ඉස්සොවඩේ… (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔන්න එක දවසක් යන්න උනා මළ ගෙදරක. මගෙ යාළුවෙක් වගේම මගෙ යුනිට් එකේ මිස් කෙනෙක්ගෙ තාත්තා අන්තරා වෙලා. යුනිට් එකෙන් අනිවාර්යයෙන් සහභාගී විය යුතුයි. ඉතින් කොටස් වලට බෙදිලා උදේ කොටසයි දවල් කොටසයි රෑ කොටසයි ලෙස එයෙට සහභාගී වීමට තීරණය විය.
ඔන්න මටයි මගෙ මිතුරියක් වන අපූටයි රාත්රීයේ මළ ගෙදර නැවතීමට යෑමට ලොතරැයිය ඇදුනා. මොකද ඒ වෙනකොට පවුල් බරින් තොර බොහොම නිදහස් නිවහල් ජීවිතයක් අපට තිබුණා. ඉතින් උදේ ඩියුටි කරලා හවස කෝච්චියෙන් පිටත් උණා. යන්න තිබුණෙ මහවට. ශීඝ්රගාමී දුම්රියෙන් මන්දගාමී ලෙස යන්න පටන් ගත්තා.
මළ ගෙදරකනෙ යන්නෙ, ඉතින් කිචි කිචි ගාන්නත් හොඳ නෑනෙ. දෙන්නම මහා ශෝකාකූල මූඩ් එකක් මුහුනට දාගත්තා. පොඩි කාලෙ නම් මම හිතුවේ මළ ගෙදරට යන හැමෝම අඬන්න ඕනා කියලයි. ඉතින් මළ ගෙදර ඉන්න සමහර අය අඬන විදිහ බලා ඉන්නකොට හිනා යන්න ආවත් මා අමාරුවෙන් ඇස්වලට කඳුළු අරගන්නවා. පස්සෙ ඉතින් තේරුම් ගියා මළ ගෙදරක ගිහින් අඬන්න ඕනම නෑ කියල.
ජනේලයක් අයින අල්ලගත්තෙ හොඳටවට පිට බල බල යන්න හිතාගෙන.”ඩකස් ඩොකොස්” “ඩකස් ඩොකොස්” හූ… ගාන කෝච්චිය ටිකක් වේගයෙන් යන විට “ඩකඩ ඩකස් ඩොකඩ ඩොකස්” ගානවා ඇරුනම කවදාවත් මට කෝච්චියකින් “උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක” කියල ශබ්දයක් නම් ඇහිලම නෑ. හුලං වැදි වැදී නැලවි නැලවී යනකොට ඔන්න කඩාගෙන බිඳගෙන එනවා හොඳ නිදිමතක්.
“අපූ.. මට නිදි මතයි”
“මටත්..”
ඒ වෙනකොටත් අපූගෙ ඇස් බාගෙට පියවෙනවා.
“.මම මහව බහින්න දන්නෙත් නෑ. නින්දගියොත් තමයි වැඩේ..”
“මාත් දන්නෙ නෑ මිස්, නින්ද ගියොත් යාපනයටම ගිහින් ආපහු එමු. ලොකු මිස්ට කියමු මලගෙදර ගියා කියලා.”
” ඔවු නේද? ඔන්න ඕනෑ එකක් කියලා නිදා ගමු.”
ටිකක් වෙලා යනකොට දෙන්නගෙම ඔලුගෙඩි දෙක දෙපැත්තට වැටිලා විතරක් නොවෙයි කටත් ඇරිලා ආමාශයත් පේනවා. කොච්චිය නවත්වනවා ඇහුන නිසා දනි පනි ගාලා නැගිටලා ජනේලයෙන් එබිලා බැලුවේ කොයි ලෝකෙද ඉන්නේ කියලා දැන ගන්නයි. අම්මේ ඇති යන්තම් පොල්ගහවෙළ. අපූගේ කරටිය දෙකටම නැවිලා. හිටගෙන ඉන්න කොල්ලො දෙන්නෙක් අපි දිහා බලාගෙන හිනා වෙයි. හිමීට තට්ටු කරලා අපූව ඇහරුවේ අර කොල්ලන්ට තවත් විනෝද වෙන්න ඉඩ නොතබාය.
අමාරුවෙන් ඇහැ ඇරගෙන ඉන්න අතරේ මෙන එනවා නියම සුවඳක්. “වඩේ… වඩෙ ව්ඩෙ වා…ඩේ…”
“ඉස්සොවඩේ… ඉස්සොවඩේ..”
