අම්මයි අප්පච්චී දෙන්නම රස්සාවට යන නිසා , අපි සතියේ දවස්වල ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවම අපිව බලාගත්තේ අපේ නැන්දම්මා . දැන් බලන්න එපා අපේ මනුස්සයාගේ අම්මත් එක්ක මම ඒ දවස්වල ඉදලා සම්බන්ධකම් පැවැත්වුවද කියලා . නැන්දම්මා කියලා අපි කියන්නේ අපේ අප්පච්චිගේ නංගිට .ඕක පැහැදිලි කරන්න ගිහාම මගේ කටේ පොට යනවා .
ඒ දවස්වල අම්මයි අප්පච්චී ඔෆිස් ඉවර වෙලා එද්දී හවස හය හමාර වගේ වෙනවා . ඉතීන් ඒ හවස ගෙදර ඕනිකරන බඩු ගන්න බැරි නිසා අපේ නැන්දම්මට උදේම ගෙදරට ඕනි බඩු ලිස්ට් එකයි සල්ලී දීලා යන්නේ . අපේ නැන්දම්මා ඉතිං අපි ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා , කාලා බීලා , ටීවී බලලා , සෙල්ලම් කරලා ඉවර වෙනකම් ඉන්නවා කඩේ යන්න . ඒ වැඩේට අහුවෙන්නෙත් මම . මගේ ලොකු සහෝදරයා හාමු මහත්තයා වගේ සැපට ඉදගන ගෙදර ඉන්නවා .
ඒ දවස්වල කඩේ යනවා කියන්නේ පුහ්හ් …. හොද ඇදුමක් ඇදලා , කොන්ඩේ පිරගන , මුණ සෝදාගන වෙනම ලකලෑස්ති වෙලා තමයි කඩේ යන්නේ . හේතුවනම් මම දන්නේ නෑ ඉතිං . එත් අපි එහෙම ගියා .
ඒ දවස්වල මට තිබුණා ජම්බු ගවුම කියලා ගවුමක් . සුදු ගවුමේ රතු පාට ජම්බු ගෙඩි දෙකක් අතින් මහලා තිබුනු ගවුමක් . ගවුමක් කිව්වොත් වැරදි ඇත්තටම කිව්වොත් ඒ වර්ගෙන් ගවුම් දෙකක් හරි තුනක් හරි තිබුණා . මම කඩේ යන්නේ ඔය ජම්බු ගවුම් සැට් එකෙන් එකක් ඇඳගන .
ඒ කාලේ අපේ නැන්දම්මටත් ඒ හැටි වයසක් නෑ . තරුණයි . ලස්සනයි .අර දැන් කාලේ ප්රසිද්ධ කළුම කළු පාට මැගී නුඩ්ලස් කොණ්ඩයක් තමයි අපේ නැන්දම්මට තිබ්බේ . එයාගේ ඇස් දෙකත් දුඹුරු පාටයි . හැමෝටම තියන දුඹුරු පාට නෙවෙයි ඒ , අමුතු දුඹුරු පාටක් . හමේ පාට දිලිසෙන දුඹුරු පාටක් .අපි ආසයි නැන්දම්මාගේ කොන්ඩෙට මෝස්‌තර දාන්න . කෝටු ගහලා , මල් ගහලා මනමාලියක් කරන්න . ඉතිං ඒකාලේ එයා අපෙන් කොන්ඩේ බේරා ගන්න සෑහෙන වීරියක් ගත්තා . එයා කඩේ යද්දී ඇන්දේ නිල් පාට ගවුම් විතරමයි . හේතුවක් මම අදටත් දන්නේ නෑ . එත් ඉතිං අපි කඩේ ගියේ එහෙම .
පොල්තෙල් බෝතල් . භූමී තෙල් බෝතල් , ලොකු රෙදි මල්ලක් අරගන තමයි අපි දෙන්නා කඩේ යන්නේ . කඩේට යන්නනම් කිලෝමීටරයක් වගේ පයින් යන්න ඕනි .
