ජනේලය ළඟ ඉන්න ගෑණු ළමයා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ජනේලය ළඟ ඉන්න ගෑණු ළමයව මුලින්ම දැක්කේ මම ඉස්සරලාම රැකියාවට ගියපු දවසෙ උදේ.
මට මුල්ම ගුරුපත්වීම ලැබෙන්නේ නිවසින් කිලෝමීටර් සියගණනක් ඈත නගරයක.
පාසල ළඟම නැතත් පාසලට පයින් යන්න පුළුවන් තරම් ළඟකින් හොඳ නවාතැනක් හොයාගන්න මට අමාරු වුණේ නෑ. කාමරයක්, කුඩා සාලයක් සහ මුළුතැන්ගෙයක් තිබුණ ඒ නවාතැන තනි මිනිසෙකුට ජීවත්වීමට උවමනාවටත් වඩා වැඩි විය.
මගේ නවාතැනට අල්ලපු නිවසෙ ගෙවත්ත තුළ විවිධාකාරයෙ මල් වවලා තිබුණා.
හැමදාම උදේට මම ඉස්කොලෙට යන්නෙ මෙම නිවස පහුකරගෙන.
ගෙවත්තෙ විතරක් නෙවෙයි පාර අයිනෙත් කහපාට මල් වර්ගයක් එක යායට වවලා තිබුණා. බැලූ බැල්මට ඩේසිමල් වගේ පෙනුණත් ඊටවඩා තරමක් වෙනස්.
පාරෙ යන එන හැමෝම මේ මල් යාය දිහා දෙපාරක් හැරිලා බලනවා. උදේට වැටෙන නැවුම් ඉර එළිය වුණත් ඉස්සරලාම වැටෙනවා ඇත්තේ මේ මල් යායට. ඒ මල් හරියට කතා කරනවා වගේ. උදේම දකින අයගෙ මූණට හිනාවක් ගේනවා.
විවර නොවූ ජනෙල් පියන්වල වීදුරුවලින් අනිත්පස බිම වාඩිවී සිටින ගැහැණු ළමයාව මම දකින්නෙ මල් දිහා බලන්න ඒ පැත්ත බලද්දි.
ජනෙල් තිර තරමක් ඈත්වූ විවර අස්සෙන් ඇයගෙ සිරුර නොපෙනුණත් මුහුණ පැහැදිලිව ම පෙනුණා.
පළවෙනි දවසෙම ඇයව නොසලකා හැරියත් ඊටපස්සෙ හැම දවසකදිමත් ඒ ගෑණු ළමයා එතැන හිටිය නිසාම ඇය ගැන විශේෂ හැඟීමක් ඇති වුණා. සාමාන්ය උදෑසන දකින දේවල් අතරෙ හැමදාම ජනේලෙ ළඟ වාඩිවෙලා බලාගෙන ඉන්න ගෑණු ළමයත් සුපුරුදු දෙයක් වුණා.
ඉස්කෝලේ නිවාඩු දවසක මම ඇයව දැක්කා. ඒ වෙලාවෙ එයා හිටියෙ මල් පැළ අස්සෙ තිබුණ වල්ගස් ගලවන ගමන්. මල් ගස්වල තියෙන වියළුණු කොළ ඇය කඩා දැමුවා. පරවී තිබුණ මල් කඩාගෙන රෙදි වලින් මහපු කුඩා මල්ලකට දාගත්තෙ පරිස්සමට.
ඇයට තිබුණෙ ශාන්ත පෙනුමක්. පෙනුම විතරක් නෙවේ හැසිරුණෙත් ඉතාම ශාන්තව. ඇයගෙ වයස බැලූ බැල්මට විස්ස ආසන්නයේ විය යුතුයි. ඇය ජීවත්වන්නෙ ඇයගේ ඥාති නිවසක බව මම දැනගත්තත් ඇය ගැන වෙන කිසිම තොරතුරක් මට සොයාගැනීමට නොහැකි විය.
දවසක් මම පාසල නිමාවී නවාතැනට ආවෙ පරක්කු වෙලා. ඒ එද්දි මගේ ඉදිරියට දුවගෙන ආවෙ ඉහළ ශ්රේණියක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙක්. ඒ පිටිපස්සෙන් අර ගෑනු ළමයා දුවගෙන ආවෙ දිග පොල්ලකුත් අරගෙන.
පිරිමි ළමයින්ගෙ මුහුණුවල හිනාවත් ගෑනු ළමයාගෙ මූණෙ වෛරයත් පිරිලා තිබුණා.
“ඇයි ඇයි මොකද මේ දුවන්නෙ…?”
මම සිසුන් දෙදෙනාව නැවැත්තුවා
“නෑ මේ…” එසේ පවසමින් එක් සිසුවෙකු අතේ ගුලි කරගෙන සිටි මලක් මට පෙන්වූවා.
මේ වෙද්දි අපි ළඟටම ආපු ගෑණු ළමයා ක්ෂණිකව ඒ මල උදුරගත්තා.
“අපි යන්නම්ම්….” සිසුන් දෙදෙනා එසේ කියමින් යන්නට විය.
“මම කැමති නෑ කවුරුවත් මගේ මල් කඩනවාට.”
ඇය එසේ කීවේ නිදහසට කරුණු ඉදිරිපත්කරන ස්වරයෙන්.
“ඇයි කැමති නැත්තේ..?” නවාතැනට එන අතරෙ මම ඇයගෙන් ඇසුවද ඇය ඉන්පසු වචනයක් වත් කතා කළේ නෑ.
