රාත්‍රියේ ඉතා ආකර්ෂණීය කුඩා එළියක් විහිදුවන කණාමැදිරියෙකු ඇස නොගැටුණු අයෙක් සිටීයැ යි සිතීම උගහට යි. එසේ වුවත්, කණාමැදිරියෙකු තමාගේ මේ කුඩා අලෝකය කෙසේ නිපදවාගනු ලබන්නේ ද යන්න පිළිබඳ දැනුවත්ව සිටින්නේ ඉතා සුළු පිරිසක්.
ලොව පුරා නොයෙක් පරිසර තත්ත්ව යටතේ කණාමැදිරියා මෙන්ම තවත් බොහෝ සත්ත්ව හා ශාක විශේෂ ගණනාවක් මේ ආකාරයට ආලෝකයක් නිපදවා ගනු ලබන බව විද්‍යාත්මකව තහවුරු කරගෙන තිබෙනවා. පොදුවේ ගත්කල මෙම ක්‍රියාවලිය “ජෛව සංදීප්තතාවය” (Bioluminescence) ලෙස හැඳින්වෙඅවා. එය ඉතා අපූර්ව ජෛවීය ක්‍රියාවලියක්.

ජෛව සංදීප්තතාවය, ජීවී වස්තුවක් තුළ හටගනු ලබන රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස අර්ථ දී තිබෙනවා. ඒ අනුව, යම් රසායනික ක්‍රියාවලියක අවසාන ඵලය මෙලෙස සජීවී වස්තුවක් තුළින් ආලෝකයක් නිර්මාණය වීම යි. ජෛව සංදීප්තතාවය “ශීත ආලෝකයක්” ලෙස හඳුන්වනු ලබනවා. ඒ, එය තාපජ විකිරණයක් නිසා හෝ උෂ්ණත්වය නිසා හටගනු ලබන ආලෝක කදම්භයක් නොවීම හේතුවෙන්.
දැනට හඳුනාගෙන ඇති ජෛව සංදීප්තීය ජීවීන් බහුතරයක් සාගර ජලජ ජීවීන්. ඔවුන් අතර ඇතැම් මත්ස්‍ය විශේෂ, බැක්ටීරියා වර්ග, සහ ජල්ලි මත්‍ස්‍ය විශේෂ අන්තර්ගත වෙනවා. මීට අමතරව කණාමැදිරියන් සහ ඇතැම් දිලීර වර්ග ගොඩබිම තුළින් හඳුනාගෙන තිබෙනවා. නමුත් මිරිදිය ජීවී ප්‍රජාව අතරේ ජෛව සංදීප්තතාවය සහිත ජීවීන් හඳුනාගෙන නැති තරම්.
රසායනික ක්‍රියාවලිය
ජෛව සංදීප්තතාවය හටගැන්ම සඳහා අත්‍යාවශ්‍ය රසායනික ක්‍රියාවලියක් සිදුවිය යුතු යි. ලුසිෆරීන් නම් රසායනික ද්‍රව්‍යය සමග ලුසිෆරේස් හෝ ෆොටෝප්‍රෝටීන වර්ගයට අයත් එන්සයිමයක් සංයෝග වීමෙන් මෙම අපූර්ව ජෛවීය ක්‍රියාවලිය ආරම්භ වෙනවා. ඔක්සිකරණයට ලක් වූ ලුසිෆරේස් එන්සයිමය මඟින් ඔක්සිලුසිෆරේස් නම් වූ අතුරු නිෂ්පාදනය සිදුවනවා. ඔක්සිලුසිෆරේස් නිර්මාණය වීමේ ක්‍රියාවලියෙහි නියත ඵලය වන්නේ ආලෝකය නිර්මාණය වීම යි. මෙම ක්‍රියාවලිය හරහා කහ හෝ කොළ/නිල් මිශ්‍ර වර්ණ ආලෝකයන් නිර්මාණය වීම සිදු වෙනවා. මෙලෙස වර්ණ විවිධත්වයක් ඇති වීම සඳහා බලපා තිබෙන්නේ ලුසිෆරීන්හි අණුක සැකැස්මෙහි පවතින විවිධත්වය යි.
