ජිවිතේ වෙනස් කළ හිනාව (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ සිද්ධිය වෙන්නේ 2010 එතකොට මම 10 වසරේ. 10 වසර පළමු වාරේ. 10 වසරට එද්දී ළමයි කොටස් දෙකක් මේ පන්තියට එනවා. එක කොටසක් සාමන්ය පෙළ හිස මුදුනේ තියාගෙන ඉන්න කොටස , අන්ති කොටස මෙලෝ ගාණක් නැති කොටස. ඔන්න ඔය කොටස් දෙකෙන් මම අයිති වුණේ දෙවනි කොටසට කිවුවෝත් හරි.
එකම ළමයා නිසා ගෙදරින් දෙන ලොකු ආදරෙ එක්ක ඉගෙන ගන්න ඔනි කියලා මහ ලොකු බරක් මටත් දැනුනේ නෑ.ඉතිං මිත්රවරුනි අනිත් ළමයි වගේම මමත් ඉස්කෝලේ යනවා, ඉගෙන ගන්නවා, කිසි කරදරයක් නැති පන්තියේ 13 16 වගේ වෙන සාමන්ය චරිතයක් කිවුවොත් හරි. හැබැයි හිටි ගමන් තල්ලු වෙලා 23/ 24 වුණ අවස්ථාත් තිබ්බා.(පන්තියේ ඔක්කොම ළමයි 40) ඒත් ඒ කවමදාවත් අම්මා හරි අප්පච්චි හරි මගේ රිපෝට් එක බලලා බැන්න වගක් මට මතක නෑ .ඊළඟ පාර තව ලකුණු වැඩියෙන් ගන්න පුලුවන් කියනවා මිසක් වෙන අම්මලා වගේ අහල ගං හතක ළමයි අල්ලං ළමයට දෙහි කපනවා වගේ දොස් කියපු දවසක් තිබිලා නෑ.
“අරයගේ ළමයට මෙච්චරයි ඇයි අපේ එකාට බැරි බ්ලාහ් බ්ලාහ්…….”
හැබැයි අපේ ගෙදර එහෙම කවදාවත් මාව කටවත් සන්සන්දනය කරලා අම්මා බැනලා නෑ
ඔය අතරේ 10 පන්තියට ආව ගමන් අර තෝරන්න ඔන බකට් සබ්ජේක්ට් වලට මම තෝර ගත්ත එක්කක් තමයි commerce. කෝකටත් කියලා ඉතිං අම්මා ඔන්න commerce වලට මාව අමතර පන්තියකටත් දැම්මා.ඔන්න ඉතිං හා හා පුරා කියලා මාත් ඉතිං පන්තියේ ගිහින් වාඩි වුණා ඔන්න ඉතිං පළවෙනි දවස නිසා සර් විෂය ගැන ලොකු දේශනයක් දීලා අවසානේ කිවුවා තමන්ගේ පොතේ ඉස්සරහා මෙන්න මෙහෙම ලියන්න කියලා
” මම O/L විභාගයට A 9ක් ගන්නවාමයි”
අන්ති ළමයි වෙඩි වගේ ලියනවා … නොලියා ඉදලත් බෑනේ ඉතිං ඔන්න ඔහේ ලියමු කියලා මාත් ඒ වාක්ය පංති පොතේ ලියලා දැම්මා …
මට මතක විදියට පන්තිය තිබුණේ බ්රහස්පතින්දා … ඒ දවසට මම පන්ති පොත ඉස්කෝලේ ගෙනියලා ඒ පොත විතරක් පොත් බෑග් එකේ තියලා ඉස්කෝලේ පොත් ටික මේසේ උඩ තියා ගන්නවා…
ඔන්න ඔය අතරේ එක බ්රහස්පතින්දා දවසක් ඉස්කෝලේ මොකක් හරි නිසා අපිට හවස හිස් පීරියඩ් දෙකක් තිබුණා… කරන්න දේකුත් නැති කම්මැලි කමට මම මේසේ ඔලුව තියාන හිටියා .
අන්න එදා තමයි වැඩේ වුණේ….
