උදේම ඇහැරුණේ හට්ටි මුට්ටි සද්ද එක්ක. ජනවාරි පළවෙනිදට හැමෝටම හරියටම වෙලාවට සුභපතන්න ඕන නිසා 12 පහුවෙලත් පැයක් ඇහැරං ඉන්න උනා. උදේම මේ ඇහෙන කරච්චලේ එක්ක හිතට ආවෙ කේන්තියක්.
වට්සැප්, ෆේස්බුක්, වයිබර්, ඉමෝ මේ හැම එකකින්ම සුභපැතුම් ගොඩාක් එවල. කෝල් කරලම විශ් කරන්න ඕන ගොඩක් අය ඉන්නව. තාම වෙලාව 6.30 නිසා ලැබුණු පණිවිඩ වලට පිළිතුරු ලියන්න හිතුව. හැමෝම හරි ලස්සන කවි වලින් පිංතූර වලින් හැඩට අකුරු අමුනල සුභපතනවා, එකකට එකක් දෙවෙනි නෑ. කොහොමද මගෙ සුභපැතීම දෙවෙනි වෙන්නෙ මටත් වෙනව දන්න සූත්තර ඔක්කොම දාල කවියක්වත් ලියන්න.
හිමින් අකුරු අමුනන්න පටන්ගත්තා පුළුවන් අයට සුභ නව වසරක් වේවා කියාගෙනම ගියා. කුස්සිය පැත්තෙන් කැස්සක් එකදිගටම. ඒකනම් හරි කරදරයක් දැන් දැන්. ඉවසගෙන පැයක් විතර යද්දි ගොඩක් අයට සුභපතල ඉවරයි. දැන්නම් හිතෙනවා මේ අවුරුද්දම සුභවෙයි කියල. මට මෙච්චර මිනිස්සු පිරිසක් ඉන්නවනෙ. ගොඩක් අය මට කැමතියි ඒ නිසා තමයි මේ සුභ පැතුම් මෙච්චර. ගොඩක් අයට සුභපැතුම් එක්කරානෙ. ඒ අතර ජනප්රිය කළාකාරයො, ගීත රචකයො කවියො නළු නිළියොත් ඉන්නව. ඉතිම් සතුටුවෙන්න පුළුවන් කියල හිතෙන්නෙ නැද්ද..
වෙලාව හතත් වෙච්ච එකේ දැන් කෝල් කරල සුභපතන්න ඕන අයට ගන්න හිතුව. පළවෙනි කෝල් එකේ ඉදන්ම ගෙදර සද්ද බද්ද කැස්ස එහෙම ඇහෙන්න ගත්තා. බැරිම තැන ඉවසන්න ආපු කේන්තිය එක්ක ගියෙ කුස්සියට.
” පුතේ….! සුභ අළුත් අවුරුද්දක් මගෙ පුතාට. මං මේ තේ එක අරං කාමරේට යන්න හැදුවෙ “
එහෙම කියල ඔලුව අතගාපු අම්මා මගෙ අතට තේඑක දුන්නා.
” ඔයාට කිරිබත් හැදුවා, මටනම් කන්න බෑ කාපු ගමන් බඩ මෙලෙක් වෙනව. තාත්තත් වත්තෙ වැඩට යන හන්ද බත් ටිකක් උයන්න ඕන. පුතා කිරිබත් කෑල්ලක් කාලම නිදාගන්න. ඊයෙ මට ඇහුන මහ රෑ වෙනකල් සද්දෙ. තේ එකක්වත් හදල දෙන්න නැගිට්ටෙ නැත්තෙ කකුල් දෙකම හිරිවැටිල මගෙ. නැගිටගන්න බැරුව ගියා. ඒ වේදනා එක්ක නින්ද යන්නෙත් නෑ. “
එහෙම කියපු අම්මා බිම තිබ්බ බංකු කෑල්ල උඩ ඉදගෙන හොද්දට හාල්මැස්සො ඔලු කඩන්න ගත්තා. අම්මා ඉදගන්නකොටත් මං දැක්කා තොල් විකාගෙන ඉදගත්තෙ. බිත්තියට අත් දෙකෙන්ම වාරු අරං.
” වැඩට යද්දි පුතාට අරං යන්න අලුව ටිකක් මං හදල ඇති. ඔක්කොම අරං යන්න තාත්තා කොහොමත් ඕවා කන්න ආස නෑ අනික මට සීනි අමාරුව හන්ද කන්න කොහොමත් හොඳ නෑ “
අම්මා ඒ සියල්ල මා වෙනුවෙන් සූදානම් කර ඇත. මට කියන්න වචන නොවුනි. මා තේ එකෙන් උගුරක් හෝ බී තිබුනේ නැත. මා අතැති තේ එක සමග ආපසු එන්න හැරෙද්දි ඈ යළිත් මට කතාකලාය.
” පුතේ….. මට නැගිටින්න බෑ. ඔන්න ඔතන මේසෙ උඩ ඇති කවරයක් ඒක අතට ගන්නකෝ “
සුදුපාට ටියුලිප් බෑගයක දමා තිබූ යමක් මා අතට ගෙන ඇය දෙසට ගොස් එය ඈට දික්කලෙමි.
” ඕක මට නෙවෙයි පුතාට. අළුත් අවුරුද්දට තෑග්ගක් මගෙන්. තාත්තා මට බෙහෙත් ගන්න රුපියල් පන්සීයක් දුන්නා. මට දැන් හොඳයි. පුතාගෙ සෙරෙප්පු දෙක ටිකක් පරනයි. එලියට යද්දි ඔයදෙක දාන් යන්න “
පපුවට ආවෙ මහා බර හුස්මක්. මට කිසිත් කියන්නට නොවුනි. එකවරම ඇයට දනගසා වදින්නට තරම් මා පෙළඹුණේ කොහොමදැයි මා නොදනිමි. මා ඇයට වැන්දෙමි. සියල්ල දරුවන් වෙනුවෙන් කැපකරන අම්මාට මා දනගසා වැන්දෙමි. ඒ සැනින් මා නැගිට ආවෙ මගෙ ඇස්වල කඳුළු ඈ දකීදෝයි භියක් දැනුන නිසාවෙනි.
කොතන හෝ තැනක මහ ලොකුවටම වැරදී ඇති බව දැනුණි. මෙහෙමැයි කියනු බැරි වේදනාවක් පපුවෙන් නැගී ඇස්වලින් එළියට විත් කම්මුල් දිගේ ගලනා සේ දැනුනි. ජීවිතේ බොහෝ තැන් හරිගස්සන්නට ඇතිබව පමනක් සිතුනි…
( හිතළුවක් )
( අවුරුද්දක් නොව ජීවත්වෙන ඉතිරි කාලයම සුභ විය යුතුය. මේ අළුත් ආරම්භයකි. ඇත්තටම අපිට කොතනද වැරදුනේ. ඔබට මට හිතන්නට හැකි බොහෝ දේයි මේ.)
හැමදාම පිං සිත් පහල වේවා!
අකුසල් මැකේවා!!
කුසල් වැඩේවා!!!
පළමුව කළගුණ සළකමු, කළ්යාණ මිත්රයන් ඇසුරු කරමු,
තෙරුවණ් සරණයි හැමෝටම හැමදාමත්…
උපුටා ගැනීම: යශී ගුරුසිංහ…