ඇතැම් ජෛව සංදීප්තීය ජීවීන් ඔවුන්ටම ආවේණික වූ ලුසිෆරීන් සයෝගයක් නිපදවාගනු ලබනවා. උදාහරණයක් ලෙස “ඩයිනෝෆ්ලැජලට්” නම් ඒක සෛලික ඇල්ගී විශේෂය නිල් වර්ණයට හුරු කොළ වර්ණය මිශ්‍ර ජෛව සංදීප්ත අලෝක කදම්භයක් නිදවනු ලබනවා. එම හේතුව නිසා ඇතැම් අවස්ථාවල රාත්‍රී කාලයේ දී සාගර ජලය මතුපිට ඉතා දීප්තිමත් ආලෝකයක් දැකගැනීමට හැකියාව ලැබෙනවා.

මීට අමතරව තමා විසින්ම ජෛව සංදීප්ත ආලෝක කදම්භයක් නිෂ්පාදනය නොකර ගන්නා, එහෙත් ජෛව සංදීප්තතාවය සහිත ජීවීන් කොටස් ද ජෛව සංදීප්ත ජීවී ලෝකය තුළ හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සිය ආලෝකය නිර්මාණය කරගනු ලබන්නේ ආහාර වශයෙන් ලබා ගන්නා දෑ මඟින් හෝ අන් ජීවියෙකු සමග සහජීවී සම්බන්ධයක් ගොඩනගා ගැනීම හරහා යි. මිඩ්ශිප්මන් නම් මත්ස්‍ය විශේෂය, සීඩ් ශ්‍රිම්ප් නම් කූනිස්සන් විශේෂය ආහාරයට ගැනීම මඟින් ජෛව සංදීප්තතාවය ඇතිකර ගනු ලබනවා. එමෙන්ම දැල්ලන් ජෛව සංදීප්ත කුලයට අයත් බැක්ටීරියාවන් වර්ග සමග සහජීවී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ජෛව සංදීප්තතාවය ඇතිකර ගන්‍නා බව සඳහන් වෙනවා.
බොහෝ ජෛව සංදීප්තීය ක්‍රියාවලීන් සඳහා ලුසිෆරීන් සහ ලුසිෆරේස් එන්සයිමයෙහි සංයෝජනය බලපානු ලබනවා. නමුත් පෙර සඳහන් කළ පරිදිම ඇතැම් අවස්ථාවන්වල දී ඒ සඳහා ලුසිෆරේස් එන්සයිමය සංයෝජනය නොවී, ෆොටෝප්‍රෝටීන් වර්ගයේ එන්සයිම එක්වන අවස්ථා පවතිනවා. නමුත් ජෛව සංදීප්තතා ක්‍රියාවලිය සම්පුර්ණ වීම සඳහා මෙම සංයෝග ද්විත්වය පමණක් ක්‍රියාකාරී වීම ප්‍රමාණවත් නැහැ. මේ සමස්ථ ක්‍රියාවලිය සම්පුර්ණ වීම සඳහා කැල්සියම් අයනයක් සමග බන්ධනය වීම ද සිදුවිය යුතු යි.
ෆොටෝප්‍රෝටීන මෑතක දී හඳුනාගනු ලැබූවක් බැවින් එහි අසාමාන්‍ය රසායනික ගුණාංග පිළිබඳ ජීව විද්‍යාඥයන් සහ රසායනික විද්‍යාඥයන් තවදුරටත් පර්යේෂණ ක්‍රියාත්මක කරමින් පවතිනවා. ෆොටෝප්‍රෝටීන් පිළිබඳව මුලින්ම සොයාගනු ලැබුණේ උතුරු ඇමරිකාවේ බටහිර වෙරළ තීරයෙන් හඳුනාගනු ලැබූ ක්‍රිස්ටල් ජෙල්ලි මසුන් හරහා යි.
