ලැබූ නව වසරේ සිනාසී ලේ පිරිසිදු කරගෙන වැඩපල ඇරඹීමේ අරමුණින් ලියමි.
ඕං අපේ අසල්වැසි ගෙදරක ඉන්නව අවුරුදු හතක අක්ක බබෙක් සහ අවුරුදු පහක මල්ලි බබෙක්. කොයි වෙලාවෙ බැලුවත් “සීයේ! අාච්චියෝ!” කියාගෙන අපේ ගෙදරම තමයි . නැන්දලා දෙන්නා (මායි නංගියි )වැඩි හරියක් ගෙදර නැති නිසා ආච්චිගෙයි සීයගෙයි පාලු කපන්නෙ මේ දෙන්න තමයි .
මල්ලි බබා තේ බොන්න රැසියා. සාමාන්‍යයෙන් හවස් වරැවක ආවොත් ටිකක් වෙලා ගියාම “ආච්චි, දැන් නම් තිබහයි, ආච්චි , අපි තේ බොන්න ආවෙ, ආච්චි , තේ බොමුකො….” අනිවාර්යයෙන් කියනව. ඉන් පස්සෙ බිස්කට් හොයනව. සමහර වෙලාවට සීතකරණෙත් ඇරල බලනව.
ඉතින් එහෙම තේ බොනකොට අපි නිකමට කියනව “හැමදාම අපි ඔයාලට තේ දෙනවනෙ , හෙට අපි එන්නද ඔයාලගෙ ගෙදර තේ බොන්න ?” කියල . අක්ක බබා නම් “හා, හෙට එන්න ” කියල කියනව. ඒ වෙලාවට මල්ලි බබා කියන කතන්දර අහන්න වටිනවා .
“එපා එපා, අපි හෙට ආච්චි බලන්න බලංගොඩ යනව”
“අපේ ගෙදර තේකොළ ඉවරයි “
“අපෙ අම්මට මහන්සී කිව්ව “
“මං තේ හදන්න දන්නෙ නෑ “
ඔක්කොටම වඩා ලස්සන කතාව කිව්වෙ එහෙ පැණිරස බිස්කට් තියෙනවා නම් අපිත් එන්නද?” කියල ඇහුවම .
බර හුස්මක් හෙළල , ඔලුවට අත් දෙකම තියාගෙන රවලා ඇහුව “අපේ ගෙදර තියෙන බිස්කට් ! එහෙම අනුන්ගෙ ගෙවල්වල ගිහින් අනුන්ගෙ කෑම ජාති කනවද? උගන්නල නැද්ද එහෙම කරන්නෙ නෑ කියල ?”
ඉතින් එහෙම ළමයි දෙන්න ජනවාරි පලවෙනිද හවස් අතේ මෙහෙ අැවිල්ලා. එවෙලෙ ගෙදර හිටියේ නැත්තෙ මං විතරයි . ඉතින් ඇවිත් සෑහෙන වෙලාවක් තිස්සෙ දෙන්න එක්ක කියනවලු “අනේ ආච්චියො, අපේ ගෙදර යමු තේ බොන්න , අද අපේ ගෙදර පාටියක්!” කියල . දෙන්නගෙ හැටි දන්න හන්ද කට්ටිය මුලින්ම හිතල තියෙන්නෙ මේක විහිලුවක් කියල . ඒත් නොනවත්වා පැයකටත් වඩා යමු යමු කියල පෙරැත්ත කළ නිසා අන්තිමට සීයයි චූටි නැන්දයි දෙන්න මේ දෙන්න එක්ක එහෙ ගිහින්. ඉතින් එයාලගෙ අම්මා කේක් එක්ක කාටත් තේ පැන් සංග්‍රහයක් කරල තිබුණ.
එන්න ලෑස්ති වෙද්දී මල්ලි කියනවලු “හරිනෙ, අපි කෑවනෙ කේක් !” කියල . සංග්‍රහයට ආව අමුත්තන්ට නම් මේකෙ අගක් මුලක් හිතාගන්න බැරි වුණාලු. අන්තිමට බබාලගෙ අම්මා තමයි තේරුම් අරන් තියෙන්නෙ .
බබාලගෙ තාත්තා කලින් දවසෙ හවස කේක් ගෙනාව වෙලාවෙ ඉඳලම මේ දෙන්නගෙ කරදරේලු “කේක් කපමු!, කේක් කමු! ” කියල . ඉතින් අන්තිමට අම්මා කිව්වලු ” අනේ පුතේ , මේක දැම්ම කපන්න බෑ ! හෙට පලවෙනිදා නිසා හෙට ගෙදරට කවුරැහරි අමුත්තො එයිනෙ. එයාලට තේ දෙන්න තමයි තාත්ත මේක ගෙනිවෙ. අමුත්තො ආවම මේක කපමුකො!” කියල ….
අන්තිමට බලාගෙන ගියාම මේ දෙන්න තකහනියෙ ඇවිත් ගෙදරට අමුත්තන්ව වඩම්මවල තේ දෙන්න ලෑස්ති වෙලා තියෙන්නෙ එයාලට කේක් කන්න ඕන හන්දා …..!
කොහොමද ටිකිරි මොලේ!
උපුටා ගැනීම: D.T. Gunawardhana