වසර ගණනාවකට පෙරාතුව පානදුර සිට කොළඹ බලා යන දුම් රියක මා නැගගත්තේ සවස් වරුවේය. මැඳිරි මගීන්ගෙන් හිස්ව තිබුණ ඒ දුම් රියේ ගමන් කලේ මගීන් ස්වල්ප ප්රමාණයකි.
වෙරළ බඩ මුහුදු සුළඟ කපාගෙන ඉදිරියට ඇදෙන දුම් රියේ අසුනක මා පහසුවෙන් ඉඳගෙන යන අතරේ මට ඉදිරියෙන් වූ අසුනේ මට මුහුණලා සිටියේ කහ පැහැති සාරියක් හැඳගත් රූමතියකි. දෙවරක් බලන්නට සිත් වෙන ඈ පෙනුමෙන් පොෂ් ය. ආඩම්බර කාර ඇස් සිනාසෙන සුළුය. නාරි ලාලිත්යය බේරෙන සිරුරය. සාරි පොටින් වැසුන බඳ සුකොමළය.
ඈ දුම් රිය කවුළුවෙන් ඈත බලද්දී මාද ඇයට පෙනෙනු ඇති බව මම විශ්වාස කලෙමි. වයසින් මට වඩා වසර කිහිපයක් වැඩිමහළු විය හැකියැයි සිතිය හැකි ඈ විසි හතර හැවිරිදි වන්නට ඇතැයි මම සිතුවෙමි.
වාසනාවන්ත වූ කහ පැහැති සාරියෙන් ගත වසාගත් ඈ කොළඹ කොටුවෙන් බැස ගත් අතර ඈ ගැන කල්පනාව නිම කොට මමද එළියට බැස ගතිමි.
තවත් දිනෙක ඒ දුම් රියේම කහ පැහැති සාරිය හැඳගත් ඈ මා ඉදිරියේම සිටියාය.
“ඔයා කොහෙද වර්ක් කරන්නේ.?”
ඇගේ ප්රශ්නයෙන් මම තිගැස්සී ගියෙමි. සිනාසෙන දෙනෙත් මා දෙසට එල්ල වී ඇත. දෙතොල් මත වූ සිනහව කොපුල් තල රෝස් පැහැ කරවන්නට සමත් වී ඇත. සුරංගනාවිය මාහා කතා කරන්නට පටන් ගෙන ඇත.
“මම අසවල් සමාගමේ වැඩ කරන්නෙ.”
මම පැවසූවෙමි.
“ඔයා?”
මම පෙරළා ඇසුවෙමි.
“මම ටීචිං කරන්නෙ. ගුඩ් ——- එකේ. කළුතර.”
ඉන් පසු ඉතා ඉක්මනින් දුම් රිය කොළඹ කොටුවට පැමිණි අතර විසි වන වියේ සිටි මට ඇයව “ට්රැක්” කර ගැනීමේ හැකියාවක් හෝ අවශ්යතාවයක් නොතිබුණේ මන්දැයි මම කල්පනා කරමි.
ඊට මාස කිහිපයකට පසුව සෙනඟින් පිරී පොදි කමින් සිටි දුම් රියකට කොටුවෙන් නැගගත් මට ඇයද සෙනඟ ගොඩේ පොදිකමින් දුම් රිය වේදිකාවේ සිටිනු දක්නට ලැබුණි. කහ පාට සාරිය නිසා මට ඈ හොඳින් හඳුනාගත හැකි වූ අතර ඒවන විටත් දුම් රිය ඉදිරියටම ඇදෙමින් තිබුණි.
ඒ මා ඇය දුටු අවසාන දිනයයි. නැවත ඇය දක්නට ලැබේ යැයි මා සිතුවත් නැවත කිසි කලෙක ඈ මා දුටුවේ නැත. සමහර විට ඈ මේ සටහන කියවන්නටත් හැකියාව ඇත. ඇයට ඒ ගැන මතකයක් නැති වන්නටත් හැකියාව ඇත. එහෙත් මට නම් ඒ මතකය කහපාට සාරිය මෙන්ම සුන්දරය.
-සිහින ලියවිල්ලක්-
උපුටා ගැනීම: Sihina Udayanga