1930 ගණන් වලදී සෝවියට් සමූහාණ්ඩුවේ ආඥාදායක ජෝශප් ස්ටාලින් විරුද්ධවාදීන් සහ සිරකරුවන් දහස් ගණනක් නිසරු හුදෙකලා ස්ථානයකට පිටුවහල් කරන ලද අතර එය “මිනීමස් කන්නන්ගේ දූපත” (Cannibal Island)ලෙස හැදින්විය.එය “නසිනෝ” දූපත ලෙසද හැඳින්විය.
නසිනෝ දූපත යනු සයිබීරියාවේ ගඟක් මැද පිහිටි හුදකලා භූමියකි. නසිනෝ දූපත ඔබට ලගා වීමට අපහසු තරම් දුරකින්, එනම් මනුෂ්ය ශිෂ්ඨාචාරයට බොහෝ දුරස්ව පිහිටා ඇත. කොටින්ම සංචාරකයන් පවා එහි යන්නේ බොහෝ අඩුවෙනි. නමුත් නසිනෝට වචනයෙන් කීමට අපහසු අඳුරු අතීතයක් තිබේ. එය දිවයිනේ නිල නොවන නම වන “මිනීමස් කන්නන්ගේ දූපත” යන නම් ඈඳීමට හේතුවූ අතීත සිදුවීම් දාමයයි.
නසිනෝ දූපතට එම බිහිසුණු අතීතය ඇති වූ ආකාරය පිළිබඳ කතාව ආරම්භ වන්නේ 1930 ගණන්වල කුප්රකට ආඥාදායක ජෝසප් ස්ටාලින් සමඟ ය. එම වසරේදී සෝවියට් සමූහාණ්ඩුව කුරිරු ආකාරයෙන් තම විරුද්ධවාදීන් විනාශ කිරීමේ කර්තව්යයේ යෙදී සිටි අතර ස්ටාලින් තම පාලන තන්ත්රයට තර්ජනයක් ලෙස දුටු ඕනෑම කෙනෙකුව නිර්දය ලෙස තුරන් කළේය.
බොහෝ විට එයින් අදහස් කළේ හමුදාවේ හෝ කොමියුනිස්ට් පක්ෂයේමදේශපාලන විරුද්ධවාදීන්ය. එහෙත් ස්ටාලින්ට අවශ්ය වූයේ තමා ගොඩනඟා ගැනීමට අවශ්ය සමාජ ක්රමයට අභියෝග කළ හැකි ඕනෑම අයෙකු තුරන් කිරීමයි. ඉතින්, ස්ටාලින් තමාට තර්ජනයක් ලෙස සැලකූ පුද්ගලයන් තුරන් කිරීමට ක්රමයක් සෙවීමට පටන් ගත්තේය.
ඔහු ඒ සඳහා කල්පනා වූ විකල්පය වූයේ සයිබීරියාවේ නිසරු ප්රදේශයක් වන “ටයිගා” වෙත සමූහ වශයෙන් පිටුවහල් කිරීමයි. මනුෂ්ය ශිෂ්ඨාචාරයේ සිට සැතපුම් දහස් ගණනක් දුරස්ව තැබීමෙන් මෙම දේශපාලන විරුද්ධවාදීන්ට ස්ටාලින්ගේ පාලන තන්ත්රයට තර්ජනයක් වීමට ඇති ඉඩකඩ අඩු බව ඔහු එහිදී විශ්වාස කලේය. තවද ඔවුන් එහිදී උපරිම උත්සහ කරනු ඇත්තේ තම දිවි ගලවා ගැනීම පමණක්ම වන බවට ඔහු කල්පනා කලේය.
පොලීසිය විසින් ඔවුන්ව නවත්වන විට ඔවුන්ගේ හැඳුනුම්පත් ඔවුන් ළඟ තබා ගැනීමට අපොහොසත් වීම වැනි සුළු වැරදි සඳහා මිලියන ගණනක් දෙනා අවසානයේ සයිබීරියාවට පිටුවහල් කරනු ලැබීය.
