ජූජක බමුණු කතා වස්තුව සහ පොට්ටනිය! (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
තොරණක වගේ. ජූජක හටනින්ම ලිවිල්ල පටං ගන්ඩ හිතුවා.
මගේ හිතයි අතයි හැමතිස්සෙම කොයි කොයි ගානවා මට වෙච්චි හදි කතාන්දර ටික ලියපාන් ලියපාන් කියලා. ඉතින් ඒ ගැන දන්න කියන මගේ මලයෙක් මාව උසිගැන්නුවා අඩයාලමට ලියන්න කියලා.
ඉතින් ඔන්න මං ඉස්කෝලෙ 3 පන්තියෙ. දහම් පාසලේ නම් 2 ශ්රේණියෙ.
ඉස්සෙල්ලා ප්රධාන චරිත ටික ගැන ටිකක් කියන්නම්කෝ…
ධනුක, සුප්පා සහ මම… තුන්දෙනාම එකම ගමේ. එකම ප්රාථමික ඉස්කෝලේ…
ධනුකයි මමයි මොන්ටිසෝරියෙ ඉඳන්ම 6 වසරට එනකල් එක පන්තියෙ. සුප්පා වෙන පන්තියක…
සුප්පයි මමයි එකම ස්කූල් වෑන් එකේ. ධනුක වෙන එකක…
තුන්දෙනාම එකම සිස්සත්ත අමතර පන්තියේ..
තුන්දෙනාම එකම දහම් පාසලේ එකම පන්තියේ…
ධනුක චබ්බයා හරිම අහිංසකයි. සුප්පා එහෙම නෑ කියනවා නෙමෙයි. ඒත් ඉතින් එයයි මායි අතර පොඩි පොඩි සීතල යුද්ධ තිබුණා. දහම් පාසලේ පළවෙනියා වෙන්න, රේස් දුවලා ගස් කොටලා එක වෙන්න, ස්කූල් වෑන් එකේ දොර අරින වහන “වෑන් මොනිටර්” වැඩේට.. හැබැයි අපිට අපි නැතුවත් බෑ. තරහ වෙනවා ගුටි ගහගන්නවා ආයෙත් යාලු වෙනවා…
කෝට්ටක් වගේ කෙට්ටු, කොල්ලො ඔක්කොටම වඩා රිටක් වගේ උස, වේගෙන් දුවන මාත් නිකන් කොල්ලෙක්ම තමයි. දහම් පාසලේ කොල්ලන්ට තලනවා. නිකං නෙමෙයි වේගෙන් හඹාගොස් තලන්නෙ. දවසක් දුවලා ගිහින් බලද්දි ළමා සාරියෙ මන්තෙයි යට සායයි විතරයි. උඩ රෙද්ද හොයන්න ධාවන පථයේ ආපස්සට යන්ඩ උනා.
ඔන්න ආවා දහම් පාසලේ තෑගි උස්සවේ. ඕකට අපේ පංතියෙන් ඉදිරිපත් කළේ ජාලිය ක්රිස්ණජිනා කතා පුවත. අර “සැට දහසක් රජුන් මැදේ ඉපිද සොඳේ අම්මා” කියන කවි පන්තිය නාට්යානුසාරයෙන් ඉතා ශෝකාකූලව ගායනා කරමින් යන්න තියෙන්නෙ. ධනුක ජාලිය මම ක්රිස්ණජිනා.
ක්රිස්ණජිනා රිට වාගෙ උසයි, ජාලිය බෝලේ වගේ හරහට උසයි. දැං ඉතින් මුන් දෙන්නව චූටි කුමාරයයි චූටි කුමාරියි වගේ පේන්න නම් ඊට වඩා ලොකු එකෙක් එපැයි ජූජක ධූරප්රාප්ත වෙන්න. අපේ පන්තියෙ ඇච්චො බැච්චො අරන් බැරි හන්දා ගත්තා ලොකු පන්තියක හිටපු උස ධනුකසිරි අයියව ජූජකයට.
ඔන්න දැන් ප්රැක්ටිස්. මුල් ටිකේ සිංදුව පුරුදු වෙන එක කළේ දෙමව්පියන් සංගීත ගුරුවරු වෙච්ච් ධනුකගෙ ගෙදර. ඒකට ගියේ ජාලියලි ක්රිස්නජිනයි විතරයි. ජූජකට කවි කියන්න නෑනෙ. එවුනාට අපි වැඩි හරියක් කළේ ගප්පි අල්ලන එක, පිදුරු ගොඩේ බල්ටි ගහන එක වගේ එව්වා.
