ජෙනීගෙ පූසා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මගේ මෙල්බර්න් ඉන්න යාලුවෙක් වෙන අමුතු චරිතයක් වූ මයිකල් ගැන කතා කලිනුත් ලිව්ව නේ. අර ඉනිමග විකුනපු, එතකොට බීලා ඉර්දියෙන් ගෙදර යන්න හිතපු එක්කෙනා.
මම මෙල්බර්න් ගියොත් මිනිහව අනිවාර්යයෙන්ම හමුවෙන්න යන්න අමතක නොකරන්නෙ, ගියොත් මිනිහට වෙච්ච අකරතැබ්බයක් ගැන අලුත් කතාවක් අහන්න පුලුවන් වෙන නිසයි. ඒ වගේම එයාට රහට උයන්නත් පුලුවන්. ඇත්තටම ලන්සි අයගෙ ගෙවල්වල කෑම හරිම රසයි. මම ඇත්තටම අදහස් කලේ කෑම එහෙම මිසක් වෙන දෙයක් නොවෙයි.
මම මෙල්බර්න් දාලා කැන්බරා ආවට පස්සෙ ෆ්ලැට් එකේ හිටපු අනික් යාලුවා බ්ලේසුත් බැඳලා ගිය නිසා මයිකල් ජීවත් වුනේ තනියම. මිනිහ ගේ හරිම පිලිවෙලට තියා ගන්න කෙනෙක්. මම ගේ ඇතුලට ගිය ගමන්ම තේරුනා අලුතෙන් ගෙදර බිත්ති නිල් පාටින් පාට කරලා, අලුතෙන් මැච් වෙන්න ජනෙල් රෙදිත් දාලා කියලා. මම ඉතින් ගෙදර ගැන පොඩි වර්නනාවක් කරා මිනිහගෙ හිත සතුටු කරන්න.
මම ග්ලෙන් ලිවෙට් ස්කොච් බෝතලයක් අරගෙන ගියේ, මයිකල් ඉතින් දඩ බඩ ගාලා ඩෙවල් පෝක් එකකුයි, ඕම්ලට් එකකුයි බයිට් එකට හදලා ගත්තා. අපි දෙන්න එයාගෙ ටවුන් හවුස් එකේ පොඩි වත්තෙ ඇපල් ගහක සෙවනේ වසන්තයේ තුරු වදුල හරහා හමා එන සිතල සුලඟ විඳිමන් අපි ස්කොච් එකේ රස බලමින් ඉන්න කොට, ගහක් අස්සෙ ඉඳලා නිල් පාට සතෙක් මයිකල්ගෙ වත්ත මැදින් පන කඩා ගෙන දුවලා වැටෙන් පැන්නා අල්ලපු වත්තට.
මම මයිකල්ට ඌව පෙන්නන්න හදන කොට ඌ ගිහිල්ලත් ඉවරයි.
‘ඒ මොකෙක්ද බං?’
‘මොකෙක්ද?’
‘අර නිල් පාට සතා’
‘නිල් පාට?’
‘ඔව් නිල් පාට’
‘උඹ දැන්මම ඩෝප් ද? කොහේද බං නිල් පාට සත්තු ඉන්නේ?’
මිනිහ එහෙම කිව්වම මටත් අවුල්. ඒත් මට ෂුවර් මම දැක්ක දේ. ඒත් ඉතින් ඕකට අපි මොකටද රන්ඩු වෙන්නෙ කියලා, අපි මාතෘකාව වෙනස් කරලා මයිකල්ගෙ අලුත්ම ගර්ල්ෆ්රෙන්ඩ් ගැන කතා කරන්න ගත්තා. එයාලා එකට කරපු දේවල්, නොකරපු දේවල්, කරන්න ගිහිල්ලා අප්සෙට් ගිය දේවල්, කරන්න හිතා ගෙන ඉන්න දේවල් රස කර කර කියනවා. මම ඉතින් ඕව ගැන නොදන්න මිනිහා නිසා ධ්යානයට සමවැදිලා ජීවිතේ අලුතෙන් ඉගෙන ගන්න තිබෙන දේවල් අහගෙන ඉන්නවා.