“මිස් නියම කෑමක් ගමුද?”
“අනේ..නැද්ද නිකං වඩේ?”
“ඇයි දැන් වෙජිද?”
“ඔව්නෙ. අම්මා මට කසාදයක් හරියන්න කියලා පූජාවක් තියනවා. ඉතින් මට සතියක් යනතුරු මස් මාළු කන්න එපා කිවුවනෙ.”
“අයියෝ.. ඉස්සො කන්න එපා කිවුවෙ නෑනෙ.”
“ඒකත් ඇත්ත. ඒත් ඔන්නඔහෙ නංගි කන්න.”
මෙන්න මේකි ඉස්සො වඩේ එකක් අරන් රසකර කනවා. ඉස්සව ගලවලා මටත් පෙන්න පෙන්න රස කරනවා. දැන් නම් මට කෙලත් ගිලෙනවා.
“නංගි… , චීන්නු, කොරියන් කාරයෝ එහෙම පලඟැටියො බැදලා කනකොටත් ඔයවගේ ඇති නේද?”
අපූ ගේ කෑම අප්පිරියා කිරීමේ කුරිරු ආශාවකින් මම කිවෙමි.
“ම්..ඔවු මිස් මීටත් වඩා රස ඇති “
“ෂික් පෙරේති”
මම ජනේලෙන් එහාපැත්ත බලා ගත්තා. ඔන්න ඒ පාර ඉස්සො වඩේ පාරෙ ඇවිදිනවා වගේ පේනවා. ඇස් දෙක පියා ගත්තා වඩේ අමතක කරන්න හිතාගෙන. අප්පා ඒපාර ඉස්සොවඩෙ කියන සද්දෙත් ඇහෙනවා. හොඳට බැදුන වඩේ සුවඳත් එක්ක බැදුන ඉස්සගෙ සුවඳ මිශ්ර වෙලා එන අපූරු රස සුවඳ නාහෙ නලියාගෙන මොලේ දක්වාම ගියා. රන්වන් පාට පැතලි වඩේ එක උඩ සිටින රන් වන් පාට ඉස්සා සිරිසඟබෝ වගේ හිස දන්දී සුවසේ නිදා සිටින අතර හොඳට බැදුනු කොච්චි මිරිස් කරල් ලූණු කෑලි තැනින් තැන ඉඳන් මට ඔච්චම් කරනවා ඇස් පියාගෙන සිටියත් මට පෙනේ. බඩ ඇතුලෙ ඉන්න පනුවෝ ඉස්සොවඩේ.. ඉස්සොවඩේ .. කියමින් පෙලපාළි යන සද්දෙ කනටත් ඇසේ. අයියෝ.. අම්මාගෙ පූජාව නැත්නම් මම අද …
එහෙම හිතනකොටම ,
“මිස්, මිස් ඒ පාර තව ජාතියක් එනවා”
අපූ කුරු කුරු ගායි.
“මොනවද කන්න පුළුවන් ජාතියක්ද?”
“බිත්තර පාන්”
ඉස්සො පරද්දපු මට බිත්තර මහ දෙයක් යැ. බිත්තර පාන් ගේපු මාමගෙ වට්ටියට එබිලා බලපු මට පෙනුනේ මාළුවෙක්ගේ කටක් වගේ ඇරිලා තිබුන බනිස් ගෙඩ්ය මැද්දේ ඉඳන් ගම්මිරිස් හා රතු පාට සෝස් අතරින් මට අත වනන පුංචි බිත්තර කෑලි දෙකක්, අමු මිරිස් කරලක් හා බී ළූණු කෑල්ලකි.
මම ඒ කට්ටියටත් ඔරවලා අහක බලා ගත්තෙමි.
මගේ මුහුණ දුටු අපූ ,
“අනේ පවු මිස් ඔරවන්න එපා ඉතින්”
“බලන්නකො අපූ ඉතින් කසාදෙත් කරගන්න එපැයි. ඉස්සො වඩේ වගේද කසාදෙ නේද?”
“හ්ම්.. හ්ම්..එහෙමවත් හිත හදා ගමු ඉතින්. කසාදෙ කරගත්තට පස්සෙ ඉස්සොවඩේ කන්න බැරියෑ නේද?”
