” නැඟිටින්න. පහයි වේලාව”
යන්තම් අඳුර මැකීගන එද්දී උදේ පාන්දරම අම්මා මාව කූද්දන්නේ චක්කරේ පාඩම් කරන්න . අම්මා කවදාවත් තේරුම් ගන්නේ නෑ චක්කරේ පාඩම් නැතිව ගණන් හදන්න පුළුවන් කියලා .
දවසක් මම අම්මට කිව්වා චක්කරේ කටපාඩමින් නැතුව සංඛ්යා එකතු කරලත් ගුණ කිරීම් වලදී ගණන් හදන්න පුළුවන් කියලා . එත් කොහෙද අම්මා කියන්නෙම ගණිතයට ලකුණු ගන්න ඕනිනම් චක්කරේ ඕනිමයි කියලා .
ටකරං වහලෙන් වතුර ගලාගන ගිහිං බිමට වැටෙන සද්දේත් ඇහෙනවා . ඒ කියන්නේ හොදටම වහිනවා . එත් ඉතිං අවදිවෙන්නේ නැතිව හිටියොත් අම්මගෙන් බැනුම් අහන්න වෙන නිසා අමාරුවෙන් පැඳුරෙන් නැගිටලා ගියේ මගේ පොත් පරෙස්සමෙන් පිලිවලකට තියලා තියන පොඩි ලී මේසේ ලගට .ලී මේසේ උඩ අම්මා ලාම්පුවක් පත්තු කරලා තිබුනේ .
අම්මා ඉගෙනගෙන තිබුනේ තුනේ පංතියට විතරයි . ඒ නිසා අම්මා හැමවෙලාවෙම මට කිව්වේ ඉගෙන ගන්න , ඉගෙන ගන්න කියලා . දැන් මම ඉන්නේ පහේ පංතියේ . මම හිතන්නේ දැන් මම අම්මට වඩා ගොඩක් දේවල් දන්නවා .
” හතර වරක් එක හතරයි
හතර වරක් දෙක අටයි
හතර වරක් තුන දොළහයි
හතර වරක් හතර දාසයයි ………..”
මම චක්කරේ පාඩම් කරද්දී අම්මට ඇහෙන්න කියන්න ඕනි . අම්මා චක්කරේ දන්නේ නම් නෑ . එත් එයා මම කියන දේ අහගන ඉන්නවා .
තාත්තා තීන්ත ෆැක්ටරියේ වැඩ කරද්දී අනතුරක් වෙලා අපිව දාලා මේ ලෝකෙන් ගියාට පස්සේ , අම්මයි , මමයි , අව්රුදු තුනක් වෙන මගේ නංගි මේ කොලනියේ තනි උනා .
ඒ වෙද්දී කොහොමත් අම්මා ටවුමේ ගෙවල් කීපයක වැඩ කරන ගමන් හිටියේ . ඒ නිසා යාන්තම් තවමත් අපේ ජීවිතය රැකිලා තියනවා .
අපි දුක් විදින එකෙන් ගැලවෙන්න වගේම , මේ කොලනියෙන් එලියට යන්න ඕනිනම් මම හොදට ඉගෙන ගන්න ඕනිලු කියලා අම්මා හැමවෙලේම කියනවා .
” රාම් ….. ඔයාගේ ඉස්කෝලේ ඇඳුම් සෝදා ගත්තද ඊයේ “
මම ගියේ මේ කොලනියේ ළමයින්ටම වෙන්වුණු රජයේ පාසලකට . මට තියෙන්නේ එකම එකම පාසල් නිල ඇදුමයි . දවස් දෙකකට වතාවක් මම ඒක සෝදා ගන්න ඕනි . ඊට පස්සේ නිල් දාන්න ඕනි . අම්මා කියන විදිහට නිල් දැම්මහම කහ ගැහුන ඇඳුම් සුදු වෙනවලු .
” ඔව් අම්මා ….. එහා වැලේ බලන්න “
චක්කරේ පාඩම් කරන එක පැත්තකින් තියපු මම අම්මට උත්තර දුන්නා .
තුන් වේලටම බඩ පිරෙන්න කන්න බැරි උනත් , අම්මා ලැබෙන විදියට අපිව උපරිම හොදින් බලා ගත්තා .
මේ ලගදි දවසක , අම්මා වැඩ කරන ගෙදරක නෝනා කෙනෙක් අම්මට ඉස්තිරික්කයක් දීලා තිබුණා . එතකම් මම ඉස්කෝලෙට ඇදගන ගියේ පොඩිවුනු ඇදුම් . එත් දැන් මම හොදට මැදගත්ත ඇදුමක් ඇදගන ඉස්කෝලේ යනවා .