ඔහොම ඉන්න කොට මයිකල්ගෙ අසල්වැසියා ජෙනී කෑ ගසාමින් අඬමින් එයාගේ වත්තෙ එහාට මෙහාට දුවනවා. අපි බැලුවා මොකක්ද සීන් එක කියලා, අපේ කන් ඒ පැත්තට හරවලා.
‘කව්ද මගේ බේබිට මේ අපරාදේ කලේ’
කිය කියා කෑ ගහනවා. මයිකල් හරි හිත හොඳ එකා නිසා හිත වෙඬරු පිඩක් සේ උනු වී වැට අයිනට ගිහිල්ලා
‘ජෙනී, මොකද වෙලා තියෙන්නේ’ කියල ඇහුවම
‘කවුද #%යෙක් මගේ පූසව පාට කරල නේ නිල් පාටින්’ කියල ජෙනි කිව්වම මමත් වැඩ උඩින් බැලුවම, හරිනේ මම දැක්කේ ඒ නිල් පාට පූසා කියල තේරුනා.
ඒ පාර මයිකල් ටිකක් කලබල වෙලා
‘අයියෝ දුප්පත් පූසා, මොකාද මේ අපරාදේ කලේ’
කියලා අඬන ගමන් මගේ බඩ කෙනිච්චුවා. මම උගේ දිහා බැලුවම ඌ ඇහෙන් ඉඟියක් කරේ ඇයි කියල මට ඒ වෙලේ හිතා ගන්න බැරි වුනා.
‘අපි හොයමු මොකාද ඕක කලේ කියලා. වල් බල්ලෝ පූසෙකුටවත් ඉන්න දෙන්නෙ නැති මොලේ අමාරුකාරයෝ’ කියලා මයිකල් කෑ ගැහුවා අඩි පොලවෙ හප්පලා.
දැන් ජෙනීට අප්සෙට්
‘කාම් ඩව්න් මයිකල් (සන්සුන් වන්න මයිකල්). මම දන්නවා ඕක කරන්න ඇත්තේ අර කොනේ ගෙදර ඉන්න පොඩි කොල්ලෝ දෙන්න තමයි. මම උන්ව අල්ලගන්නම් කෝ. මම යනවා මගේ බේබිව සෝදන්න’
කියලා ජෙනී ගේ පූසත් අරගෙන ඇතුලට ගියාට පස්සේ මයිකල් ඉක්මනටම අර බෝතල් සහ බයිට් සේරම අරගෙන උගේ ගේ ඇතුලට ගියා. මමත් ඉතින් උගේ පස්සෙ ගියාට පස්සෙ ඌ කිව්වේ
‘මචං, මාර සීන් එක නේ. මෙම ගේ පේන්ට් කරලා ඉතිරි වුනු පේන්ට් බාල්දිය පිටින්ම ගිහිල්ලා ඩම්ප්ස්ටර් (කුනු බක්කිය) එකට වීසි කරා. මම හිතන්නේ පූසා කෑම හොයන්නද කොහේද ඒක ඇතුලේ ඉඳල වගේ. මගෙ ගෙදර බිත්තියේ පාට නේ බං දැන් ඒ පූසා. ඌ දකින්න ඇති මම කියලා ඒක විසි කලේ’
උගේ අර ලන්සි ඇක්සන්ට් එකයි දඟකාර හිනාවයි එක්ක.
ජෙනී කවදාවත් දැන ගත්තෙ නැතිලු මයිකල් තමයි ඒක කරේ කියලා. ඒත් පූසා නම් ඌ දැක්කොත් පන එපා කියල දුවනවලු. ඒකයි ඌ එදත් පන කඩා ගෙන මයිකල්ගෙ වත්ත හරහා දුවල තියෙන්නේ. මේ නෝටි අය ජෙනීගෙ පූසා කිව්වම වෙන දෙයක් ගැන හිතලා මේක කියෙව්ව නම් සොරි ඈ.
උපුටා ගැනීම: Devapriya Siriwardena

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!