1933 මැයි මාසයේදී එම පිටුවහල් කරන්නන් 5,000 ක් අවසානයේදී නසිනෝ දූපතේ වෙරළේදී මුහුණට මුහුණ මුන ගැසුනි.මෙසේ පිටුවහල් කරන්නන් විශාල ප්රමාණයක් හැසිරවීමට අවශ්ය සම්පත් හෝ පළපුරුද්ද ප්රාදේශීය පාලන ආයතන සතුව නොතිබූ අතර මෙම පිටුවහල් කරන ලද අය දිවයිනට ගෙන එන අතරමගදී 27 දෙනෙක් මිය ගියහ.
දිවයින ශ්රම කඳවුරක් විය යුතු යැයි තීරණය කල අතර දිවයින අවට වනාන්තර එළි පෙහෙලි කර ගොවිබිම් ඇති කිරීමට මෙම පිටුවහල් කරන්නන් උදව් කර ගැනීම තුළින් ඔවුන්ව මෙහි රඳවා තබා ගැනීම පහසු බව පාලන තන්ත්රයට පැහැදිලි විය. කෙසේ වෙතත්, කම්කරු කඳවුර භාරව සිටින බලධාරීන්ට කිසිදු මෙවලමක් නිකුත් කර නොතිබූ අතර එයින් අදහස් කළේ ඔවුන් විසින් මෙම සිරකරුවන්ට කුමක් කළ යුතු දැයි සොයා ගන්නා තෙක් දිවයිනේ සිරකරුවන් අනිවාර්යයෙන් මෙම දිවයිනේ රඳවා ගත යුතු බවය.
මුළු දිවයිනම කිසිඳු ජනාවාස නොතිබූ වගුරු බිමක් විය. මෙයින් අදහස් කළේ මේ සිරකරුවන් 5,000 ක් අඩි 1800 ක් පළල හා සැතපුම් දෙකකට වඩා අඩු දිගකින් යුත් දූපතේ රඳවා ඇති බවයි. මෙම තත්වය වඩාත් නරක අතට හැරෙන්නේ මැයි 27 වන දින තවත් සිරකරුවන් 1200 ක් දිවයිනට ගෙන ඒමත් සමඟය.
නයිසිනෝ දූපතේ කෑමට කිසිවක් නොතිබූ නිසා බලධාරීන් පිටි ප්රවාහනය කිරීමට පටන් ගත්හ. එහෙත්, ඔවුන් පිටි ගෙන ඒමට උත්සාහ කළ පළමු උදෑසන, කුසගින්නෙන් සිටි සිරකරුවන් පිටි රැගෙන එන සොල්දාදුවන්ට පහර දුන් අතර, ඔවුන් සමූහයට වෙඩි තැබීමට පටන් ගත්හ. ඊළඟ දවසේ, ක්රියාවලිය නැවත නැවතත් සිදු වූ අතර, ගං ඉවුරෙන් පිටි එකතු කිරීම සඳහා සිරකරුවන් අතරින් තෝරා ගන්නා ලද කණ්ඩායම් නායකයන් රැගෙන යාමට බලධාරීන් තීරණය කළහ.
නමුත් මෙම තෝරා ගන්නා ලද නායකයන් බොහෝ විට සුලු අපරාධකරුවන්වූ අතර ඔවුන් රැගෙන එන ආහාර ගබඩා කර ඒ සඳහා මුදල් ගෙවන ලෙස ඉල්ලා සිටියහ. පාන් සෑදීමට උඳුන් නොමැති නිසා, පිටිවලට අත තැබිය හැකි සිරකරුවන් එය ගංගා ජලය සමඟ මිශ්ර කර අමුවෙන් ආහාරයට ගත් අතර එයින් ඔවුනට “අතීසාරය” ඇති කිරීමට හේතු විය. සති කිහිපයක් ඇතුළත මිනිසුන් රංචු පිටින් මිය යෑමට පටන් ගත්හ.