අම්මගේ පරණ නමපු සාරි දෙක තුනක් බිම එක උඩ එක එලන අම්මා ඊට පස්සේ කරන්නේ හොදින් පොල් කටු ටිකක් පුච්චලා ඉස්තිරෙක්කට දාන එක , ඊට පස්සේ කරන්නේ ඉස්තිරික්කේ තියන හිලට කටින් පිඹ පිඹ අඟුරු ගිනියම් කරන එක . ඊට පස්සේ හොදට රත්වුණු ඉස්තිරික්කේ අරගන අත තද කරලා ඇදුම් මදිද්දී පොඩිවුණු පාරවල් මැජික් එකක් වගේ නැතිවෙනවා . සමහර දවස් වලට මගේ පොඩි නංගිත් උදේම අවදිවෙලා මේ මැජික් එක බලාගන ඉන්නවා .
ඒ වගේම තමයි ඒ මැදපු ඇදුම් වලින් එන සුවඳට මම ගොඩක් ආසයි .
” දෙවියනේ ……..”
අම්මගේ ඒ සද්දෙන් කල්පනා ලෝකෙන් මිදෙද්දී වෙන්න ඕනි ඔක්කොම වෙලා ඉවර වෙලා තිබුණා . මට පෙනුනේ මගේ එකම ඉස්කෝලේ අදින කමිසේ එක පැත්තක් කළු පාට වෙලා තියනවා විතරයි .
” අම්මා ….. කමිසේ පිච්චුනාද ?”
ටික වෙලාවක් අම්මගේ මුණත් , ස්තිරික්ක හැඩයට පිච්චිලා තිබුණු කමිසේ දිහාත් මාරුවෙන් මාරුවට බලපු මම අම්මගෙන් එහෙම ඇහුවේ , අම්මගේ ඇස් දෙකේ තිබුන දුක මට දැනුන නිසා .
අම්මා මට කිසිම පිළිතුරක් දුන්නේ නෑ . අම්මා කරේ ඉකි ගසමින් අඬපු එක විතරමයි .
” දැන් ඉතිං මොනවා කරන්නද ? කොහෙන් හරි ඉස්කෝලේ කමිසයක් හොයාගන්නකම් මම ගෙදර ඉන්නම් “
මම එසේ අම්මට කිව්වේ මගේ හිතේ දුකක් තිබුනත් තවත් අම්මගේ හිත රිද්දන්න බැරි නිසා .
එත් මට ඒ ඉස්තිරික්කය එක්ක පුදුම තරහක් ආවා . කොලනියේ පැත්තකින් ගලන කුණු කාණුවට ඉස්තිරික්කේ විසික්කරන්න හිතුනා . එලි වෙලා අම්මා නංගිත් එක්ක වැඩට යනකම් මම බලාගන හිටියා .
එදා දවසේ අම්මා වැඩට ගියේ කොහොමින් හරි මට ඉස්කෝලේ අදින්න කමිසයක් හොයාගන එනවා කියන පොරොන්දුව දීලා . අම්මටත් නංගිටත් වෙනසක් නොපෙන්වා සමු දීපු මම ඉක්මනට දිව්වේ අපි හැමෝම ගුලි වෙලා නිදියන පුංචි කාමරේට . කාමරයක් කිව්වට ඒ ඉඩ කෑල්ලේ තමයි අපි නිදාගත්තේ , පාඩම් කරේ , උයාගන කෑවේ . වැසිකිලියක්නම් අපේ මුළු කොලනියටම තිබුනේ පොදු ඒවා .
කාමරේට ගියපු මම හිතේ තිබුණු තරහට ඉස්තිරෙක්කේ අරගන කෙලින්ම ගියේ කොලනියේ කොනේම තියන වැසිකිලි පේලිය පසු පසින් ගලාගන යන කළු පාට වතුර පිරුණු කුණු කාණුවට .
මගේ හිතේ තිබුණු තරහට මඩ වලවල් මග හරින්න මට උවමනා උනේ නෑ . හිතේ තිබුණු එකම දේ මේ කොහෙවත් නැති ඉස්තිරික්කේ විසික් කරන එක . ඒ නිසා මගේ ඇගිලි කරුවලින් චුරු චුරු ගාන මඩ ගැන මට දැනුනේ නෑ .
” ආ ………. රාම් , අද ඉස්කෝලේ ගියේ නැද්ද “
හීයක වේගයෙන් ගියපු මගේ වේගය අඩූ උනා .
” කොහෙද මේ ඉස්තිරික්කයකුත් අරගන යන්නේ ?”
ඒ අපේ කොලනියේ ටේලර් මාමා . මුළු කොලනියේම ඇදුම් මහන්නේ මේ මාමා . හැමෝම එයාට කතා කරේ “නානා ” කියලා .