“එහෙනම් මල් කඩන්න එපා කියලා බෝඩ් එකක් ගහන්න” මම එහෙම කීවෙ විහිළුවට.
නමුත් පහුවදා උදේ ඇය එලෙස ලියූ පුවරුවක් මල් යාය ඉදිරියෙ තබා තිබුණි.
ඉන්පසුව එහිදී මගේ අවුරුදු දෙකක සේවා කාලය අවසන් වන තෙක්ම මට ඇය හා කතා කිරීමට අවස්ථාවක් ලැබුණේම නැත. එහි අනිත් නිවැසියන් ඇය වෙනත් අය සමඟ කතා කරනවාට අකමැති බව මට දැනුණ දෙයක්. ඇයට යම් මානසික ලෙඩක් පවතින බව ගම්මුන් පැවසුවද එවැනි දෙයක් මට දක්නට ලැබුණේ නැත.
“යනවද මෙහෙන්?”
මම නවාතැනෙන් පිටත්ව එන වෙලාවෙ ඇය සිටියෙ වියළි මල් කඩමින්. සැබවින්ම මම යන්නට එම වෙලාවම තෝරගත්තේ ඇය එහි සිටි නිසා.
“ඔව්. මේ මටත් ඕවගෙන් මලක් දෙන්නකො. අරන් යන්න”
“හා දෙන්නම්….. හැබැයි එක පොරොන්දුවක් වෙනවනම්”
“මොකක්ද?”
” මලක් දෙන්නම්. හැබැයි ඒ මල පැළවෙන්න දාන්න එපා.”
එහෙම දීපු මල අරගෙන ඇවිදින් ආයෙමත් අවුරුදු හයකට විතර පසුව ඇය හම්බෙනවා අහම්බෙන්. මගේ විවාහය සිදු වූ අලුතම.
ඒ මගේ යාළුවෙක්ගෙ ගෙදරකට යද්දි “මල් කඩන්න එපා” කියල ලියපු බෝඩ් එකක් කහ පාට මල් අස්සෙ තියල තියනවා දැකපු නිසා.
පුදුමයි. ඒ ගෙදර ජනේලයක් ළඟට වෙලා ඉඳගෙන ඉන්නෙත් අර ගෑණු ළමයම නිසා මම වාහනෙන් බැස්සා.
ඒ ගෑනු ළමයා දුවගෙන ආවා.
ඒත් ළඟට එද්දිම මූණ වෙනස් වුණා.
“ඔයාද?”
බලාපොරොත්තු කඩාවැටුණ විදිහට ඇය ඇහුවෙ හෙමීට.
“ඇයි? වෙන කවුරුහරි කියලද හිතුවෙ?”
“ඔව්. මම හිතුවෙ එයා කියලා”
“එයා කීවේ කව්ද…?”
“එයා…..එයා….” එහෙම කියල ගෑණු ළමයා හිනා වුණා.
“ඔයා මෙහෙත් ඉස්සර වගේම මල් වවලා”
“ඔව්.
“ඒ මල් වලට විතරද ආසා?”
“නෑ. ඒත් ඉස්සරලාම මට මේ මලක් දුන්නෙ එයා. ඊටපස්සෙ ඒ මල මම පැළ කරා. මල් ගොඩක් පිපුණා. මල් මම වගේම ලස්සනයි කීවා. ඊටපස්සෙ එයා ගියා. මමත් දැන් තැන් තැන් වල. ඉතින් එයාට මම ඉන්න තැන හොයාගන්න ලේසි වෙන්න මම මේවා වවන්නෙ. එයා මෙ පාරෙ ගියොත් දවසක මල් දැකලා මාව මතක් වෙලා නවතියී. මම එතකම් අන්න අතෙන්ට වෙලා බලාගෙන ඉන්නවා. මට බයයි මේ මල් කවුරුහරි ගෙනිහින් පැළ කරොත් හැමතැනම මල් පිපුණොත් එයාට මාව හොයාගන්න අමාරු වෙයීද කියලා”
“මාත් ඔයා හොයාගත්තේ මේ මල් හින්දා තමා”
මගේ හිතේ ඇය කෙරෙහි ඇතිවූයේ කියාගත නොහැකි අනුකම්පාවක්. නමුත් කළ යුතු යමක් සිතමින් මම එදා ඇයට සමුදුන්නා.
නමුත් දිනෙන් දින ඇතිවන වගකීම් කාර්යබහුලත්වය නිසා ඇයව අමතක විය. ඇයව නැවත මට මතක් කර දුන්නෙ මගේ බිරිඳයී.
“ඔයා දන්නවද වැඩක්?” දිනක සන්ද්යාවෙහි ඇය අසා සිටියා.
“මොකක්ද?”
“අපේ වාට්ටුවට ආවා අලුත් ලෙඩෙක්. එයා හැමවෙලේම කෑගහනවා මිදුලෙ මල් හිටවන්න යන්න ඕනෑ කියලා. බොහොම අමාරුවෙන් නතර කරගත්තෙ අපි. එයාගෙ අතේ තියන මල්ලක වේලිච්ච මල් ගොඩාක් තියනවා. එයාට වෙන අවුලකුත් නෑ. හැමදේම හොඳට තේරෙනවා. ඒත් මල් හදන්නමයි ඉල්ලන්නෙ”
උපුටා ගැනීම: Subhashini Rathnayaka

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!