ඔහොම කඩේ යද්දී මුලින්ම අපිට මුණ ගැහෙනවා ලොකු අයියා කෙනෙක් . එයා ඒ දවස්වල ඒ ලෙවල් විභාගේ කරන වයසේ විතර ඇති . හැබැයි හැමවෙලේම කරේ බෝක්කුවක් උඩ වාඩි වෙලා තනියම හිනා වේවි පාවී පාවී හිටපු එක .මම ඒ අයියට කැමති නෑ . එයා කරන්නේ එකම දේයයි
” අහ්හ් ….. නංගි …… කඩේ යනවද ?” කියලා මගේ නහයෙන් මිරිකනවා . මට තරහත් යනවා . කොහේදෝ යන මනුස්සයෙක් නහයෙන් අදිද්දී දැනෙන හැගීම . නැන්දම්මත් එතකොට තරුණ නිසා අපි වැඩි කතාවක් නැතිව ” ඔව් …” කියලා හිනාවෙලා එතැනින් කොහොම හරි යනවා .
ඊට පස්සේ මීටර් දෙසීයක් , තුන්සීයක් ගියපු තැන ගෙදරක ඉන්නවා සීයා කෙනෙක් . එයාට ගමේ හැමෝම කිව්වේ පප්පා කියලා . අතේ ලොකු ටැටූ එකක් තිබුණා කොටියෙක්ගේද , සිංහයෙක්ගේද කොහෙද . ඒ පප්පා පොලිසියේ වැඩ කරපු කෙක්කක් වගේ උස කෙට්ටු සුදු කෙනෙක් .මම හැමදාම පප්පලා ගෙදර ලගින් යද්දී ඉක්මනින් දුවන්න වග බලාගන තිබ්බේ . කඩේ යද්දී විතරක් නෙවේ ඕනිම වෙලාවක එතැනින් පණ එපා කියලා දුවනවා .
මොකද ඒ පප්පත් මාව දැක්කහම
” අනේ ……. චුටී මැණිකේ ……” කියලා උණ ගහක් හුළගට නැමෙනවා වගේ නැමිලා එයාට වඩා ගොඩක් කොට මගේ දිහා බලලා මගේ නහය මිරිකනවා .
අපේ ගමේ ඊළගට මං අකමැතිම චරිතේ උනේ ඒ කියන පප්පා . එයා මගේ නහය මිරිකන්නේ ආදරේට , නැත්නම් මාව හුරතල් කරන්න කියලා කියන්න මම දන්නේ නෑ . එත් ඇගේ තියන මුළු ශක්තියම දාලා මගේ නහය මිරිකලා අදිද්දී මට ගොඩක් රිදුනා . මං හිතන්නෙත් නැන්දම්මටත් ඒක තේරිලා තිබුනේ . එයා ඒ පප්පගේ ගෙදර ලගින් යද්දී හොරෙන් බලනවා පප්පා ඉන්නවද කියලා . ඊට පස්සෙ අපි දෙන්නා එතැනින් පණ එපා කියලා දුවනවා .
ඔය සියළු බාධක ජයගන කඩේ ගියා කියමුකෝ …
ඊලග මං අකමැතිම චරිතේ උනේ කඩේ මුදලාලි . දුරින් නෑකමකුත් තිබ්බ මුදලාලිට අපි කිව්වේ කළු මාමා කියලා . කළු මාමත් මාව දැක්ක හැටියේම කරන්නේ කඩේ කොච්චර සෙනග හිටියත් ඔළුව අතගාලා උදේ ඉදං කාපු බත් පිගන්වලින් ගත්ත සියළුම ශක්තිය දාලා මගේ නහය මිරිකලා අදින එක . නහය ඇදලා එයා කියනවා හැමදාම ” අප්පෝ …… හොටුත් ගෑවුනා ” කියලා . ඊට පස්සේ එයා මට චොක්ලට් එකක් , ටිපි ටිප් එකක් දෙන්න අමතක කරන්නෙත් නෑ . එත් මම එයාට කැමති නෑ .
