රස්සාවට ඩුබායි ගිය අළුත සන්නිවේදන කටයුතු කරන්න උනේ ඉංග්‍රීසියෙන්. කඩ්ඩෙන් උපාධිය කරපු පිහිටෙන් යන්තං වචන ගලපගෙන කතා කරන්න පුළුවන් කම තිබුණා. ඒකත් සිංහලෙන් වාක්‍ය හිතලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ.
සුද්දො එක්ක කතා කරන එක තමයි අමාරුම වැඩේ උනේ. උන් කියන එකට සිංහලෙන් හිතලා වාක්‍ය හදලා ඉංග්‍රීසියෙන් එළියට දානකං ඔළුව ඇතුල යකාගෙ කම්මල වගේ. ඔය ඔක්කොම කරලා උත්තරේ එළියට එනකොට සුද්දට තේ එකක් එහෙමත් බීලා ආවහැකි.
හැබැයි ඉතින් සාමාන්‍ය ජීවිතේ ඒක එච්චර අවුලක් උනේ නෑ. ඔෆිස් එකේ ඇරුනම නිතරම වාගේ හම්බ උනේ ඉන්දියන්, පකිස්ථාන්, බංගලි, චීන, පිලිපීන් වගේ උන්. උනුත් ඉංග්‍රීසි දන්න උං නෙවෙයි. ඒ හින්දා සාමාන්‍ය භාවිතයේ දී සරල ඉංග්‍රීසි ක්‍රම තිබුණා.
කඩේකට ගිහින් ඕන දේ පෙන්නලා
“හව් මච්?”
කිව්වම ඇති. ගාන කිව්වම
“නෝ ඩිස්කවුන්ට්?”
කීයලා ඇහුවම එක්කො විකුණන එකා ඒකම කියනවා. නැත්තං අළුත් ගාන කියනවා. ටැක්සියක නැග්ගත් ටැක්සි කාරයා
“වෙයා?”
කියලා ඇහුවොත් යන තැන කියනවා. ඔය වගේ හෙන ස්ට්‍රේට් ෆෝවඩ් ඉංග්‍රීසියකින් ගොඩ දාගන්න පුළුවන්.
අපේ ඔෆිස් එකේ ටී බෝයි කෙනෙක් හිටියා ඉන්දියාවෙන් ඇවිත්. ඌටත් ඉංග්‍රීසි බෑ. හැබැයි ඌ අපිත් එක්ක කතා කරන්න හරිම ආසයි. ඌට අපිත් එක්ක කතා කරලා ඉංග්‍රීසි පුරුදු වෙන්න තමයි උවමනා උනේ. ඒ උගෙ ඉංග්‍රීසි අපිට යන්තමින් හරි තේරෙන හින්දා. අපිටත් ඌ එක්ක කතා කරන එක ලේසි.
ඌ උගේ විස්තර, පවුලේ විස්තර වගේ දේවල් තමයි කියවන්නේ. දවසක් කියනවා ” මයි ෆාදර්, වෙරි බිග් මෑන්” කියලා. කොච්චර බිග් ද කියනවනම් උගෙ අත් දෙකෙන් මදිවට ඇස් දෙකෙනුත් ලොකු බව පෙන්නුවා. මමත් ඉතින් උස මහත පොරක් හිතෙන් මවාගත්තා.
“නව් අප්”
කියලා උඩ පෙන්නුවා. මට ඉබේම උඩ බැලුනට උඩතට්ටුක් නෑ කියලා මතක් උනා. කොහොමත් මෑන්ගෙ හැටියට තාත්තා ගගනගාමියෙක් වෙන්න විදියක් නෑ. පයිලට් කෙනෙක් වෙන්නත් බෑ. එක්කො ඩුබායි ඉඳන් ඉන්දියාවට යන අතරමග වෙන්න ඇති කියලා හිතුනා.