දූපත ඉක්මනින් අවුල් ජාලයක් බවට පත්වීමට පටන් ගත්හ. සුළු ආහාර සංචිතයක් ගබඩා සතුවීම හා දුර්වලයන් ආරක්ෂා කිරීමට නීතියක් නොමැති නිසා සිරකරුවන් එකිනෙකා ඝාතනය කිරීමට පටන් ගත්හ. බොහෝ දෙනෙක් දැඩි කුසගින්න නිසා ඝාතනය කරන අයවලුන් ආහාරය ගැනීමට පවා පෙළඹිනි.නසිනෝ දූපතේ මෙම භයානක සිදුවීම ඇසින් දුටු සාක්ෂිකරුවෙකු විසින් වාර්තා කරන ලද පරිදි මෙසේය:
“දූපතේ ආරක්ෂකයෙකු ලෙස “කොස්ටියා වෙනිකොව්” නම් තරුණයෙක් සිටියේය. ඔහු එතැනට එවා තිබූ ලස්සන ගැහැණු ළමයෙකු සමඟ ආශ්රය කරමින් සිටියේය. ඔහු ඇයව ආරක්ෂා කළා. දිනක් ඔහුට ටික වේලාවක් පිටතට යාමට සිදුවිය. අවාසනාවකට එතනට පැමිණි මේ තිරිසන් මිනිස්සු මේ ගැහැණු ළමයා අල්ලා, ඇයව පොප්ලර් ගසකට බැඳ, ඇගේ පියයුරු කපා, මාංශ පේශි, ඔවුන්ට කන්න පුළුවන් සියල්ල, සියල්ලම…. ඔවුන් දැඩි බඩගින්නේ සිටියේ, ඔවුන් මොනවා හෝ එබැවින් කෑමට ගතයුතු වුනා. කොස්ටියා නැවත පැමිණෙන විට ඇය ජීවතුන් අතර සිටියාය. ඔහු ඇයව බේරා ගැනීමට උත්සාහ කළ නමුත් ඇයට අධික ලෙස රුධිරය අහිමි වී තිබුණ බැවින් ඇය මිය ගියා.”
බලාපොරොත්තු සුන්වූ පිටුවහල් කරන්නන් මෙම “උමතු ක්රියාවෙන්”බේරීම සඳහා ගොරෝසු පාරු තැනීමට පටන් ගත්හ. නමුත් මෙම පරාල දියට බට වහාම ගිලී යෑමට පටන් ගත්හ. පාරු වල සිටි අය දියේ ගිලී මිය ගිය අතර මළ සිරුරු සිය ගණනක් නසිනෝ වෙරළට ගසා ගෙන ඒමට පටන් ගත්හ. ගඟට ඉහළින් පිහිටි වනයට පැන ගැනීමට සමත්වූ ඕනෑම අයෙකු සයිබීරියාවේ කිසිඳු සමාවක් නැති බියකරු වනයේ මිය ගියේය. නැතහොත් මුරකරුවන් විසින් ක්රීඩාවට දඩයම් කරනු ලැබීය.
අවසානයේදී නසිනෝ දූපතට යවන ලද 6,000 දෙනාගෙන් ජුනිදක්වා දිවි ගලවා ගත්තේ 2,000 ක් පමණි. එම මාසයේ දී දිවි ගලවා ගත් අය අසල පිහිටි කම්කරු කඳවුරකට යවන ලද අතර එහිදී තවත් බොහෝ දෙනෙක් දරාගැනීමට අපහසු තත්වයන් යටතේ මිය ගියහ.මෙම පුද්ගලයන් ස්ටාලින්ගේ විරුද්ධවාදීන් මර්ධනය කිරීමේ ක්රියාවලිය අතරතුර මියගිය අති විශාල සංඛ්යාවෙන් ඉතා සුළු කොටසක් පමණි. “මිනීමස් බුදින්නන්ගේ දූපත”හි සිටි අයගේ මෙම අති භයංකාර අත්දැකීම් ඒකාධිපතිත්වයේ අන්තරායන් පිළිබඳ බිහිසුණු මතකයන් ලොවට එක් කරයි.
මෙම දූපතේ යටගියාව පිළිබඳව වාර්තා වැඩසටහනක් L’île aux Cannibales “Cannibal Island” (2009) නමින් නිකුතු විය.
(අන්තර්ජාලය ඇසුරිනි) යුඩි

උපුටා ගැනීම: රාම් වණා