මම කඩේ ගිහාම බලාගන ඉන්නේ කොයි වේලාවේද ගෙදර එන්නේ කියලා . ඔය සියළු කාරණාවලින් බේරිලා කඩේ ගියත් කඩේ මුදලාලිගෙන් මගේ නහයට බේරුමක් තිබුනේ නෑ . ඊටත් හපන් කඩෙන් බඩු අරගන කඩේ නවතින්නයෑ . ආයෙත් ඒ පාරෙන්ම ඒ බාධක වලින් පැනගන ගෙදර එන්නත් එපැයි .
මගේ වාසනාවට , නැත්නම් දෙයියෝ මගේ මුණ බලලද මන්දා අර මං කියපු පප්පා අකාලයේ මිය ඇදුනා . මට ඒ මනුස්සයා කොච්චර එපා වෙලාද හිටියේ කිව්වොත් පප්පා මැරුණම සතුටු උන එකම කෙනා මම වෙන්න ඇති . සමහර විට අපේ නැන්දම්මත් සතුටු වෙන්න ඇති . එත් එයා ඒක පෙන්නන්න නැතිව ඇති .
ඊට ටික දවසකට පස්සේ මගේ සතුට වර්ගකරලා , පිළිතුර දහයෙන් ගුණ කරලම කඩේ මුදලාලිත් හාර්ට් ඇටැක් එකක් ඇවිත් හුචස් ගාලා වල පල්ලට ගියා .
අම්මේ …… මට දැනුන සතුට . මම මාගේ නහය බේරාගන්න ගන්න පුළුවන්වුන එක ගැන හිතලා අවංකවම සතුටු උනා . ඒක නරකයි කියලා මට තේරුනේ නෑ ඒ කාලේ . මට තිබුණු එකම සතුට මගේ නහයට වද දෙන මිනිස්සු ආයේ නෑ කියන එක .
මිනිස්සු ඇයි දරුවෝ හුරතල් කරන්න මිරීකනේ , අදින්නේ , කොනිත්තන්නේ , තරහාගස්සන්නේ ? පුන්චිකාලේ ඉදලා මට තිබුණු ප්රශ්ණයක් . මගේ නහයේ හැඩය ටිකක් වෙනස් වෙන්න ඇති , දිගත් ඇති , එත් ඉතිං එහෙම කියලා නහය මිරිකලා , රිදෙන්නම අඹරවන්න ඕනි නෑනේ . මිනිස්සුන්ගේ මල විකාර .
කොහොම නමු පොඩි දරුවෝ හුරතල් කරන්න යද්දී අර පප්පා , කළු මාමා කරා වගේ ගොං ක්රම පාවිච්චි කරන්න එපා . දරුවෝ දන්නේ නෑ එයාලා හුරතල් කරනවා කියලා . එයාලා හිතන්නේ එයාලට රිද්දනවා කියලා . අවසානෙදි වෙන්නේ දරුවොන්ට ඔයාලව එපා වෙන එක . ඒක නිසා පරෙස්සමෙන් දරුවොන්ව හුරතල් කරන්න . නැත්නම් ඔයාලා මැරුණත් මං වගේම සතුටු වෙයි ඒ පුංචි උනුත් .
අහ්හ් මට කියන්න අමතක උනා .
අර බෝක්කු කණුවක් උඩ වාඩි වෙලා තනියම සිහින ලෝකේ පාවී පාවී හිනාවෙවී හිටපු අයියනම් තවම ජිවතුන් අතර ඉන්නවා .
දැන්නම් හිතෙනවා ඒ කාලේ බෝක්කුවෙක් පහලට තල්ලු කරන්න තරම් සිතක් මට පහල උනේ නැත්තේ මගේ පෙර කල වාසනාවකට කියලා .
උපුටා ගැනීම: – හසිකා විජේතුංග –