” ඕක විසික්කරන්නද යන්නේ ?”
ආයෙත් ටේලර් මාමා මගෙන් ඇහුවා . මම කිසිදෙයක් නොකියා ඔහේ එල්ලගන හිටපු ඉස්තිරික්කය උඩට අරගන අත් දෙකෙන්ම මගේ පපුවට තියලා තද කරගත්තා .
” හොද ගානක් මම ගෙවන්නම් …… ඕක මට දෙන්න “
” මට සල්ලී එපා …… මට ඕනි ඉස්කෝලේ අදින්න ඇදුමක් “
මගේ කටින් එක පාරටම එලියට පැන්නා .
” ඕකේ වටිනා කමට මම ඉස්කෝලේ ඇදුම් තුනක් මහලා දෙන්නම් ……කැමතිද ?”
ටේලර් මාමාගේ ඒ යෝජනාවට මම ඉහලින්ම කැමති උනා . ඉස්කෝලේ ඇදුම් තුනක් කියන්නේ කොච්චර වටිනා දෙයක්ද , මේ පොල් කටු ඉස්තිරෙක්කට වඩා .
” හා …… ටේලර් මාමේ මම කැමති “
ඉස්තිරික්කේ ටේලර් මාමාගේ මැෂිම උඩින් තියපු මම ඊට පස්සේ කරේ ටේලර් මාමට මගේ ඇදුම් මහන්න මිම්ම දුන්න එක . මේ මටම කියලා මහන පලවෙනි ඉස්කෝලේ ඇදුම . මෙච්චර දවසක් මම ඇන්දේ කව්රුහරි ඇදලා පරණ වුනු ඇදුම් .
” හරි …….. එහෙනම් මම දැන්මම මහන්න පටන්ගන්නම් “
ඉන වටේ , අත වටේ , උස වගේ මිනුම් අරගන ඉවරවුනු ටේලර් මාමා මගේ ඔළුවත් අත ගෑවා .
එදා මම අම්මා එනකම් මග බලාගන හිටියේ සතුටු ආරංචිය කියන්න . එත් එදා අම්මා ගෙදර ආවේ ගොඩක් දුකින් . ඉතින් මම ඉස්තිරික්කෙට කරපු දේ එදා අම්මට කිව්වේ නෑ . මට ඉස්කෝලේ ඇදුමක් හොයාගන්න බැරිවුන නිසා ඉස්තිරික්කෙත් අම්මට අමතක වෙලා තිබුනේ .
හැබැයි මගේ හිතේ සතුටු මල් පිපිලා තිබුනේ . එදා මට ගොඩක් දිග රැයක්වුනා .යන්තම් නින්ද ගියත් මට පෙනුනේ මම අළුත් ඇදුම් ඇදලා ඉස්කෝලේ යන විදිහ .
පහුවදා අම්මා ආයෙත් නංගිත් එක්ක වැඩට ගියේ මට අළුත් කමිසයක් ගෙනෙන පොරොන්දුව දීලා . අම්මා ගෙදරින් යනකම් බලාගන හිටපු මම කෙලින්ම දිව්වේ ටේලර් මාමගේ ටේලර් සාප්පුවට .
මම උදේම ආවා වැඩිද මන්දා , ටේලර් සාප්පුව වහලා .
මම ටේලර් සාප්පුව ඉදිරියේ පැය ගණනක් ටේලර් මාමා එනකම් බලාගන හිටියා . එත් ටේලර් මාමා ආවේ නෑ .
තවත් පැයක් දෙකක් ගෙවුනා . මගේ ඇස් රිදුනා පාර දිහා බලාගන ඉදලා . ඒ නිසාද මම දන්නේ නෑ මටත් නොදැනී කදුළු මගේ කම්මුල් දිගේ ගලාගන ගියා .
හරියටම ටවුමේ ඔරලෝසු කණුවේ දවල් දොළහා සද්දේ ඇහෙද්දීම .ටේලර් මාමා ටේලර් සාප්පුවට ආවා .
කිසිවක් නොකියා ඉක්මනින් ටේලර් සාප්පුව විවෘත්ත කරපු ටේලර් මාමා මට සුදුම සුදු පාට කලිසම් තුනකුයි , කමිස තුනකුයි දීලා මගේ ඔළුව අත ගෑවා .
සතුටෙන් ඒ ඇදුම් අරගන දුවගන එන්න ටේලර් සාප්පුවෙන් එලියට අඩිය තියද්දීම ටේලර් මාමා මට කිව්වේ ……
” හැමදාම හවස හයට කලින් අවොත් මට පුළුවන් ඕවා මැදලාත් දෙන්න ” .
උපුටා ගැනීම: – හසිකා විජේතුංග –