අමාරුවෙන් හිත හදා ගන්න හදන කොට මෙන්න ඉස්සො වඩේ කාරයා කෑ ගහගෙන ආපහු අපේ කෝච්චි පෙට්ටිය ඇතුලේ. දැන් නම් මගේ ඉවසීමේ සීමාව පැනලා. කතා කරා ඉස්සො වඩේ කාරයට. සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව ගත්තා ඉස්සො වඩේ දහයක්ම. අපූටත් එකක් දෙකක් දීලා කෑවා ඉතුරු ඔක්කොම ටික. ඔන්න දැන් තමයි මට සැනසීමක් ලැබුණේ.
“මිස් එතකොට කසාදෙට මොකද වෙන්නෙ?”
“කසාදෙ වගේද අපූ ඉස්සො වඩේ?”
අම්මාට මේ ගැන කිවුවොත් නම් අහගන්න හම්බවෙන්නේ හොඳවායින් දෙකක් තමයි. ඒකනිසා සමාවෙන්න අම්මේ කියලා පූජාවත් අමතක් කරලා දැම්මා.
තරමඟ දිගටම අපි කලේ සැරින් සැරේ ඉස්සො වඩේ මතක් කර කර හිනා වෙන එකයි. අපි දෙන්නටම මළ ගෙදරක යන විත්තියත් අමතක වෙලයි තිබුණේ. මම හිතුවේ තවත් දවසක මේ කෝච්චියේම ගිහින් ඉස්සො වඩේ ඇතුළු සියළුම කෑම වර්ග කාලා ආපසු එන්න ඕනා කියලයි.
“මිස් මළ ගෙදරත් ඉස්සො වඩේ එහෙම දෙයිද දන්නෙ නෑ”
“යකෝ ඒවෑ පිලී ජාති දෙන්නෙ නෑ”
කෙසේහෝ යාපනේ නොගිහින් මහව බැසගත්තේ වඩේ වලට පින් සිදු වෙන්නටය. ඉතින් ඔන්න මළ ගෙදරත් ගිහින් අපි කලේ එලිවෙනකම් තේ කෝපි හදපු එක. තේ හදන මේසෙ හරියට අපි එනකම් බලා හිටියා වගේ. මම හිතුවේ ඉස්සරහා දොර ගාවට වෙලා ආයුබෝවන් කියලා එන අයව පිලිගන්න වත් දේවි කියලා.
ඔන්න ඉතින් මම හැදුවා එක එක රසයට තේ. කහට වැඩි තේ, සීනි වැඩි තේ, සීනි අඩු තේ, පල් වතුර වගේ තේ. සමහරවිට කට්ටිය උදේ වැසිකිළි පෝලිමේ භිටියද දන්නෙත් නෑ. බඩේ අමාරු හැදුන අය ආපසු අපිව හොයාහෙන එන්න කලින් පහුවෙනිදා පාන්දර ඒ කෝච්චියෙම ආපසු ආවා. දෙයියන්ගෙ පිහිටෙන් අපි ආපසු එනකොට ඉස්සොවඩේ කාරයා නිදිද කොහෙද. මොකද කොළඹට එන තුරුත්මගෙ කෑම රුචිය අවුස්සන කවුරුත් ආවේනෑ.
කොහොම උනත් ආපසු ඩියුටි ගිය විට කවුරුත් ඉස්සොවඩේ වල රස කොහොමද කියලා කතා වෙනවා ඇසුනේ කෝච්ච්යේ ගිය වඩේ කාරයා යුනිට් එකටත් ඇවිත් ගිහින්ද මන්දා.
“ඔය කෝච්චියේ ගෙනියන ඉස්සො වඩේ කන්න එපා ළමයි. ඒවට කියන්නෙ ‘කෙළ වඩේ කියලා. ඒවා විකුණන මිනිහා කෑ ගහන හැම වෙලාවටම වඩේ වලට කෙළ වීසි වෙනවා”
ඉඳලා ඉඳලා ලොකු මිස් ඒ කියපු කතාව ඇසූ මගේ ඉස්සො වඩේ ආසාව ආගිය අතක් නැති විය. ඒ විතරක් නොවෙයි ඉස්සො වඩේ කාපු අපූ ගේ කට කජු ලෙල්ලක් මෙන් ඇද වී මූණ කසාය බීපු ගොළුවාගේ මෙන් විය. මගෙත් බඩ ජර බර ගාගෙන දඟලනවා දැනුනි. මේක කියවලා ඉස්සො වඩේ විකුණන අයගෙ බඩගෝස්තරේට තට්ටු කරන්නේ නැතිව වඩේ සල්ලිවලට අරන් බඩගින්නෙ ඉන්න බල්ලෙකුට වත් දෙන්න හොඳේ…
උපුටා ගැනීම: Nilwala Athapattu

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!