අන්තිම දවස් කීපය විතරක් පන්සලේ ප්රැක්ටිස් කලා ජූජකයත් එක්කම. හැබැයි ඉතින් ජූජකට දෙබසක්වත් කවියක්වත් මොකුත් නෑ. අපි දෙන්නා විතරක් වැළපි වැළපි කවි කියනවා. ඉතින් ජූජකගෙ පාට් එක අඩුවීම ගැන ජූජක හෙන අවුල්.
එහෙම කියලා ජූජක තැන පස්ස ගැහුවද, නෑ පින්වතුනි.. වේස-නිරූපණය අධි තාත්විකව කරන්න තීරණය කළා. බුලත්තිට කාළා හුරු උනා. කොණ්ඩෙ වැව්වා. අපි දෙන්නගෙ අත් ගැටගහන්න සුවාභාවික වැල්පටවල් හොයන්න අකුල් ගතවෙච්චි ධනුකසිරියා තෑගි උස්සවේට කලින් නයා ගස්සගනී කියලා බයේ අපි හිටියෙ. දිග කෙවිටකුත් පොලිස් කරලා තියාගත්තෙ.
ජූජකගෙ පොට්ටනිය…
ඔක්කොටම වඩා මුල් තැනක් හම්බුනේ මේ පොට්ටනියට. හම්පඩ සරං කීපයක් හොයාගෙන ධනුකසිරියා ඒක මඩේ දානවා. වේලනවා. ඒකෙ දැලි අතුල්ලනවා. පස් ගොඩේ දානවා. ඒක ලෝගුව වගේ කරේ එල්ලන්ඩ සූදානං කරනවා. මළ කෝලමයි ඒක. පොට්ටනිය ඇතුළ පෙන්නනන දර්සනයක් පිටපතේ නැති උනත් ඒක ඇතුලට ටිං බෙලෙක්ක, පරණ තුවා කෑලි එහෙම ඔබනවා.
අන්තිම දවස් දෙක තුනේ අපි කවි කිය කියා ප්රැක්ටිස් කරන අතරේ ජූජක කළේ ඔය පොට්ටනිය ඉතා ගවුරවයෙන් පිළියෙල කරන එක. අපේ ඇඳුම් ගැනවත් කවුරුවත් එච්චරට හෙව්වෙ නැද්ද කොහෙද. අන්තිමේදි හැදුනා නියම පොට්ටනියක් ආයෙ ඇත්තම ජූජක බැමුණා දැක්කනම් ලෝබ හිතෙන තරමට. හැමෝම මේ පොට්ටනිය වර්ණනා කළා. ධනුකසිරි අයියා ඔය පොට්ටනිය ඇතුළෙ මැණිකක් තියෙන්නා වාගෙ ඕක කරපින්නගෙනම හිටියෙ හෙන උජාරුවෙන්. බිම තිබ්බෙම නෑ.
සෝ එක දවස ආවා. ප්රධාන සාලාව පිටිපස්සෙ දං ගේ ඇතුලෙ අපි ඔක්කොම දැන් ලෑස්තියි. අපේ ප්රදර්සන වාරෙට කලින් එහේ මෙහේ රස්තියාදු ගහලා කුතුහලේ නැති කරන්න එපා කියලා ජූජක අයියාගෙන් ලැබුන උපදේසෙ අපි අකුරටම පිළිපැද්දා. ධනුකසිරියා බුලත්තිට කාලා දත් මදින්නැතුව, දැලි මඩ ගාගෙන එහෙම ඇවිත් තිබ්බා. අනිත් අංග වලට හිටපු ඈයොත් මේකප් උලාගෙන දං ගේ ඇතුලට වෙලා හිටියා..
මේ අස්සෙ මට පේනවා දං ගේ කොට බිත්තිය එහා පැත්තෙන් හොරෙං හොරෙං කුරුමාණම් අල්ලන සූප්පුවා. එදා වෙච්ච දේකටද පරණ කෝන්තරේකටද මතක නෑ අපි එදා ජන්මාන්තර ඔරොප්පු වෙලා හිටියෙ. ඔන්න ටික ටික මේ පැත්තට කිට්ටු උන සූප්පුවා ජාලියයි ජූජකයි එක්ක කතාවට වැටුනා. මමත් ඉතිං අබ දැම්මොත් පුපුරපාන් කියලා එල්ලං හිටියා මූණ. හැබැයි ඉතිං ආඩම්බරේකුත් තිබ්බා ආබරණ එහෙම දාලා මොනා උනත් කුමාරිකාවක්නෙ මං. දැං මට ටික ටික ඇහෙනවා සුප්පා මට හෝ ගාලා ඇනුං පද කියනවා අර දෙන්නා අතින්. මාත් ඇරියෙ නෑ ඇනලා දැම්මා ඇනුං පදවලින්. ජාලිය ජූජක ඩබල මැද තියාගෙන දැන් ඔන්න මහා ඇනුංපදාවලියක් යනවා. මට දැන් පේනවා සුප්පගෙ මූණ රතු වෙලා කන් කෙලිං වෙලා ඒවයෙං දුං පිටවෙනවා.
