ජයවතී (හොල්මන් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මෙම මේ කියන්නේ මීට අවුරුදු 27කට විතර කලින් මම පෞද්ගලිකව මුහුණ දීපු අත්දැකිමක්. ඇත්තටම සමහරු, හොල්මන්, අවතාර, මළ පෙරේතයො කියන ඒවට බයේ දගලද්දි මම ඒවට බය නෑ. මොකද මන් ඒවා දැකලා නැති නිසා.
ඒ කාලේ සාමාන්ය ගෙවල්වල බාත්රූම් කියන ජාතියක් දකින්න තිබ්බෙ හරිම කලාතුරකින්. ඉතින් අපේ ගෙදරත් එහෙම එකක් නෑ. රෑකට චූකරන්න එහෙම යන්න ඕනේ උනොත් යන්න වෙන්න එළියෙ තියෙන එකට තමයි. ඉතිං ඒකටත් රවුමක් යන්න ඕනේ. ටිකක් ඈතින් තියෙන්නේ. ඉස්සර රෑට අයි.ටී.එන්. එකේ ස්වර්ණමහල් අනුග්රහයෙන් හින්දි ෆිල්ම්, දෙමළ ෆිල්ම් පෙන්නුවා. සතියේ හැම බදාදා දවසකම වගේ තමයි පෙන්නුවේ. ඒවා ඉවරවෙද්දී රෑ 12 පහුවෙනවා. මං තනියෙම ෆිල්ම් බලපු දවසුත් තිබ්බා. එදාට රෑ දොළහට උනත් මන් තනියම ටොයිලට් ගිහින් ඇවිත් නිදාගන්නවා. කිසි අවුලක් නෑ. බයක් නෑ.
අපේ ගේ ඉස්සර තමයි අපේ නැන්දලගේ ගේ තිබ්බේ. ඉතින් නැන්දලාගේ දූල දෙන්නම හදිසියේ අසනීප උනා. ඔලුවේ තුවාල දාලා ගද ගැහුවා. කකුල්වල තුවාල ආවා. ගොඩක් බෙහෙත් කලා. ඒත් අඩු උනේ නෑ.
අවුල පටන් ගත්තේ ඊට පසසේ. ගෙදර හුඩ් එක උඩ ඔක්කොම වැටෙන කොළ රැදිලා. බිමට වඩා හුඩ් එක උඩ කොළ ගොඩ ගහිලා. ඉස්සරහ තියෙන ලොවි ගහේ ගෙඩි ගේ ඇතුලේ. කුස්සියේ. නැන්දට ටිකක් පොඩි බයක් දැනුනා.
මායි අම්මයි එහෙ ගිය වෙලාවක නැන්දා අපෙ අම්මට විස්තරේ පැහැදිලි කරනවා.
” බලපන් නන්ගියේ, මේ කොළ කොහෙද තියෙන්නේ. ගේ ඇතුල දූවිලි හොදට ම. මේ අතුගානවා මේ දුවිලි. කෙල්ලො දෙන්න ලගම ගදයි. මන් හෙට යන්නවා සාස්තරයක් අහන්න. මළ පෙරේත බැල්මක් වැටිලද කොහොද. උඹ එනවාද මන් එකක් යන්න”
මාත් ඉතින් පොඩි කාලේ ඉදලම පොඩි නෑ. හෙන පණ්ඩිතයා. ඇගපුරාම මොලේ. මං නැන්දා දිහා බලලා කිව්වා ” මොන බොරුද නැන්දෙ, මළ පෙරේතයො හොල්මන් කියලා ජාතියක් නෑ” කියන එකේ නෑ අකුර කියන්න හම්බඋනේ නෑ
කුස්සියේ දොර ළග ගොඩගහලා තිබ්බ දර ගොඩෙන් දර කෑල්ලක් ඇවිත් මගේ කකුල් දෙක ලග පත බෑ උනා. බයට අම්මේ කියවුනා.
“ඔන්න ඔහොම තමයි නන්ගියේ, ඕවගේ පොඩි පොඩි දේවල් එහෙ මෙහෙ යනවා. මොනවහරි කියලා බැන්නොත් කොප්ප පිගන් බිම වැටෙනවා.” අපේ අම්ම දිහා බලාගෙන නැන්දා කියපි.
“අපි ඉක්මනටම යමු අක්කේ. එන පොට හොද නෑ.” අපෙ අම්ම උත්තර දුන්නා.
හැබැයි මන් ඉන්නේ තාම අවුලෙන්. මේක ෂුවර් එකටම හොල්මන් කේස් එකක් ද එහෙමත් නැත්නම් වෙන කේස් එකක් ද. තව පාරක් ට්රයි කරන්න හිත කිව්වා. එහෙම හිතාගෙන ” නැන්දේ ශුවර් එකටම මළ පෙරේතයෝ ඉන්නවද” කියලා ඇහුවා විතරයි රාක්කේ තිබ්බ කෝප්පෙ බිම. පොඩි පොඩි බඩු එහෙ මෙහෙ යන ඒවා මන් හොදටම දැක්කා.