මෑන් මගෙත් එක්ක කතා කරලා ළඟ හිටපු ඉන්දියන් එකෙක් එක්ක කතා කරලා ගියා. අපේ කතාව ඇහුණ හින්දා ඌට කොහොමත් තේරිලා තිබුනේ මට අරෑ කියපු ඒවා තේරුම් යන්න නැතුව ඇති කියලා. මං උගෙන් ඇහුවා අරෑගෙ තාත්තා බොඩි බිල්ඩර් කෙනෙක් ද කියලා. ඌ හිනාවෙලා කිව්වා වෙරි බිග් මෑන් කිව්වේ මිනිහා ඒ පැත්තේ සෑහෙන ප්‍රසිද්ධ කෙනෙක් කියලා ලු.
“නව් අප්”
කියලා තියෙන්නේ දැන් මැරිලා හින්දා ලු.
හැබැයි ඉතින් ඉන්දියාවෙන් අතුගාන්න එකෙක් ආවත් අඩුම බී කොම් කාරයෙක්. මූත් එහෙමයි. ආවෙ ටී බෝයි විදියට. ඇවිත් ටිකක් කල් යනකොට ඉන්දියන් අයි ටී මැනේජර් ට සෙට් වෙලා කොම්පියුටර් එහෙ මෙහෙ අරං යන්න උදව් උනා. අවුරුද්දක් යනකොට ඌ අයි ටී ඇසිස්ටන්ට් උනා. අවුරුදු දෙක යන්න කලින් අයි ටී මැනේජර් අයින් උන ගමන් මූ අයි ටී මැනේජර් උනා. අවුරුදු තුනක් යනකොට මූ ඇවිත් මට කිව්වා ජොබ් එකක් හම්බවෙලා කම්පැණියෙන් අයින් වෙලා යනවා කියලා. ඌට ඩුබායි වල ප්‍රධාන ම ටෙලිකොම් සමාගමේ අයි ටී ටෙක්නීෂන් ජොබ් එකක් සෙට් වෙලා. ඔන්න ඔහොමයි උන්ගේ උනන්දුව.
ඔය වගේ අපබ්‍රංස කතා පිලිපීන් උනුත් කියනවා. මොකක් හරි දෙයක් ෆෝන් එකෙන් විස්තර කරනකොට එක පාරටම
“අයි විල් ගෝ දෙයා”
කියලා ෆෝන් එක දඩස් ගාලා තියනවා. යකෝ මූ මොන මඟුලකට එහෙ යනවද කියලා කල්පනා කරනකොට මෙන්න මගෙ මේසෙ ලඟට ඇවිත් මොකක්ද කිව්වේ කියලා අහනවා. ඕක දෙතුන් පාරක් උනාට පස්සේ තමයි දැනගත්තේ උන්ගෙන් සමහරක්
“අයි විල් ගෝ දෙයා”
කියන්නේ
“අයි විල් කම් ටු යූ”
කියන එකට කියලා.
සුද්දො නං කවදාවත් අපේ අය වගේ ඉංග්‍රීසි බැරි එකට හිනා උනේ නෑ. ඒ වෙනුවට උන් දුක් වෙනවා උන්ට ඉංග්‍රීසි විතරක් පුළුවන් එකට.
උං කියන්නේ
“උඹලට අඩුම ගානේ භාෂා දෙකක් වත් පුළුවන්. අර මලබාරි උන්ට තුන හතරක් පුළුවන්. අපිට එකයි. ඒකත් මහා ලොකුවට නෙවෙයි”
කියලා.
ඒ හින්දා සුද්දන්ට සාමාන්‍ය ජීවිතේ උන් කියන එක නොතේරෙන එකෙක් සෙට් උනාම අසරණ වෙනවා.
හැබැයි ඉතින් ඔය පොඩි පොඩි අවුල් සන්නිවේදනයට බාධා උනේ නෑ. මගෙත් එක්ක හිටියා ජෝර්දාන් ඉංජිනේරුවෙක්. මෑන්ටත් තිබුණේ සීමිත ඉංග්‍රීසි දැනුමක්. හැබැයි මාත් එක්ක හැමදාම ගොඩක් දේවල් කතා කරනවා. මිනිහා හිතන්නේ ආගමක් නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ කියලා. හරියට අපේ සමහරු දේශපාලනය නොකරන මිනිහෙක් ඉන්න බෑ කියලා හිතනවා වගේ. මෑන් දවසක් මගෙන් ඇහුවා
“උඹේ ආගමේ දෙවියො කවුද?”