ජෛව සංදීප්ත වර්ණ

ජෛව සංදීප්තතාවය සහිතව මෙතෙක් හඳුනාගෙන ඇති ජීවීන්ගේ ඉතා විශාල වර්ණාවලි පරාසයක් පවතින බව විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා. බොහෝ සමුදුරු ජෛව සංදීප්තීය ජීවීන් පැහැදිලිව දැකගත හැකි නිල්-කොළ වර්ණ නිර්මාණය කරනු ලබනවා. මේවා ගැඹුරු සාගර පත්ලේ දී මෙය ඉතා පැහැදිලිව දැකගත හැකි වර්ණයන් වීම.ඊට හේතුවක්. එසේම සාගර ජීවීන් බොහොමයක් නිල් කොළ වර්ණවලට මිස රතු කහ වර්ණවලට සංවේදී නැහැ.
ගොඩබිම් ජෛව සංදීප්තීය ජීවීන් අතුරෙන් කණාමැදිරියන් සහ අග්නිදිග ආසියානු කලාපයෙන් හමු වූ ජෛව සංදීප්තීය එකම ගොළුබෙලි විශේෂය කහ පැහැ වර්ණයක් නිෂ්පාදනය කරනු ලබනවා. තවත් සුළු ප්‍රමාණයේ ජීවීන් කිහිපදෙනකු හට එක් වර්ණයකට වඩා වැඩි ජෛව සංදීප්තීය වර්ණ නිදපවීමේ හැකියාව පවතිනවා. රේල්රෝඩ් වර්ම් නම් පණු විශේෂයෙහි හිස ප්‍රදේශය තුළින් රතු පැහැති ආලෝකයක් නිපදවෙන අතර කඳ කොටස තුළින් කොළ පැහැ ආලෝකයක් විහිදුවනු ලබනවා.
ඇතැම් ජීවී විශේෂ අඛණ්ඩ ජෛව සංදීප්තීය ආලෝකයක් විමෝචනය කිරීම සිදු කරනවා. දිරාපත් වෙමින් පවතින දැව කොටස් මත වර්ධනය වෙන දිලීර වර්ග මෙලෙස අඛණ්ඩ අලෝකයක් විහිදවනු ලබනවා. ෆයර්ෆොක්ස් නම් දිලීර විශේෂය මේවා අතර ප්‍රමුඛ යි. නමුත් බොහෝ ජීවීන් ජෛව සංදීප්තීය ආලෝකය විහිදුවන්නේ වරකට තත්පර 1-10 දක්වා කාලයක්. එම ආලෝකය ජීවියාගේ ශරීරයේ විශේෂිත කොටස් කීපයකින් පමණක් පිටවීම සිදු වෙනවා. නමුත් ඇතැම් ජීවීන්ගේ සම්පූර්ණ ශරීරය තුළින්ම මෙම ආලෝකය පිටවන අවස්ථා ද පවතිනවා.

අනුවර්තනය වීම
ජෛව සංදීප්තතාවය ස්වභාවධර්මයේ අහඹු සංසිද්ධියක් නොවේ. ජෛව සංදීප්තීය ජීවීන් එය ආකාර ගණනාවකින් ප්‍රයෝජනයට ගනු ලබනවා. ඇතැම් අවස්ථාවල දී දඩයම් කිරීමට, විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට, සහකරුවෙකු සොයා ගැනීමට වැනි ඉතා වැදගත් ජෛවීය ක්‍රියාවලීන් සඳහා මෙහි දායකත්වය ලැබෙනවා.