අපේ ගෙවල්වල කිසි කෙනෙක්ට හොල්මන් අවතාර ගැන ලොකු අවබෝධයක් තිබේබෙ නෑ. මොකද මේවගේ සිද්ධිවලට අපි කවුරුත් මීට කලින් මුහුණ දීලා නැති නිසා.
මට මේ සිද්ධිය ටිකක් අවුල් උනා. අම්මට වදයක් උනා. මොකද වෙනදට රෑට එළියට තනියෙම යන එකා දැන් ඩබල් දාලා යන්න අහන නිසා. මහ රෑටත් අම්මත් එක්ක තමා යන්නේ.
සාස්තර අහලා ඇවිත් අම්මා මුකුත් ම කිව්වෙත් නෑ. ඇහුවා. ඒත් කිව්වෙ නෑ. අන්තිමට අම්මා ආදරෙන් “උඹට වැඩක් නෑ. නන්දගෙන් අහන්නෙත් නෑ” කියලා කිව්වහම අහන එක නැවැත්තුවා. මොකද ආයත් පාරක් ඇහුවෙත් කෑමක් ෂුවර් කියලා අත්දැකීමෙන් දැනන් හිටිය නිසා.
ඊට පහුවදාම උදෙන්ම නැන්දලගේ ගෙදරට සෙට් එකක් බැස්සා. ගොක් අතු කපනවා. හෙන වැඩ කට්ටිය. වයසක අන්කල් කෙනෙක් හිටියා. ටිකක් බැරෑරුම් මුණක්. සයිලන්ස් එකේ හිටියෙ. ඒ මූණ තවම මතකයි. දැන්නම් ඒ මනුස්සයා ජීවතුන් අතර නෑ මන් දන්න විදිහට.
“මේ නෝනාගේ ගෙදර බත් හට්ටියේ බත් එහෙම අඩුවෙලා තිබ්බ ද කියලා බැලුව ද”
” අනේ එහෙමනම් බැලුවේ නෑ ගුරුන්නාන්සේ” නැන්දා උත්තර දුන්නා.
“ම්හ්.ම්හ්. බයගන්න කාරියක් නෑ. මං හැමදේහ හරි විදිහට කොරාලා දෙන්නම්”
ගුරුන්නාන්සේ ගේ වටේම අවිද්දා. වත්තේ මුළු වටේට මොනාද මන්ද වැලලුවා. මල්ලිනි කෝටු වලින් පොඩි අට්ටාල හදලා ඒවා ගොක්කොලවලින් සරසලා ඒවා උඩින් හට්ටි තිබ්බා. අමුතු අමුතු වැඩ ගොඩයි. රෑටලු තොවිලේ පටන් ගන්නේ. රෑ වෙනකන් බලන් හිටියා.
බෙර ගහලා පන්දම්වලට දුම්මල ගහනවා. එළිය ගොඩයි. එක සැරේටම ගුරුන්නාන්සෙගෙ කඩහඩ වෙනස් වෙලා කතා කරන්න ගත්තා.
අනික් පොඩි ගුරුන්නාන්සේ ප්රශ්න අහනවා.
” කවුද මේ ඇවිත් ඉන්නේ”
” උඹලා මාව හදුරන්නේ නැද්ද”
“නෑ. තමුන් කවුද කිව්වනම්”
” මං ජයවතී.”
” දැන් මෙහෙ ඇවිත් මොකද කරන්නේ. මේ මිනිස්සුන්ට මොකද කරදර කරන්නේ”
“මං විතරක් නෙවි. මගේ යාලුවෙකුත් ඉන්නවා”
” මේ තියෙන දේවල් ටික කාලා බීලා මෙහෙන් ගියොත් හොදා නේ ද. තව කරදර නොකර”
” මේ කෑම දෙන්නෙකුට ඇත් ද?. තව කෑම ඕනේ. තව බිත්තර ඕනේ.”
“හොදා හදලා දෙන්නම්. හැබැයි යන්න ඕනේ. එහෙම නොගියොත් හිර කරනවා මේ කුප්පියේ”
කට්ටිය ආයිත් කැම හැදුවා. පාන්දුර තුන හතර වෙනකන් වැඩේ ගියා. කොහොමින් හරි ලොකු ගරුන්නාන්සෙ කියපු විදිහට හැමදේ ම හරිගියා.
සුමානයක් යද්දි නැන්දලගේ දූලගේ ඇගේ තිබ්බ ඔක්කොම තුවාල හොද උනා. අනික් ප්රශ්න ඔක්කොම නිරාකරණය වුණා.
