගේ මූණ මැලවෙන්නේ මුකුත් නැති නිසා නෙවෙයි එයා ඒක භාරගන්නේ වේදනාවෙන් නිසා.
“ඉතින් ඔයාට බැරි ද ඒ වෙනුවට මට මැජික් කිස් එකක් දෙන්න…”
මගේ ඒ වචන ඇහුනම එයා නෑහුන ගානට ඉස්සරහ බලන් ඉන්නවා. ඊට පස්සේ සැනෙකින් මුහුදු හුළඟට දඟ කරන කම්මුලේ වැටුන කෙස් රොදක් හෙමීට අයින් කරලා කම්මුලෙන් හාදුවක් තියනවා.
“දැන් හරි ද ?”
ඊට පස්සේ එයා අහද්දී මගේ උත්තරේ වෙන්නේ හැමදාම මුකුත් නැතුව එන්න කියලා.
එතකොට එයා හිනාවෙනවා. රැවුල අස්සෙන් පේන තොල් උඩට ගිහින් හිනාව මැවෙද්දී මට එයා ගැන ලෝභ හිතෙනවා. එතකොටත් මං කරන්නේ උරිස්සට බර වෙලා මං ආදරෙයි කියලා හාදුවක් තියන එක.
“දන්නවද ගෑනූ ළමයෝ… ”
“මොනාද ? දන්නෑ ඉතින් ඔයා කිව්වේ නෑනේ…”
“මගේ වම් උරහිස දකුණු උරහිරසට වඩා ලොකුයි…”
එයා එහෙම කිව්වාම මං එයා දිහා බැලුවේ එහෙම උනේ කොහොමද කියලා හිතන ගමන්.
“ඇයි දන්නවද ඒ ?”
“ම්හු නෑනේ…”
ඔලුවත් දෙපැත්තට කරන ගමන් මං කියන්නේ එයාගේ උරිස්සෙන් මෑත් වෙලා.
“වම් උරහිසේ කඳුලුයි , හාදුයි පිරිලා තියෙන්නේ…”
එයා එහෙම කියද්දි මගේ මූණේ ඇඳෙන හිනාවට එයා කියන්නේ කෝලම්කාර හිනාව කියලා.
“මේ කෝළම් හිනාවට තමයි මං අහුවුනේ…”
තවත් දවසක ඒ හිනාව දිහා බලන් එයා මුමුණනවා. එතකොට හෙමීට රැවුල් කොට ඇනෙන කම්මුල් වල හාද්දක් තියපු දවස් තුන හතරක් අපේ මතක අස්සේ තිබුණා.
“දැන් යමු නේද ?”
දඩිබිඩි තප්පර වල අමාරුම කොටස තමයි ඒ. විනාඩි විස්සටම අල්ලපු නැති එයාගේ අත මං අල්ලගන්නේ ඒ තප්පරේට.
“මට බෑ…”
“අපි ආයේ හම්බෙනවනේ මැණික…”
එහෙම කියද්දි පුරුද්දට වගේ මගේ ඇස් දෙක කඳුලු වලින් බර වෙනවා. එතකොට එයා ඇඟිලි තුඩු වලින් ඇස් අගිස් පිහිදලා ජීවිතේ අප්රමාණම ආදරේ එකතු කරලා හාදුවක් නළලෙන් තියනවා.
ඒ හාදුව දුන්න නිමේශය අදත් ඇස් වහන් විඳින්න පුලුවන් තරම් ලස්සනයි.
“පරිස්සමින් යන්න…”
එයා එහෙම කියලා පරිස්සමින් මාව බස් එකට දාන්න එක්ක එනවා. ස්ටෑන්ඩ් එකේ කොනේම ගහන කොළඹ බස් එකකට මාව නග්ගලා මැද හරියට වෙන්න ශීට් එකක මාව වාඩී කරලා එයා ඊට එහා පැත්තේ ශීට් එකෙන් වාඩී වෙලා මං දිහා බලන් ඉන්නවා.
හැමදාම එයාටත් එක්ක ටිකට් ගත්තේ මම. ඒක හරියට සම්මුතියක් වගේ. එයා කවදාවත්ම ටිකට් ගන්නද කියලා මගෙන් අහලා නෑ. ඇයි ටිකට් ගත්තේ නැත්තේ කියලා මං අහලත් නෑ.
