ජයන්ති (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මගේ හොඳම යාලුවා. එකේ පන්තියේ දී මුණ ගැහිලා, හයේ පන්තියේදි වෙන් වෙනකම් අවුරුදු පහක්ම එක බංකුවේ දෙපැත්තේ ඉඳගත්තේ අපි දෙන්නා. බටු ඇටයක් වගේ හිටපු මටත් වඩා ජයන්ති ටිකක් මිටියි. සුදුයි. කර්ල් කොණ්ඩේ පැත්තට පීරලා කට්ටක් ගැහුවා. හාවෙක්ගේ වගේ ලොකු දත් දෙකක් එක්ක හිනා වෙනකොට රෝස පාටට විදුරුමහ ගොඩක් පෙනුනා. පිරිසිඳු සුදු ගවුමක් ඇඳලා, රබර් සෙරෙප්පු දාලා, මූණේ පවුඩර් ගාලා ඉස්කෝලේ ආපු ජයන්ති ළඟින් සුවඳක් දැනුන නිසා තමයි එයා මගේ හොඳම යාලුවා උනේ.
මම පන්තියේ පලවෙනියා වෙත්දි, හැමදාමත් දෙවනියා උනේ ජයන්ති. දැක්කම ආස හිතෙන ලස්සනක් තියෙන්න නැතුව ඇති. ඒත් ජයන්ති කියන්නේ මට මහමෙරක් වගේ. ගෙදර ගියපු වෙලාවේ ඉඳන් මම අමමත් එක්ක ජයන්තිගේ විස්තර කියත්දි අම්මට ආස හිතුනා ජයන්තිව බලන්න. අම්මගේ ඉල්ලීමට එකපයින් කැමති වෙච්ච මම ජයන්තිට ආරාධනා කරා අපේ ගෙදර එන්න කියලා එයාගේ අම්මගෙන් අහලා.
දවසක් ඉස්කෝලේ ඇරිලා මමත් එක්කම ජයන්ති ආවා. පාට ඇඳුමකුත් බෑග් එකේ දාගෙන. උල්පත් වතුර එකතුවෙලා පිටාර ගලන ටැංකියෙන් නාලා, කාලා සෙල්ලම් කරන එක තමයි අපේ අයිඩියා එක. අම්මා ජයන්තිටත් එක්ක දවල් කෑමත් හදලා තිබුණේ. අම්මත් සැදි පැහැදි හිටියේ චූටි දුවගේ හොඳම යාලුවා බලාගන්න මුලින්ම හම්බ වෙච්ච. ඒ උනත් කවදාවත් අමතක කරන්න බැරි වැරැද්දක් එදා අම්මගේ අතින් උනා.
ආ….. මෙයාද මේ.. ජයන්ති කියන්නේ?”
පඩි පෙල බැහැලා ආපු අපි දෙන්නට ගේ ඇතුළට අඩියක්වත් තියන්න ලැබුනේ නෑ. ජයන්ති දැක්කා විතරයි අම්මා ටිකක් ඇදලා පැදලා එහෙම ඇහුවේ මගෙන්ද? ජයන්තිගෙන්ද? කියලාවත් කල්පනා කරන්න බැරි උනා. ඉතින් කවුරුවත් ඒ ප්රශ්නෙට උත්තර දුන්නෙත් නෑ.