කියලා. මං කිව්වා එහෙම දෙවි කෙනෙක් නෑ කියලා. උගෙ ඇස් උඩ ගියා.
“එතකොට ආගම කියලා උඹලා මොනවද කරන්නේ?”
කියලා ආපහු ඇහුවා. මම කිව්වා අපි අනුගාමිකයො විතරයි කියලා. ඌට ඒක තේරුණේ නෑ. තේරැණේ නැතුවටත් වඩා එහෙම දෙයක් ඌට විශ්වාස කරන්න බැරි උනා. එතකොට ඌ අහනවා,
“මේ මිනිස්සු, ලෝකෙ කොහොමද මැවුනෙ කියලා උඹ විශ්වාස කරන්නේ?” කියලා.
මම කිව්වේ මිනිස්සු පරිණාමය වෙලා, ලෝකය හැදිල තියෙන හැටි දැනට විශ්වාස කරන්නේ ගිනියම් වෙලා තිබ්බ පෘථිවිය ක්‍රමයෙන් සිසිල් වෙලා ජීවයට සුදුසු තත්වයට ආවා කියලා. ආගමික කතාව අස්සෙ විද්‍යාව ආව එක උගෙ තර්කෙට ගැලපෙන්නේ නැති බව උගෙ මූණෙන් පෙනුනා. ඌට හිතුනෙ ඌ කියන එක මට තේරුණේ නැතුව ආගම වෙනුවට විද්‍යාව පැත්තට ගියා කියලා. ඒ හින්දා පොර වෙන විදියක් බැලුවා.
“හරි, උඹ පාරෙ කාර් එකේ යනකොට ඇක්සිඩන්ට් එකක් වෙනවා. එතකොට කාටද කියන්නේ?” කියලා.
මං කිව්වා “පොලිසියට” කියලා.
ඌ කියනවා “ඒක හරි, පොලිසියට කලිං කාටද?” කියලා.
“පොලිසියට කියන එක තමයි හරි. ඇම්බියුලන්ස් ඕන නං ඒකත් එයාලම එවනවා. ඉන්සුවරන්ස් එකටත් පොලිස් රිපෝට් එක ඕනනෙ” කියලා මම කිව්වා.
“නෑ නෑ බං, උඹට තේරෙන්නේ නෑ” ඌ කිව්වා.
“හරි, උඹ මොකද කරන්නේ?” මං උගෙන් ඇහුවා.
“මං නං දෙවියන්ට කියනවා” කියලා ඌ කිව්වා”.
“දැන් එතකොට උඹෙ ඇක්සිඩන්ට් එකේ වැඩ ටික දෙයියො කරලා දෙනවද?” කියලා මං ඇහුවා.
“නෑ, ඒකට මං පොලිසියට කෝල් කරනවා” ඌ කිව්වා.
“ඉතින් බං දෙයියො ඕක හදලා දෙන්නෙත් නැත්තං මං ඕක ඒ වෙලාවෙම පොලිසියට කිව්වම අඩුම ගානේ විනාඩි පහක් හරි කලින් පොලිසිය එයි නෙ”. මං කිව්වා.
“උඹත් එක්ක මේවා කතා කරලා වැඩක් නෑ” කියපු ඌ හිනා වෙවී නැගිටලා ගියේ දෙයියො මායිම් නොකරන මං ගැන අනුකම්පාවෙන් වගේම ඌ අදහස් කරන දේ මට කියාගන්න තරම් ඌට බාසාවක් බැරි එක ගැන කණගාටුවෙන් බවත් මට තේරුණා.
උපුටා ගැනීම: Dhammika Ekanayake