බහින්න ළං වෙනකොට ආයේ මගේ ඇස් වල කඳුලු පිරෙනවා. අපි ඒ විදිහට මුණ ගැහුන හැම දවසකම ඒක එහෙම උනා.
ඒත් බහින්නම ඕනේ නිසා ඇස් වලින් යන්නම් කියලා බැහැලා එද්දී එයා දිගටම යනවා. කවදාවත්ම යන්නම් කියලා වචනෙන් කියලා නෑ.
ලෝකේට හොරා ආදරේ කරන දවස් නිසා ඇස් වලින් තමයි අපි වැඩිපුර බස් එක ඇතුලේ කතා කරේ.
“දන්නවද මං අහුවුනේම ඔයාගේ ඇස් වලට…”
සමහර දවසට එයා දිගටම මං දිහා බලන් ඉද්දී ඇයි කියලා ඇස් උස්සලා ඇහුවාම එයා එහෙම ටයිප් කරපු මැසේජ් එකක් මට එවනවා.
ඉතින් එතකොට ආපහු මගේ මූණේ මැවෙන්නේ කෝළම් හිනාව. එහෙම හිනා උන දවස් තිබ්බේ දඩිබිඩි තප්පර එක්ක ගෙවුණ දවස් වල විතරමයි.
‘ඊළඟ දවසේ ටිකක් වැඩියෙන් වෙලා ඉමු’
බැහැලා ගිහින් ගෙදර යද්දී ෆෝන් එකට එහෙම මැසේජ් එකක් ඇවිත්. මාත් හිනා මූණූ හාදූ ගොඩක් එක්ක රිප්ලයි කරනවා.
ඒත් එයා කියපු , මං බලන් හිටපු ඒ දිග තප්පර ඒ සැනසීමෙන්ම කවදාවත්ම ආවේ නෑ. එහෙම උනේ අපි අපිට ආදරේ නැති නිසා නෙවෙයි ඕනේවටත් වඩා ආදරේ කරපු නිසා. ජීවිතේ එක්ක දුවන් එද්දි ආදරේ අඩු නොවුණට හරි චූටී තැන් අපි දෙන්නටම මගෑරුනා.
ඉඳලා හිටලා දවසක දැනුත් අපි ඒ මුණගැහුන තැන්වලින් මම එද්දි මට එයාව මතක් වෙනවා. අපේ ජීවිත අපිට නොදැනම අපිව නොසෑහෙන්න ඈත් කරලා කියලා මතක් කරන් අදත් ඒ දඩිබිඩි තප්පර වල මතක එක්ක විතරක් අපි දෙන්නම තැන් දෙකක හිනාවෙනවා.
මට හිතෙන විදිහට ආයේ කවදාවත්ම එහෙම දවස් එන එකක් නෑ. රුපියල් සීයක වඩේ අරන් කියව කියව වැල්ල දිගේ ඇවිදන් යන්න , හැරිලා බලලා අපි දෙන්නගේ පා සටහන් ගැන කතා වෙන්න , අයිස්ක්රීම් අරන් දෙන්න බෑ කියලා මුරණ්ඩු වෙන්න , ඔය සේරම අතරේ හොරෙන් හාදුවක් තියන්න අපිට ආයේ කවදාවත්ම එදා වගේ බැරි වෙයි.
මට වගේම එයාටත් දැන් හිතෙනවා ඇති ඒ තප්පර තව තප්පරේකින් දිග උනා නම් කියලා.
සත්තකින්ම පුලුවන් උනා එක පාරක් අතීතෙට යන්න ආයේ හමුවෙනවා කියලා හිතන් මගෑරපු විනාඩියත් මං එයාට තුරුල් වෙනවා ඒ අද හැරිලා බලද්දි එදා තව මතක ගොඩ ගහන්න තිබ්බා කියලා හිතෙන නිසාමයි.
ඉතින් එහෙම බැරි නිසා දඩිබිඩි තප්පරේක මතක අපි දෙන්නම නිසොල්මනේ හෙමීට ගෙවෙන හැම තප්පරේකම විඳින අතරෙම අලුත් මතක පොදි ගහනවා.
මේ ගෙවෙන තප්පර
මේ අයුරින්ම
යලි හමුනොවනු ඇත
දිවියේ කිසිම තැන!
ඉතින් ගන්නා
හැම හුස්මක්ම
පටලන්න ප්රේමයේ…!
උපුටා ගැනීම: -තාරා-