ඊළඟ තත්පරේ දඩ බඩ ගාලා මහා ගුටි සංග්රාමයක් පටන් ගත්තා. ඊළගට වේදිකාගත වෙන්න හිටපු මම දැන් එක අතකින් සූප්පුවගෙ කොණ්ඩෙ අල්ලගෙන අනිත් අතින් ඌගෙ පිටට තලනවා. ඌ එක අතකින් මගෙ එක අතක් හූරණ ගමන් මගෙ මූණට තඩි බානවා. වෙනදා වගේ පුල් කැපෑසිටියෙන් මට හිතේ හැටියට ඇනගන්න බැරි උනා මගේ කුමාරිකා සූට් එකයි ආබරණයි නිසා. කකුල් උස්සලා පයිං ගහන්නත් බෑ රෙද්ද නිසා. මං ගුටි කෑවා ඇතිවෙන්න. වටේ පිටේ හිටපු ළමයි, ලොකු අයියලා අක්කලා, වැඩිහිටියෝ දෙතුන් දෙනෙකුත් මොකද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව අන්දුං කුන්දුං වෙලා බලා ඉන්නවා. ජාලියයි ජූජකයි මැද්දට පැනලා වලිය බේරන්ඩ හදනවා. උං දෙන්නටත් අපෙන් ගුටි වැදුනා පට පට ගාලා.
අන්තිමේදී ධනුකසිරි අයියට ගුටි දෙක වදිද්දී මතක් උනා ඌ මෙතන සීනියර් බව. “අහකට වෙයල්ලා දෙන්නම. මේකෙන් පස්සෙ තොපි දෙන්නා ඕනෙ දිහාක ගිහිං ගුටි ගහගනියවු” කියලා දෙන්නා දෙපැත්තට කළා. ජාලිය මාව බදාගත්තා. මම දැන් අත පය වනනවා. ධනුකසිරි අයියට කීකරු වෙලා “පස්සෙ බලාගමු” කියලා සුප්පා යන්න ගියා.
දැන් ඉතින් ජාලියයි ජූජකයි වට වෙලා කලබලෙන් මාව සූදානම් කරනවා. ඔටුන්නයි උඩට කරලා බැඳලා තිබ්බ කොණ්ඩ ගුලියයි බිම. කොණ්ඩෙ අටවන්න වෙලා මදි හින්දා ඔටුන්න විතරක් මදෑ. අතේ උඩ හරියට වෙන්න දාලා හිටපු රත්තරං පාට ගැජමැටික් දෙකෙන් එකක් බිම. ලැජ්ජා නැති මම ඒක පෙන්නලා ධනුකට කිව්වා “අන්න ඔයාගෙ මෙව්වා එකක් බිම” කියලා. “ඒක මගෙ නෙමෙයි. ඒක ඔයාගෙනෙ. දැන් මමයෑ මෙතන ගහ ගත්තෙ” අහිංසක ජාලිය කිව්වා. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. ඇත්ත නේන්නම්.
ජරමර අස්සෙ ඊළග මිනිත්තුවේ අපි වේදිකා ගත උනා. ගුටි කාලා මූණත් රතුවෙලා. කේන්තියට කඳුලුත් පැනලා. හරිම සංවේදී දසුනක් අනේ. බලන අයගෙ හර්දය කම්පා වෙලා කඳුලු කැට සට සට ගාලා විසිවෙන්න කවි පංතිය කිව්වා. ජූජකත් නියමෙට කොර ගගහා පාට් එක කළා. මහා අත්පොලසන් නාදයක් මැද අතිසාර්ථක දර්සනේකින් පස්සෙ වේදිකාවෙන් බැස්සා.
තිරේ පිටිපස්සෙ පඩිපෙලෙන් බහිනකොටම ජූජක අයියා ඔළුවෙ අත ගහ ගත්තා. “අප්පටසිරි පොට්ටනිය” කියලා කටිං පිටවුනා. ගුටිකෙළිය බේරන්ඩ හින්දා ජූජක පොට්ටනිය ගළවලා පැත්තකින් තියලා. කලබලේට ඒකත් අමතක වෙලා තමයි රඟපාන්න ගොහිං තියෙන්නෙ. අහෝ පොට්ටනිය..
“මේකිගෙ නාඩගම හින්දා තමයි ඔක්කොම, අපරාදෙ මගෙ මහන්සිය… £ ¥`´¿ ¢°}¡……”
ක්රිස්නජිනා වන අහිංසක මම පැත්ත පළාතේවත් ඉන්නැතුව දුවලා ගියා…
(සත්ය සිදුවීමකි)

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!