ඇමරිකානු ජනගහනයෙන් 50.8% ක්, ලක්ෂ 750 කට අධික ජනකායක් 77 හැවිරිදි හැවිරිදි ජෝ බයිඩන්ට ඇමරිකාවේ නැවත ගොඩනැගීමේ කාර්යය භාර දුන්නා. අද ලිපියෙන් අපි ඔබට කියන්නේ, ජීවිතයේ අනේක විධ අහිමි වීම් සිත් තැවුල් හමුවේ වරක් සිය දිවි නසා ගන්නට පවා උත්සාහ කළ බයිඩන්, ජීවිතයේ පහලම අඩියේ සිට, ලොව බලවත්ම යැයි සැලකෙන රටේ ජනාධිපති ධූරය දක්වා ආ ගමන් මඟ ගැනයි.
සියල්ල හොඳින්
තරුණ ජෝ බයිඩන් ඔහුගේ වෘත්තිය ආරම්භ කළේ නීතීඥවරයෙකු විදිහටයි. චතුර ලෙස කතා කරන්න ඔහුට තිබුණු හැකියාවත්, ප්‍රසන්න පෙනුම සහ පෞරුෂයත් තරුණ බයිඩන් වැඩිකල් නොගිහින්ම දේශපාලනයට අවතීර්ණ කරවන්නට හේතු වුණා. 1966 දී ඒ වන විට නීලියා හන්ටර් නැමැති සුරූපී පාසැල් ගුරුවරියක් සමග විවාහ වන ඔහුට දාව පුත්‍රයින් දෙදෙනෙකුත්, දියණියකුත් උපත ලබනවා.
1972 වර්ෂයේ දී ඇමරිකාවේ එතෙක් සිටි ලාබාලතම සෙනෙට්වරයා ලෙස බයිඩන් තේරී පත් වුණා. ධනය, බලය, ආදරය සියල්ල සමග ඔහු, ජීවිතය අන් කවරදාකටත් වඩා සතුටින් ගත කරමින් සිටියා.
නරක කාලයක්
ඒ වාසනාව වැඩි කාලයක් ඔහු ඔහුත් එක්ක රැඳුණේ නැහැ. සෙනෙට් වරයෙක් ලෙස තේරී පත් වී මාසයක් වත් ගත වෙන්නට කලින්, ඔහුගේ ජීවිතයේ අවාසනාවන්තම සිදුවීම් වලින් එකකට මුහුණ දෙන්නට බයිඩන් ට සිදු වුණා.
ඩෙලවෙයාර් හි තමන්ගේ නිල කාර්යාලය බාර ගැනීමටස් අහ දිවුරුම් දීමට අදාල කටයුතු සූදානම් කරමින් ඉන්න අතරතුර සවස් භාගයේ කාර්‍යාලයට හදිසි දුරකථන ඇමතුමක් ලැබෙනවා. දුරකථනයට ප්‍රතිචාර දක්වමින් සිටි බයිඩන්ගේ සොහොයුරිය ගේ එක්වරම සුදුමැලි වී ගියා.
“නීලියා ට සුළු අනතුරක්”
ඇය කීවත්, ඊට වඩා විශාල යමක් සිදුවෙලා තියෙන බව ඔහුට ක්ෂණික ව වැටහුණා.
“ඇය මිය ගිහින් එහෙම නේද?”
බයිඩන් පෙරළා ප්‍රශ්න කළා.
නත්තල් උත්සවය සමරන්න අවශ්‍ය බඩු බාහිර ආදිය ගන්නට, සාප්පු සවාරියේ යමින් සිටි නීලියා සහ ඇගේ දරුවන් රැගත් ස්ටේශන් වැගන් රථය, අති විශාල ට්‍රක් රථයක හැපී අඩි 150 වඩා දුරට ඇදී ගොස් තිබුණා. සුන්බුන් අතරින් බේරා ගැනුණු සියලු දෙනා ක්ෂණික හැකි ඉක්මනින් රෝහල් කරා යොමු කෙරුණත්, තිස් හැවිරිදි නීලියාත්, 13 මසක් පමණක් වූ ඔවුන්ගේ එකම දියණිය ඇමී ත් දෙදෙනාම අනතුර සිදුවුණු ස්ථානයේම මිය ගොස් තිබුණා.