ජයවතී කියන්නෙත් අපේ දුරින් නෑදෑවෙන නැන්ද කෙනෙක්. ජයවතී නැන්දා හිදිසි අනතුරකින් මැරුණා. අම්මා කියන විදිහට අපි පොඩි කාලේ අපිව බලාගෙන ඉදලා තියෙන්නෙත් , අම්මට ගොඩාක් උදව් කරලා තියෙන්නේත් ජයවතී නැන්දා. ඒවගේ ම හතර පෝයට සිල්ගන්න නිර්මාන්ස කෙනෙක්. හැමෝටම උදව් පදව් කරන කෙනෙක්. කොටින්ම කිව්වොත් එයා පවක් කරනවා කිසිකෙනෙක් දැකලවත් නෑ.
මට ගැටලුවක්. එහෙම හොද කෙනෙක් කොහොම ද මළ පෙරේතයෙක් වෙන්නේ. කොහෙමද පෙරේත ගොට්ටට බිත්තර ඉල්ලන්නේ. මෙව්වා ඉතින් මට ඒකාලේ දැවෙන පස්න.
“අම්මේ කොහොමද ජයවතී නැන්දා මල පෙරේතයෙක් උනේ” මට තේරෙන විදිහට මන් අම්මගෙන් ඇහුවා.
” ජයවති අක්කා ඉස්පිරිතාලෙට ගෙනාවේ හොදටම අමාරුවෙලා. එයාගෙන් හොදටම ලේ යනවා. ඔපරේෂන් එකට ගන්න හදද්දිත් එයා ඇහුවේ, නන්ගියේ මන් මැරෙයිද, මන් මැරෙයි ද කියලා, මාව බේරගනින්, මට මැරෙන්න බෑ කියලා ” අම්මා උත්තර දුන්නා.
” එහෙම කිය කිය තමයි එයා නැති උනේ. මැරෙන මොහොතේ හොද සිතිවිල්ලක් එයාට මතක්කරගන්න බැරි වෙන්න ඇති. ” අම්මා දුකින් කිව්වා.
සමහර වෙලාවට මැරෙයි කියන බය, මරණයට මුහුණ දෙන්න හිත හදාගන්න බැරිවෙන්න ඇති. ජීවිතයට තිබ්බ දැඩි ආශාව, ජීවිතය අතාරින්න හිත හදාගන්න බැරිවෙන්න ඇති. අවසන් සිතිවිල්ල දැඩි ආශාවක් එක්ක තිබුණ හින්දා පෙරේත ආත්මයක් ලැබෙන්න ඇති. අපි ආශ කරන දේවල් ගැන අපි වගබලාගන්න ඕනේ. ඕනේම වෙලාවක මැරෙන්න හිත හදාගන්න පුහුණු වෙන්න ඕනේ කියන එක අදටත් මට හිතෙන දෙයක්. ඒත් සමහර දේවල්වලින් ඈත් වෙන්න අමාරුයි. විශේෂයෙන් බැදීම්. බැදීම් කිය කිය ඉදලා අන්තිමේ දී බැදීම් දාලා යන්න බැරුව එහෙටත් මෙහෙටත් නැතිව, ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ටත් කරදයක් වෙලා බෝතලයක් ඇතුලෙ තමන්ගේ ආත්මේ හිර කරගන්නවට වඩා හොදයි ආසාව කියන එක අඩු කරගන්න දැන්ම ඉදලා උත්සාහ කරන එක.
මේ අත්දැකීම හිතේ තිබ්බ හින්ද ද කොහෙද මීට අවුදුරු 8කට කලින් තාත්තා නැති උණ වෙලාවේ මං ඇඩුවේ නෑ. හැම තිස්සෙම එයා ලගට ගිහින් කිව්වේ ” තාත්තේ, රැදෙන්නෙපා, යන්න. මෙහෙ කවුරුත් නෑ. හොද තැනකට යන්න” හැම තිස්සෙම ලගට ගිහින් කිව්වා. තාත්තාට ඇහෙන්න ඇති කියලා මන් හිතනවා. මන් තාත්තට ඒ විදිහට සමුදුන්නා. සමහර අත්දැකීම් අපට හරිපාර පෙන්නනවා. හොද ඉපදීමකට හොද අතහැරීමක් අත්යාවශ්යයි. සමහර අතහැරීම් අපිව මරණවා කියන්නේ මේ හින්දා වෙන්න ඇති. අතෑරියට පස්සේ අපිට ආයිත් ඉපදෙන්න පුළුවන් වෙනවා.
ඒ කොහොම උනත් මන් ලබපු අත්දැකීම හින්දා හොල්මන්, පෙරේතයො, අවතාර නැහැයි කියන එක කියන්නේ නෑ. නැන්දලගේ ගෙදර මන් දැකපුවා නැහැයි කියන්න බට බැහැනේ. මේ දේවල් හිතින් බැහැර කරන්න ටිකක් කල් ගියා. තනියෙම එලියට යන්න හිත හදාගන්න ගොඩක් මහන්සි වෙන්න උනා.
ඒ කොහොම උනත් මිනිස්සු තරම් හොල්මන් නරක නැතිව ඇති. ඇත්තටම හොල්මන් වලට බය උනත් අපි බයවෙන්න ඕනේ මිනිස්සුන්ට.
උපුටා ගැනීම: Vasuda Jayawarna

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!