අපි එතකොට තුනේ පන්තියේ. පුංචි උනත් අම්මගේ ඒ ප්රශ්නෙ මගේ හිතට ඇල්ලුවේ නෑ. ජයන්තිටත් එහෙමම වෙන්න ඇති. එයා ආපහු හැරිලා, වේගෙන් පඩිපෙල නැගලා, පස්ස නොබලම ගෙදර දිව්වා. මමත් ටික දුරක් එයාගේ පස්සෙන් දුවලා ආයේ ගෙදර ඇවිත් රෑ වෙනකම් ඇඬුවා. දවස් ගානක් තිස්සේ හීන මවපු, ගොඩක් දේවල් කරන්න ප්ලෑන් කරපු, ලස්සන මතකයක් වෙන්න තිබුන හවස් වරුවක් එකම එක ප්රශ්නෙකින් අහිමි වීමේ ශෝකයට හවස් වරුවම මම ඇඬුවා. අම්මා මුලින් තූෂ්නිම්භූත වෙලා හිටියේ. මොකද්ද උනේ කියලා හිතාගන්න බැරුව. ඊට පස්සේ මගේ හිත හදන්න හුඟක් කතන්දර කිව්වා. ඒ එකක්වත් හරි ගියේ නෑ. පස්සේ කාලෙකදි අම්මට ඒක ලොකු විහිලුවක් උනා. නෑදෑයොත් එක්ක කියලා හිනා උනා. එයාලත් කවදාවත් නොදැකපු ජයන්තිට හිනා උනා. ලොකු අම්මගේ පුතාට තමයි ඒක වැඩිපුරම විහිලුවක් උනේ,
‘ මොනා උනත් නාලනි මම්මා එහෙම අහපු එක වැරදියි’
සමහර වෙලාවට එයා අම්මට දෝෂාරෝපණය කරත් එතන හැංගිලා තිබුනේ මාව ආයෙමත් අවුස්සලා සතුටු වෙන අදහසක් කියලා ඒ කාලෙත් මට නොතේරුණා නෙමෙයි.
“ආ… මෙයාද මේ… හිමාලි කියන්නේ?”
“ආ…මෙයාද මේ රූපිකා කියන්නේ?”
මට පස්සෙ කාලෙකදි මුණ ගැහිච්ච යාලුවෝ දෙතුන් දෙනෙකුගෙම නම් දාලා අම්මව අනුකරණය කරලා විහිලු කරන්නත් ඒ අයියා අමතක කරේ නෑ අවුරුදු ගානක් යනකම්.
අම්මවත්, වෙන කවුරුවත් කවදාවත්ම තේරුම් ගත්තේ නෑ අම්මගේ ඒ ප්රශ්නෙන් අපි දෙන්නගෙම හිත රිදුන තරම කොච්චරක්ද කියලා. අඩුම ගානේ හිත රිදුනවත් කියලා.
” මම ඇහුවේ මේ ජයන්තිද කියලා විතරයි. වෙන මොකුත්ම ඇහුවේ නෑ. එහෙම අහපු එකේ වැරැද්ද මොකද්ද?”
ඒ ගැන කතාකරන හැම වෙලාවකම අම්මා කිව්වේ ඔන්න ඔය කතාව. ඔව් ඒක ඇත්ත. ප්රශ්නේ කිසිම වැරැද්දක් නෑ. අහපු විදිය තමයි හොඳ නැත්තේ කියලා තේරුම් කරලා දෙන්න මටත් ලොකු වෙනකම්ම බැරි උනා.
ඇත්තටම වෙන්න ඇත්තේ මේකයි. මම කියපු විස්තර වලින් අම්මා සමහර විට ජයන්ති ගැන මවාගෙන ඉන්න ඇති ලස්සන රූපයක්. මවාගත්ත ජයන්තියි, ඇත්ත ජයන්තියිගේ වෙනස දැක්කම අවිඥානිකවම අම්මට එහෙම ප්රශ්නයක් ඇහෙන්න ඇති. මොකද්ද කියලා පැහැදිලි නැති උනත් ජයන්තිටත් දැනෙන්න ඇති අම්මගේ බලාපොරොත්තු කඩ වෙච්ච දුක ප්රශ්නේ අස්සේ හැංගිච්ච.
“අයියෝ, ඔයා කියපු විදිහට මම හිතාගෙන හිටියේ ජයන්ති හරිම ලස්සන ළමයෙක් කියලනේ”
වයසින් වැඩිලා, අත්දැකීම් ලැබෙනකොට මම තේරුම් ගත්තා කවදාවත් නොකිව්වත් අම්මගේ ප්රශ්නේ ඇතුලේ හැංගිච්ච ඇත්තම කතාව මොකද්ද කියලා.