ආරක්ෂණ අනුවර්තනය
ඇතැම් ජීවීන් ජෛව සංදීප්තතාවය විලෝපිකයන් වික්ෂිප්ත කිරීමට යොදාගනු ලබනවා. දැල්ලන් විශේෂ බොහෝමයක් විලෝපිකයන් පුදුමයට පත් කිරීම සඳහා ජෛව සංදීප්තීය වර්ණ නිපදවනු ලබනවා. විලෝපිකයා වික්ෂිප්ත වන සුළු කාල වේලාව තුළ දැල්ලා පැනයාමට උත්සාහ කරනවා. සාගර ජල පෘෂ්ඨයට ආසන්නව ජීවත්වන දැල්ලන් විශේෂවලට තීන්ත වැනි ද්‍රාවණයකින් විලෝපිකයන් මුලා කිරීම කළ හැකි නමුත්, ගැඹුරු, අඳුරු මුහුදේ ජීවත් වන දැල්ලන් තුළ තීන්ත නිෂ්පාදනය වීම ඉතා අවම මට්ටමක යි පවතින්නේ. මේ හේතුව නිසා ගැඹුරු මුහුදේ ජීවත් වන වැම්පයර් දැල්ලන් විලෝපිකයෙකු හමුවූ විට ජෛව සංදීප්තතාවය සහිත ශ්ලේෂ්මල පටලයක් (සෙම වැනි පටලයක්) ශරීරයෙන් පිටකර විලෝපිකයා වික්ෂිප්තකොට පලා යනවා.
ඇතැම් විලෝපිකයන් සාගර ගැඹුරේ සිට සාගර මතුපිට පෘෂ්ඨයට ආසන්නව ජීවත් වන ජීවීන් දඩයම් කරනවා. සූර්යයාගෙන් ලැබෙන ආලෝකය නිසා සාගර මතුපිට ජීවත් වන ජීවීන්ගේ සෙවනැලි සාගර ගැඹුරේ සිට දඩයම් කරන මෝරුන් වැනි දඩයක්කරුවන්ට පහසු ඉලක්ක සපයා දෙනවා. නමුත් ඇතැම් ජෛව සංදීප්තීය ජීවීන් හට මෙය මඟහැරීමේ උපක්‍රමයක් පවතිනවා. සූර්යයාගෙන් ලැබෙන ආලෝකය හා සමාන ආලෝකයක් තමාගේ ශරීරයෙහි යටි පැත්තෙහි නිෂ්පාදනයකර ගැනීමෙන් සිය සෙවනැල්ල මකා දැමීම හරහා, සාගර ගඹුරේ සිට දඩයම් කරන දඩයක්කරුවන්ගෙන් වසන්වීමේ හැකියාව ඔවුන් සතුව පවතිනවා. හැචට්ෆිෂ් නම් ජීවියා මෙම උපක්‍රමයක් ඉතා සාර්ථකව අනුගමනය කරන්නෙක්.

තවත් ජීවීන් තමාගේ ශරීරයේ එක් අංගයක් ජෛව සංදීප්තතාවයට පත්කොට එම ශරීර කොටස සිරුරෙන් වෙන්කොට දමා විලෝපිකයන් මඟහැරීම සිදු කරනවා. පසැඟිල්ලන්ට සමාන බ්‍රිට්ල් ස්ටාර් නම් ජීවියා, සිය බාහුවක් වැනි ශරීර කොටසක් ජෛව සංදීප්තතාවයට පත්කොට ශරීරයෙන් ගලවා දමා, විලෝපිකයා එම දිළිසෙන ශරීර කොටස හඹා යන අතරතුර අනතුරින් පලා යනවා. මෙලෙස බාහුවක් ගලවා ඉවත් කරන සෑම අවස්ථාක දීම එම බාහුව නැවත නැවත වර්ධනය වෙනවා.
මීට අමතරව, මෝරුන් සහ තල්මසුන් ජෛව සංදීප්තීය ජීවීන් නොවුණත්, ජෛව සංදීප්තතාවය සිය ආහාර ලබා ගැනීමේ උපක්‍රමයක් ලෙස භාවිතා කරනු ලබනවා. ස්පර්ම් නැමැති තල්මස් විශේෂය ඇතැම් අවස්ථාවල දී ජෛව සංදීප්තතාවය සහිත ප්ලවාංග කොලනියක් සොයා ගවේශනයෙහි යෙදෙනවා. නමුත් ප්ලවාංග ස්පර්ම් තල්මසුන්ගේ ආහාර අතරට අන්තර්ගත වන්නේ නැහැ. විලෝපිකයෙකු ප්ලවාංග කොලනියක් ආක්‍රමණය කළ විට ප්ලවාංග විසින් දීප්තිමත් ආලෝකයක් විහිදුවනවා. ස්පර්ම් තල්මසුන් ආහාරයට ගන්නේ ප්ලවාංග ජීවීන් නොව, මේ විලෝපිකයන්. මෙය මේ තල්මසුන්ට ආහාර සොයාගැනීම පහසු කරවනවා.
