මේ සිදුවීම වුනේ මම කාලෙකට කලින් කටුනායක ගුවන් තොටුපලේ බැංකු ශාඛාවක සේවය කරද්දි.
මේ ශාඛාවෙන් කරන්නෙ ලංකාවට ඇතුල්වන අයට මුදල් මාරු කර දීම. ඒ කියන්නෙ පිටරට මුදල් ලංකාවෙ මුදල් වලට මාරු කිරීම.
දවස පුරාම විටින් විට ලෝකයේ විවිධ රටවලින් එන ගුවන් යානා වලින් එන විවිධ ජාතිකයින් එනව මුදල් මාරු කර ගන්න.
ඔන්න මේ කියන සිදුවීම වෙන වෙලාවෙ ලංකාවට ඇවිත් තිබ්බෙ ජපන් සංචාරකයො ටිකක්. අපේ කවුන්ටරයෙ එදා වැඩ කරපු අය අතරෙ හිටිය කටකාර තරුණයො කීප දෙනෙකුත්.
අපේ කවුන්ටරයට ආව සංචාරකයො අතර හිටිය ටිකක් වියපත් සුදු ජාතිකයෙක් එක්ක ආපු සුන්දර ජපන් යුවතියක්. බැලූ බැල්මට පෙම්වතුන් හෝ විවාපත් යුවළක් ලෙස සිතිය හැකි සමීපත්වයක් ඔවුන් අතර තිබ්බ.
ඔන්න දැන් අපේ අයියල එයාලගෙ සල්ලි මාරු කරල දෙනව. ඒ අතරෙ සිංහලෙන් මෙහෙම කතා කරනව.
ඒයි බං මූ මේ කෙල්ලගෙ මිනිහද
මහ නාකියෙක්නෙ
මේ කෙල්ලටත් මිනිහෙක් හිටියෙම නැද්ද බං නාකි සුද්දෙක් බැඳල තියෙන්නෙ
මෙච්චර මේ අපි ඉන්නව
අපිට සෙට් වෙන්නෑනෙ මෙහෙම කෙල්ලො
නෙදකිං….
ඉතින් ඔහොම කිය කිය මාරු කරපු සල්ලි ටික බොහොම ආචාරශීලී ලෙස අර යුවතියට දීල Thank you Madam, Have a nice day…කියල කිව්ව.
ඒ යුවතියත් හිස නවල ආචාර කරන ගමන් සල්ලි ටික ගැනල අරගෙන පසුම්බියට දාගෙන ආයෙත් නැමිල ලස්සන ජපන් උරුවකින් පැහැදිලි සිංහලෙන් කටපුරා දඟකාර හිනාවකුත් එක්ක මෙහෙම කිව්ව.
බොහෝම ස්තූතියි . මට කියපු දේවල් ඔක්කොම තේරුණා….
උපුටා ගැනීම: Himalie Manathunga