ඊට පහුවදා ඉස්කෝලේ ගියාම මම ඇහුවේ නෑ ජයන්තිගෙන් ඇයි එයා ඒ විදියට දිව්වේ කියලා. ඒ වගේම එයා මට හේතුව කිව්වෙත් නෑ. ආයේ කවදාවත්ම මම ජයන්තිට කතා කරේ නෑ අපේ ගෙදර යමු කියලා. එයා ආවෙත් නෑ. මම හවස් වරුවල ජයන්තිගේ ගෙදර ගිහින් සෙල්ලම් කරා දවස් දෙක තුනක්ම. හයේ පන්තියේදි මම ගවරවෙල ඉස්කෝලෙන් අයින් වෙනකම්ම මගේ හොඳම යාලුවා උනේ ජයන්ති.
අපි එහෙන් ඇවිත් අවුරුද්දකට පස්සේ මම ගියා ජයන්තිව බලන්න. ඕලෙවල් කරත්දි ආයෙම සැරයක්. මම උස ගියාට ජයන්ති එච්චර උස ගිහින් තිබුනේ නෑ. පොඩි කොණ්ඩයක් බැඳලා හිටියා. පරණ හිනාව වෙනසක් නැතුවම තිබුනා. බිත්තියේ එල්ලපු රාමු කරපු පින්තූරයක් හැමදාම උදේ හවස දකිත්දි කොයිතරම් මතක තියේවිද? අන්න ඒ වගේ මට තාමත් මතකයි පුංචි ජයන්තිව.
වචනවල නරකක්, නපුරක් නොතිබුනත්, ටෝන් එක කාරුණික උනත්, අපි වචනයක් අතරමැද තියන විරාමයකට, ඉහලට ගන්න හුස්මකට, අපේ මූණේ ඇඳෙන පුංචි හිනාවකට පවා අනිත් කෙනාගේ හිත රිද්දන්න පුළුවන් කියන එක මට තේරුණේ මුලින්ම ඒ සිද්ධියත්, පස්සේ ඒ වගේ සිද්ධි දහස් ගානකටත් මූණ දුන්නට පස්සේ. එහෙමවත් නැතුව, අනිත් හැම කෙනකුටම (සමීප/දුරස්ථ) සැලකිල්ලෙන් කතා කරන අය බොහොම ටික දෙනයි මගේ ජීවිත කාලේදිම මුණ ගැහිලා තියෙන්නේ. පුළුවන්කමක් තියෙනවනම් අපේ ඉස්සරහට එන හැම කෙනාටම හදවතින්ම හිනාවෙලා, අල්පමාත්රයක්වත් හිත නොරිදෙන්න කතා කරන්න මම විශ්වාස කරනවා ඒක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම පින කියලා.
ප.ලි.
පුංචි ළමයින්ට හැමෝම වගේ ආදරෙයි. ඒ ළමයින්ව අවුස්සලා, විහළු කරලා සතුටු වෙන අයත් ඒ අතරේ ඉන්නවා ප්රතිඵලය ගැන හරිහැටි නොදැන. ඒ අය දරුවන්ට ආදරේ නෑ කියන්න බෑ. අතීත මතක මගේ රැකියාවෙදි ඉගෙන ගත්ත දේවල් එක්ක එකතු කරාම මම තීරණය කරා පුංචි දරුවන්ටත් ගෞරව කරන්න. හිත රිදෙන, ඒ දරුවො අකමැති විහිළු නොකර ඉන්න. (සමහර දරුවො පුංචි පහේ විහළු වලට ඇත්තටම කැමතියි) ඒ වගේම නොදැනුවත්ව කවුරු හරි දරුවෙක්ව විහිළුවට ගන්නවනම් ඒ කෙනාගේ හිත නොරිදෙන්න කරුණු පැහැදිලි කරලා දෙනන්නත්. 
උපුටා ගැනීම:Anu Jayawardane 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!