මම එයාට අනූ කියන්නම්.අනූ පන්තියේ කොනක ඉදන් පන්තියේ ළමයින්ගේ පොත් බල බල පන්තිය වටේ කැරකි කැරකි ඉදලා ඔය අතරේ මගේ පොත් ටිකත් අදිනවා.මට ගාණක් වත් නෑ ඉතිං එකේ ඇති දෙයක් නෑනේ .මම ආයම ඔලුව තියා ගත්තා මේසේ.
ඒත් එක්ක අනූ මහ සද්දේ න් දෙයක් කිවුවා
” මම O/L වලට A9ක් ගන්නවා මයි 😂😂😂😂
කියලා මහ හයියෙන් හිනා වුණා…. එත් එක්කම මමත් ඔලුව උස්සලා බැලුවා මොකද වුණේ කියාලා. ඒත් එක්කම අනූගේ අතේ තියෙන්නේ මගේ පන්ති පොත කියලාත් ඒ වාක්ය ගිය මාසේ සර්ගේ කීමට මම කුරුටු ගාපු එක කියලත් වැඩි වෙලාවක් යන්න කලිං මට මතක් වුණා. පන්තියේ අනිත් ළමයිනුත් කට ඇරගෙන බලන් ඉන්නවා. අනූ ඒක කිවුවම හැමෝම අහනව කාගෙද කාගෙද ඒ පොත කියලා. එයා තව සද්දේ ට නොණ්ඩියට වගේ මගේ නම කියලා හිනා වුණා. ඔව් ඉතිං හිනා වෙන්නම වැඩේ තමයි හැමදාම පන්තියේ පළවෙනියා වෙන එයා මම වගේ ඔහේ ඉන්න කෙනෙක් එහෙම ලියාන ඉන්න එක හිනාවක් තමයි . එත් පන්තිය ඉස්සරහ එහෙම කියලා හිනා වුණහම මට මහ ලොකු දුකක් එක්ක ලැජ්ජාවක් දැනුණා.
ඒත් ඒ කිසි දෙයක් නොපෙන්නා මම කළින් වගේම හිනා වෙලා ආයෙම ඔලුව තියා ගත්තා. ජිවිතේ පළවෙනි වතාවට එදා ඒ වචන ආය ආය මට ඇහෙන්න ගත්තා. ඒ හිනාව ආය ආය මගේ හිත පෑරුවා ඒ ලැජ්ජාව මට වද දුන්නා.එදා ඉදන් පළවෙනි වාර විභාගයට තිබ්බේ තවත් දවස් 60 ගාණක් .ඒදා ඉදන් මම පාඩම් කරන්න පටන් ගත්තා
වෙනදා 6 වෙනකන් නිදා ගත්ත මම 4ට නැගිටලා පාඩම් කරන්න ගත්තා. 8ට නිදා ගත්ත මම 10 වෙනකන් නැගිටලා උනන්දුවෙන් වැඩ කරා. කොහොම කොහොම හරි පළවෙනි වාර විභාගෙන් 4 වෙනියා වුණා අනූ ඒත් 1.හැමෝටම පුදුමයි 16 ඉදන් 4ට ආව එක.ඊට පස්සේ අඩු ලකුණු විෂයන් බලලා ඒවට වැඩියෙන් අවදානේ දීලා වැඩ කරා.
කොහොම කොහොම හරි දෙවනි වාරේ පළවෙනියා වුණා එයා 2 වුණා. එදා ඉදන් ඒ විදියටම 11 වසර දෙවනි වාරය වෙනකම් ආය කවමදාවත් මම පළවෙනියා වෙන එක නැති වුන් නෑ.
