“උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ” කළ පව් දුරලන බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලබාපු මහා බලයක්, අනුහසක් තියෙන තවත් පූජනීය ස්ථානයක් තමයි කැලණි විහාරය. කොළඹ අවට ප්‍රධානම පින් බිමක් විදියට සැලකෙන කැලණි විහාරයට වසර දහස් ගණනක ඉතිහාසයක් තියෙනවා. කැලණි විහාරය ගැන කතා කරන කොට නාගයන් ගැන නිසැකයෙන්ම මතකයට එනවා. කැලණි විහාරයේ ඉතිහාසය නාගයන් හා බැඳි කතා පුවතක් වීමත් කැලණි ද්වාරයේ ඇති නාග ලෝකයට යන දොරටුවේ කතාවත් එයට හේතුවක්.
කැලණි පුදබිමේ ඉතිහාසය ගැන තියෙන්නේ ඉතාම රසවත් කතාවක්. බුදුන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩිය බව අපි හැමෝම දන්නවා. පළමු ගමන මහියංගනයට වැඩම කළ බුදුන් වහන්සේ දෙවනි වරට ලක්දිවට වැඩම කරන්නේ චූලෝදර හා මහෝදර නා රජුන් අතර මැණික් පුටුවක් අරඹයා ඇති වුණු අරගලය සංසිදුවීමට. මේ යුද්ධ අවස්ථාවට පැමිණ සිටි මහෝදර නා රජුන්ගේ මලණුවන් වුණු මණි අක්ඛිත නා රජු නැවත ලක්දිවට වැඩම කළ විට කැලණියට වඩින ලෙස බුදුන් වහන්සේට ආරාධනා කළා. ඒ ආරාධනාවට අනුව තෙවන වර බුදුන් වහන්සේ කැලණියට වැඩම කොට ධර්මය දේශනා කළා. ඉන්පසුව තමයි මේ කැලණි විහාරය ගොඩ නැංවුයේ.

ඉතින් කැලණියේ ඉතිහාසයත් මණි අක්ඛිත නා රජුගෙන් ආරම්භ වෙන කොට කැලණියේ පාලනය නාගයන් අත පැවතුණු බවත් විශ්වාස කරන්නට වෙනවා. මණි අක්ඛිත නා රජු මෙන්ම විභීෂණත් කැලණිය හා බැඳුණු නාග සම්භවයක් සහිත චරිත. ඒවගේම දුටුගැමුණු රජුගේ මව වුණු විහාරමහා දේවියත් නාග ගෝත්‍රයකට අයත් කාන්තාවක් ලෙසට විශ්වාස කරනවා.
මිනිසුන් තුළ තියෙන විශ්වාස විවිධයි. ඇතැමුන් මේ නාගයන් මිනිසුන් වගේම එක් ගෝත්‍රයක් විදියටත් සලකනවා. ඇතැම් අය මොවුන් නාග ලෝකයේ සිට පැමිණ පසුව නාගයන් වූ බවත් පිළිගන්නවා. ඇතැම් අය මොවුන් සැබෑ නාගයන් විදියටත් පිළිගන්නවා. ලංකාවේ රාජ්‍ය පාලනය කරපු නාගයන් මනුෂ්‍ය කොටසක් විදියට තමයි සැලකෙන්නේ.කොහොම වුණත් නාගයන් නොනැසිය යුතු කොටසක් විදියට තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. බුද්ධ දේශනාව තුළ සංයුක්ත නිකායේ නාග වර්ග කිහිපයක් ගැනත් සඳහන් වෙන අතර එහි දැක්වෙන ආකාරයට නාගයන් කියන්නේ බඩගා යන උරගයන් කොටසක් පමණක්ම නොවන බව දැන ගත යුතුයි.ඉතින් නාගයන් එක්ක සමීප බැදීමක් මේ පුදබිම ඇසුරින් අතීතයේ සිටම නිර්මාණය වෙලා තිබුණු බව අපට පිළිගන්නට වෙනවා.
සතරවරම් දෙවියන්ගෙන් විරූපාක්ෂ දෙවියන් නාගයන්ගේ අධිපති දෙවියන් විදියට සලකනු ලබනවා.ඒවගේම නාග ලෝකයට ගියපු රහතන් වහන්සේලා ගැනත් බෞද්ධ පොත පතේ සඳහන් ව තිබීමෙන් නාග ලෝකය බැහැර කළ නොහැකි තර්කයක් වේ. හෙළ යුගයේ නාග නම් කොට්ඨාසය වෙරළ ආශ්‍රිතව ජීවත් වුණු ඔවුන්ගෙන් නාවුක වෘත්තිය සම්බන්ධ පිරිසක් සංකේතවත් කෙරුණා.
කැලණිය පුද බිමේ නාග දොරටුවක් ගැන බොහෝ අයගේ කතා බහට ලක්වෙලා තියෙනවා. අදටත් මේ කැලණි පින් බිමේ මිනිස් වෙස් ගත් නාගයන් බහුලව වාසය කරන බවත් නාග මානව මානවිකාවන් මිනිස් වේශයෙන් කැලණි විහාරය හා එගොඩ කැලණි රජමහා විහාරය වන්දනා කරන බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.