මීට අමතරව ඇතැම් කෘමි විශේෂ තමා විෂ සහිත ජීවී විශේෂයක් බව හඟවා, විලෝපිකයින් පලවා හැරීම සඳහා ද ජෛව සංදීප්තතාවය භාවිතයට ගනු ලබනවා.
දඩයම් කිරීමේ අනුවර්තනය
ජෛව සංදීප්තතාවය ඉතා හොඳින් භාවිතයට ගනිමින් දඩයම් කරන ජීවීන් ද දැකගත හැකියි. ඇන්ග්ලර්ෆිෂ් ඒ අතර ප්‍රධාන තැනක් උසුලනවා. ඔවුන්ගේ හිසෙන් ඉහළට එසැවුණු දිගු, සිහින් මාංශමය සූත්‍රිකාවකින් ආලෝකය නිකුත් කෙරෙනවා. මෙම ආලෝකයට ඇදී පැමිණෙන කුඩා මත්ස්‍යයින් ඇන්ග්ලර්ෆිෂ් ජීවියාගේ ආහාරය බවට පත්වෙනවා.
ආකර්ශන අනුවර්තනය
ජෛව සංදීප්තතාවය වර්ගයා බෝ කිරීමේ උපක්‍රමයක් ලෙස ද භාවිතයට ගැනෙනවා. කණාමැදිරියන් බොහෝ විට සිය ජෛව සංදීප්තීය ආලෝකය විහිදුවනු ලබන්නේ සහකරුවෙකු හෝ සහකාරියක සොයා ගැනීම සඳහා යි. කණාමැදිරියාගේ ගැහැණු සහ පිරිමි යන දෙවර්ගයම ජෛව සංදීප්තීය ආලෝකයක් විහිදුවනු ලබන බැවින් සංවාසය සඳහා සුදුස්සෙකු තෝරා ගැනීමට එය උපකාරී වෙනවා.

ඉහත දැක්වූ අනුවර්තන සියල්ලට අමතරව ඇතැම් ජීවීන් පරිසර වෙනස්වීමක් සිදුවූ විට ද ජෛව සංදීප්තීය ආලෝකයක් විහිදුවනවා. ඇතැම් ඇල්ගී විශේෂ ජලයේ ලවණ සාන්ද්‍රණයෙහි වෙනසක් වූ විට දිදුලනවා.
ජෛව සංදීප්තතාවය සහ මිනිසා
ජෛව සංදීප්තතාවය මිනිසාගේ යහපත සඳහා යොදාගත හැකි ආකාරය පිළිබඳව විද්‍යාඥයන් පර්යේෂණ සිදු කරනවා. මේ සම්බන්ධයෙන් අත්හදාබැලීම් මට්ටමේ පර්යේෂණ ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ජෛව සංදීප්තීය ශාක නිපදවීම හරහා නගර සහ මහා මාර්ග ආලෝකකරණය පිළිබඳව අත්හදාබැලීම් මේ වන විටත් ක්‍රියාත්මක වෙනවා. එය සාර්ථක වුවහොත් අධික ලෙස විදුලි බලය භාවිතය අවම කිරීමට හැකියි.

මීට අමතරව ඇතැම් ධාන්‍ය වර්ග හෝ ශාකවලට ජලය හෝ වෙනත් පෝෂකයක් අවශ්‍ය වන විට ඒ බව දැනුම් දීමටත්, අස්වනු නෙලීමේ කාලය පැමිණි බව දැනුම් දීමටත් ජෛව සංදීප්තතාවය සන්නිවේදන මාධ්‍යයක් ලෙස යොදා ගැනීමට ඇති හැකියාවත් පර්යේෂණ මට්ටමේ පවතිනවා.
උපුටා ගැනීම: roarmedia