ඔන්න වාරේ තමයි සාමාන්ය පෙළ විභාගයට පෙර අවසාන දෙමාපිය රැස්වීමත් තිබුණේ. ගුරුවරු විෂයන් අනුව වෙනම අසුන්ගෙන ඉදලා එක් එක ළමයගේ නම කතා කරලා දෙමාපියන් ළඟට ගෙන්නං දරුවා ගැන කියන්න පටන් ගත්තා.වෙනදා වගේම අපේ අම්මත් රැස්වීමට ආවා.10 වසරේ ඉදලා අපිට විද්යාව ගණිතය කරේ නන්දාවතී ටීච,ටීච මාව දැකපු ගමන් කිවුවා
“ඔයාට ඉන්නේ හොඳ දුවක් ආය කියන්න දෙයක් නෑ මෙයා ගැන කියලා “
ටීච ඒ වචන ටික ටිකක් සද්දෙන් කිවුවා වැඩී කියලත් මට හිතුණා. කොහොම හරි රැස්වීම හාමාර කරලා මායි අම්මයි පන්තියේන් එළියට ඇවිල්ලා වෙරළු ගහ යට ඉන්නකොට ඔන්න ඉතිං අනූයි අනූගේ අම්මයි පන්තියෙන් එළියට එනවා.. අනූගේ අම්මයි අපේ අම්මයි මේ ඉස්කොලේ ම ආදී ශිෂ්යයෝ වගේම අනුගේ අම්මා අපේ ලොකු අම්මගේ පන්තියේ ඉදපු නිසා අම්මත් එක්කත් හරි හොදයි. ඈතින් එන අනූගේ අම්මාට වෙනදා වගේම හිනා වෙලා කතා කරන්න හරිබරි ගැහුණත් හීයක් වගේ අපේ මුණ දැක දැකත් මූණවත් නොබලා අහක බලන් එදා යන්න ගියා
ගොඩක් අවස්ථාවල මට කලින් ගිහින් මගේ පේපර් වලත් ලකුණු එකතු කරේ අනූ . කොහොම වුණත් සාමාන්ය පෙළට අපි දෙන්නම A8ක් ගත්තා. මේ කතාව අද වෙනකන් පන්තියේ කිසිම කෙනෙක් නොදන්න කතාවක් . දැන් ඉතිං අඩයාලමේ ඉන්න මගේ ඉස්කෝලේ සගයෝ මේක දකී හැබැයි නොදැක්ක ගාණට ඉන්න ළමයි කෙනා අහන්නෙපෝ.එයාගේ ඒ හිනාවට පිං සිද්ද වෙන්න මං පටන් ගත්ත ගමන නිසා මම අද ඉන්න තැන ගැන මම එයාට ගොඩක් ස්තූති කරනවා. එදා එහෙම නොවෙන්න සමහරවිට මම අද මෙතන නැති වෙන්න ඉඩ තිබ්බා.
හැමදේම අවසානේ මම මගේ අම්මගෙන් ඇහුවේ එක දෙයයි (අවුරුදු 20 දී)
“ඇයි මට කවදාවත් වෙන අම්මලා වගේ ඉගෙන ගන්න බල කරලා වද දීලා තව අය ගැන කියලා බැන්නේ නැත්තේ? “
“මට විශ්වාසයක් තිබුණා මගේ දරුවා හොදට ඉගෙන ගනී කියලා ” ඔන්න ඕකයි මට දුන්න උත්තරේ.
මේකතාව කියන්න එක හේතුවක් අද සාමන්ය පෙළ ප්රතිඵල නිකුත් වීම, තමන්ගේ දරුවා මුලින් ඔබ විශ්වාස කරන්න. අදටත් මට විශ්වාසයක් නැති තැන මගේ අම්මා විශ්වාස කරනවා.නෑ ඔයා ඕක පාස් වෙනවා කියලා අම්මා මාව දිරිමත් කරනව. කවදාවත් තව දරුවෙක් එක්ක දරුවන් සසදලා බනින්න එපා!!!! අම්මා එහෙම නොකරපු එක ගැන මට අදටත් අම්මා ගැන පුදුමාකාර ගෞරවයක් තියෙන්නේ. ඔබේ දරුවටත් ඒ ශක්තිය අභිමානය දෙන්න.තවත් දරුවෙක්ගේ ප්රතිඵල සසදලා ඔබේ දරුවට දොස් කියන්න එපා.
ඊළග කාරණේ මිනිසුන් ඔබට බෑ කියලා හිනාවෙන දේ ඔබ ඔබේ ශක්තිය කර ගන්න.
උපුටා ගැනීම:  Lakshani Nimalka

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!