කැලණි පුද බිමේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කර තිබෙන්නේ එකල නාග ලෝකය සහ මිනිස් ලෝකය අතර දොරටුව ආවරණය වන පරිදි බවට විශ්වාසයක් පවතිනවා. ශ්‍රී මහා බෝධියෙන් බිහි වූ අෂ්ඨ ඵල රුහ බෝධීන් වහන්සේලාගෙන් එක් අංකුරයක් තමයි කැලණි පුදබිමේ රෝපණය කරලා තියෙන්නේ. මේ බෝධීන් වහන්සේ රෝපණය කළ ස්ථානයේ නාග ලෝකයේ දොරටුව තිබෙන බව විශ්වාස කළ හැකි සාක්ෂියක් තමයි සාමාන්‍ය බෝධියකට වඩා ඉතා ගැඹුරු සහ ශක්තිමත් පාදමක් මත බෝධීන් වහන්සේ රෝපණය කර තිබීම. ඒ විශ්වාසයට අනුව පැති තුනකින් එන දිය පහර තුනක් එක්ව මේ නාග ලෝකය සකස්ව ඇති බවත් මේ දොරටුව නාග ලෝකයත් මනුෂ්‍ය ලෝකයත් අතර සංක්‍රමණ සිදු වූ දොරටුව බවත් කියවෙනවා.
නාග,දේව නාග,අර්ධ නාග,මනු නාග කියන වර්ගීකරණයෙන් නාග ලෝකයේ සිටින්නේ නාග කුලය පමණයි. අර්ධ නාග කොට්ඨාසය, නාග ලෝකය හා මනුෂ්‍ය ලෝකය අතර සංක්‍රමණ වන බව විශ්වාස කරනවා. මනුෂ්‍ය ලෝකයට ආරක්ෂාව සපයන්නේ මේ අර්ධ නාගයන්. බුලත් නාග ලෝකයෙන් ආපු කතාව ඉස්සර ඉඳලා හරි ජනප්‍රිය කතාවක් නේ. බුලත් වගේ ඔය නාග ලෝකයෙන් ආපු ගස්වැල් ගෙන එන ලද්දේත් මේ අර්ධ නාගයන් බවට විශ්වාස කරනවා. ඒ අනුව කැලණියට නිතර යන එන අර්ධ නාගයින්ගේ දොරටුව පිහිටලා තියෙන්නේ මේ බෝධීන් වහන්සේ රෝපණය කරන ලද ස්ථානයේ.
ලක්දිවට බුදු දහම මුල් බැස ගැනීමෙන් බෞද්ධ සමාජයක් නිර්මාණය වීමෙන් පසුව නාගයන්ගේ ආරක්ෂාව අවැසි නොවූ නිසා නාග ගෝත්‍රිකයන් සමඟ ඇති වූ එකඟතාවයක් මත මේ නාග දොරටුව වැසූ බවයි ජනප්‍රවාදයේ කියවෙන්නේ. අද වන විට මේ හේතුව නිසා භෞතික ස්වරූපයෙන් කිසිදු නාග කුලයකට මනුෂ්‍ය ලෝකයට පැමිණීමට හැකියාවක් නොමැත. ඒ නමුත් බෝධීන් වහන්සේ රෝපණය කරන අවස්ථාවේ ලද විශේෂ අවසරයකට අනුව චන්ද්‍ර මාසයේ 14.15,16 යන දිනවලදී මේ නාග දොරටුව නාගයන් සඳහා විවෘත වන බවට විශ්වාසයක් පවතිනවා. ඒ දිනවලදී පමණක් නාගයන් මනුෂ්‍ය ලෝකයට පැමිණ කැලණිය පුද බිම වන්දනා මාන කර ආපසු යන බවත් බොහෝ අය පිළි ගනු ලබනවා.
ඒවගේම කැලණි විහාරය අසලින් කැලණි ගඟෙන් එගොඩ කැලණි විහාරය ඉදිකිරීම මේ නාග දොරටුවේ කතාව හා සම්බන්ධ බව ඇතැමුන් කියනවා. කැලණියේ විශාල පන්සල තිබියදී කිත්සිරි මෙවන් රජු ඒ ආසන්නයෙන් එගොඩ කැලණි විහාරයේ විශාල චෛත්‍යයක් ඉදි කළේ ඇයි? ඒ අනුව මේ නාග දොරටුව වසා දැමීමෙන් පසුව එය ගං දියට යටින් තිබෙන බවත් ගං දිය යට වූ මාර්ගය විහාරයේ වූ ළිඳ සමඟ සම්බන්ධව ඇති බවටත් මතයක් පවතිනවා.

ඒවගේම මේ නාග දොරටුව හරහා දේව නාග වගේම අර්ධ නාග අයත් අපි සමඟ සබඳතාවය පවත්වන බව ඇතැමුන් විශ්වාස කරනු ලබනවා.අර්ධ නාග මානවිකාවන් වගේම මානවකයන් යන දෙපිරිසම මිනිස් ලෝකයට කාලෙන් කාලෙට එන බවත් ඔවුන් මේ දොරටුවෙන් ඇවිත් ලෝකය පුරා විසිරී යමින් භාවනායෝගීන් ඔවුන්ගේ ග්‍රහණයට ගනු ලබනවා.මොවුන්ගේ ඇස්වලින් මුදාහරින රාග විස හරහා යෝගීන්ව වුවත් ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් මොවුන් සතු බවයි කියවෙන්නේ.
කාලයක් ගත වෙත්ම නාග ජාන වෙනත් මනුෂ්‍ය ජාන ගෝත්‍රවල ජාන හමුවේ ඉක්මනින් නෂ්ට වී ගිය නිසා ගෙවී ගිය වසර 2000කට අධික කාලයක් තුළදී නාග ගෝත්‍රිකයන් මෙරටින් තුරන්ව ගිය බව විශ්වාස කරනවා.කොහොම වුණත් කැලණි පුද බිමෙන් නාගයන්ගේ කතා පුවත් බොහෝමයක් අපට අසන්නට ලැබෙනවා. නාගයන් ගැන කියවෙන නාග දොරටුවත් එවන් එක් ජනප්‍රවාදයක් විදියට අපට විශ්වාස කළ හැකියි.
උපුටා ගැනීම: Hela Rahas