සිය දිවි හානි කර ගැනීමට උත්සාහයක්
සිදු වූ අනතුර බයිඩන් ගේ මානසික තත්ත්වය බින්දුවටම ඇද දැමුවේ, වරක් සිය දිවි හානි කර ගන්නටත් ඔහුව පොළඹවමිනුයි. ඒත්, හිස් කබලේ ආබාධයක් සහ පාදයක ආබාධයක් වී සිටි සිය පුතුන් ක්‍රමයෙන් සුව වෙද්දි, එවැනි තීරණය තමන් ගත්තොත් දරුවන් සදහටම මේ ලෝකයේ තනි වෙන බව හිතමින් ඔහු ධෛර්ය උපදවා ගත්තා. දරුවන් ප්‍රතිකාර ලබමින් සිටි රෝහල් කාමරයේ සිටම බයිඩන් සෙනේට් පදවිය සඳහා දිවුරුම් දුන්නා.
සුවපත් වීම
කාර්යාලයෙන් පිටත් වුණු බයිඩන් සෑම දිනකම පැය හතරක කාලයක් දුම්රියෙන් ගමන් කලේ රාත්‍රී නින්දට යන්න කලින් දරුවන්ට කියවන්න කතන්දර පොත් බලමිනුයි. ප්‍රියයන්ගේ වියෝව දරා ගැනීම ඔහුට ඒ තරම් ලේසි කටයුත්තක් වුණේ නැහැ. ඇතැම් වෙලාවට කිසිවෙක් තමන් සමග රණ්ඩුවට ඒවියි බලාපොරොත්තුවෙන් රාත්‍රියට පාළු මාර්ග වල තනිවම ඔහේ ඇවිද ගිය බව පසුකාලයක සඳහන් කර තිබුණා.
පවුලේ අයගේත් සමීප මිතුරන්ගේ අස්වැසීමෙන් ක්‍රමයෙන් බයිඩන් සුපුරුදු ජීවිතයට අවතීර්ණ වුණා.
දෙවැනි විවාහය
සෙනෙට් වරයෙකු ලෙස ඔහුගේ කාර්ය බහුල ජීවිතය මධ්‍යයේ දරුවන්ගේ වගකීම් තනිව දරන්නට බයිඩන් ට හැකියාවක් තිබුණෙ නැහැ. බයිඩන් ගේ වර්තමාන බිරිඳ ,’ජිල් ට්‍රේසි’ බයිඩන් ගේ පවුලට එකතු වන්නේ මේ කාලයේදියි. ඇය ඔහුගේ විශ්වවිද්‍යාලය සමයේ මිතුරියක්. 1977 දී ඔවුන් විවාහ වෙනවා. ජිල් සමග විවාහ ගිවිස ගන්නට මොහොතකට පෙර, බයිඩන් ඇගෙන් විමසනවා ඔහු නීලියාට ආදරය කළ තරම් ඇයට ආදරය කරන්නට නොහැකි වුණොත් කියා. “එක වරක් සැබෑවටම ආදරය කළ කෙනෙක්ට දෙවරක් එහෙම කරන්න බැරි නැහැ” ජිල් දුන් පිළිතුර තමන් නැවත “තමන්” ලෙස ජීවත් වන්නට ශක්තියක් වුණු බව බයිඩන් විශ්වාස කරනවා.
අවාසනාව නැවතත්
බයිඩන් උප ජනාධිපති ලෙස කටයුතු කරන සමයේ, නැවත වතාවක් බයිඩන් ගේ ජීවිතයට අවාසනාව හඹා එනවා. 2015 දී වැඩිමහල් පුත් ‘බෝඉ බයිඩන්’, මොලයේ හටගත් පිළිකාවක් හේතුවෙන් 46 හැවිරිදි ව මිය යනවා.
බයිඩන් ගේ දේශපාලනික ඉතිහාසය, අනාගතයේ ඔහුගේ දේශපාලනික මාර්ගය කුමක් වෙයි ද යන්න ගැන නිශ්චිත නැහැ. ඒ කොහොම නමුත් දෛවයෙන් ඔහුට උරුම වුණු පරාජයන්, අහිමි වීම් හමුවේ නැවත නැවතත් “ජීවිතයට” මුහුණ දෙන්නට ඔහු තුළ තිබුණු දෛවය කාටත් ආදර්ශයක් වනවාට නම් සැකයක් නැහැ.
මූලාශ්‍ර: https://www.express.co.uk/ , https://oaklandpostonline.com/ ,https://www.nbcnews.com/
…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………
තවත් මේ වගේ ලිපි කියවන්න A/L පන්තිය Facebook page එකට එකතු වෙන්න.