ජෝජෝගෙ පළමු තරගය..!! (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ජෝජෝ කියන්නෙ පුංචි බලු පැට්ටෙක් ය. රොට්වයලර් වර්ගයේ බව්වෙක් වන ජෝජෝට හරි ඉක්මනින් මළපනින අතර හිතුවක්කාර මුරණ්ඩුකම නහය උඩය. ඒත් ඒ සියල්ල එයාගෙ මමාගේ කටට යට ය. ගොර ගොර ගා රැව්වත්, වෑව් වෑව් ගා හපන්නට පැන්නත් ජෝජෝගෙ මමා නම් සැලෙන්නේ නැත. ජෝජෝට එවිට ලැජ්ජාය. මුරණ්ඩුවන සහ මළපනින සෑම අවස්ථාවක ම උස්සාගෙන ගිහින් කාමරේට දමා නිවාස අඩස්සියේ තබමින් ජෝජෝගෙ මමා ජෝජෝට දඬුවම් කරන්නීය.
අලුත් අවුරුදු දින උදාවත් ම පුංචි ජෝජෝ හැඩවැඩ වී ලස්සනට ඡායාරූපයකට පෙනී සිටියේ ලස්සන ම අවුරුදු බව් කුමාරයා වීමේ තරගයට පෙනී සිටින්නට ය. පුයර ඇගේ උලාන සුවඳ ගසමින් ලස්සනට ඉඳගෙන පොටෝවට මුහුණ දුන් ජෝජෝ හිතුවෙ “මම සුවඳයිත් නෙ.. හොඳ ළමයෙකුත්නෙ. නාද්දි දඟ කරන්නෙත් නෑනෙ.. ඉතිං මට තෑග්ගක් ලැබෙයි. මට ආදරේ කරන අය ඉන්නව කියල මමා කිව්වත්නෙ “
ඉතිං ජෝජෝ තරගයට ගියාට පස්සෙ ජෝජෝ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන තමන්ට ලැබෙන තෑග්ග ගැන සිහින මැව්වා ය. ඩෝග් බිස්කට් ලැබුණොත් චව් චව් ගගා කන හැටි සිහිනයෙන් දැක කට සෙලෙව්වේය. අලුත් ටෝයි එකක් ලැබී එයට පාපහරක් ගසන අයුරු සිහිනයෙන් දැක අත් කකුල් සෙලෙව්වේය. මේ සියල්ල ජෝජෝගෙ මමා ජනෙල් දොර අස්සෙන් හොරෙන් බලා සිනාසුනාය.
දිනක් ගතවිය. ජෝජෝගේ නැට්ට කසන්නට විය. ඉවසන්නට ම බැරිය. ජෝ බබා හැකි වෙර වීරිය යොදා එය හපන්නට වූයේ හීං කෙඳිරියක්ද පිටකරමිනි. ජෝජෝගෙ මමා දිවවිත් ජෝජෝ නතර කළ ද ඒ වනවිටත් ජෝජෝගෙ පුංචි තියුණු කිරිදත් වැදී එයින් ලේ ගලමින් තිබිණි. ජෝජෝට හරිම වේදනයි. ජෝජෝට කෑම කන්නට ද බැරි ය. ඉන්න හිටින්නට ද බැරිය. එය කසයි. ඇඳුම් කයි. ජෝජෝ හඬමින් එය හපයි. ජෝජෝගෙ වේදනාව ජෝජෝගෙ මමාට තදින් ම දැනුණි. අයියාට බැන අඬගහමින් ජෝජොව කුරුණෑගල එක්ක් ගියේ ජෝජෝගෙ වෛද්යවරය උත්තර නොදී මඟාරින බව පවසමිනි. මමාගෙ තුරුලට වෙලා ඉද්දි නම් ජෝජෝට අමාරුවක් නැත. ඔහු සතුටින් අලුත් දොස්තර මාමා බලන්නට ගියේය.
කතාව එතනින් නිමවූයේ නැත. බෙහෙත් විඳගනිමින් බෙල්ලට කොලරයක් දමාගෙන දුක සේ සිටි ජෝජෝ පොඩ්ඩක් හරි සතුටු උනේ අවුරුදු බව් කුමාරයා හරි වෙයිනෙ කියල හිතල. මමා කියල තියෙන්නෙ පොසිටිව් තින්කිං එකෙන් ඉන්න කියලනෙ.. මම දිනයි. මට තෑගි ගොඩක් ලැබෙයි. කවදාවත් තරගයකට නොගිහින් තිබුණ ජෝජෝට මේක අලුත් දෙයක්.
ඒත්,
ඒත් ජෝජෝට කවුරුත් කැමති නැතිය. ජෝජෝට ආදරේ මමා විතරක් ම බව තේරුනේ ජෝජෝ අන්ත අසරණ ලෙස පැරදුන බව ඇසීමත් සමඟය.
” සොරි පැට්ටො.. ලයික් නෑ .. ඔයාට දිනන්න බැරිවෙයි අනේ.. මම ඔයාට තෑගි ගෙනත් දෙන්නම් හොඳේ.. තව පැය කිහිපයකින් තරගය ඉවර වෙයි. මට සමාවෙන්න ඔයාගෙ පොටෝ දැම්මට. ” ජෝජෝගෙ මමාගෙ ඇහැ අඟ කඳුලක් දිදුලනු ජෝජෝට පෙනුනි.
” තව තරගෙ ඉවර නෑනෙ මමා.. පොසිටිව් ටින්කිං එකේ ඉමු. මම දිනුවොත් එහෙම “
පුංචි රෝසපාට දිව එළියට දාගෙන ජිල්බෝල ඇස් ලොකු කරන් හුරුබුහුටි පෙනුමක් ආරූඪ කරන් ජෝජෝ පවසද්දි ජෝජෝගෙ මමා බොරුවට හෝ ඔහු දිනපු බව පවසනවායි සිතුවාය..
උපුටා ගැනීම:  Hansi Ranasinghe

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!