ජීවිතේ හොඳම කාලෙ ගෙදරට වෙලා පරිගණකයක් ඉස්සරහ ගෙවන්න වෙලා දැන් ඉතින් අවුරුද්දකටත් කිට්ටුයි මයෙ හිතේ. මොනව කරන්නද ඉතින් පැමිණි දුක් පැණි රසයි කියල ඉන්නව මිසක්.වැඩේ කියන්නෙ ඒම ඉන්නකොට, වෛරසයක් නිසා හදිස්සියෙ මග නතර කරල දාල ආපු ජීවිතේ සමහර රස රස තැන් හරියට මතක් වෙනව.මේකත් එහෙම මතක් වෙන වාරයක් ගානෙ රස දැනෙන සිද්ධියක්.
මේ කියන්න යන්නෙ සරසවියේ අපිත් එක්ක එකට ඉගෙන ගන්න දැරිවියක් ගැන කථාවක්. එයා අත පය කඩා ගැනීම, ලෙඩ වීම වගේ ඒවට නම් දරාපු කෙනෙක්. මුකුත් ක්රීඩාවක් කරල, නැත්තං රිය අනතුරක් වෙලා ඒම නෙවෙයි. උන් හිටි ගමන් එක එක විදියට ලෙඩ වෙනව. අත පය කැඩෙනව. පැහැදිලිවම කිව්වොත් හැම සෙමෙස්ටර් එකකම අඩුම තරමෙ සතියක්වත් ඔක්සිජන් සේලයින් ඒම තනියට ඇඳ වටේට තියා ගෙන රෝහල් සයනයක ඉන්නව. ඒම නැත්තං කිහිලිකරුවලට වාරු වෙලා ගෙදර ඉන්නව.
හැබැයි මොන වසංගතේ හැදුනත්, හුස්ම වැටෙන තාක් කල් එයා එයාගෙ අධ්යන කටයුතු නං අකුරට කරනව. අමාරුවෙන් කිහිලිකරු ඇන ඇන මැනුම් කටයුතු කරනව. ඔළුව විතරක් යන්නතන් උස්සගෙන ලැප්ටොප් එක ඇඟට හිර කරන් අසයින්මන්ට්ස් කරනව. ග්ලූකෝස් කකා පාඩං කරනව. වේදනාව දරා ගන්නම අමාරු උනාම ප්රතිජීවක මාත්රාව වැඩි කරල බීල වේදනාව යටපත් කරගෙන වැඩ කරනව.
මේ කියන සිද්ධිය වුණේ එයා දකුණු කකුල කැඩිල ඉන්න කාලෙක. ආයුර්වේද වෙදකම තමා කළේ. සති දෙකකටත් වඩා ගෙදර ඉඳල යාන්තමට හරියාගෙන එද්දිම ආපිට කිහිළිකරුවකින් සරසවි ආව. ඒත් ඉතින් සංචරණය අතිශය සීමා සහිතයි. කකුළුව වගේ තමා පඩි බහින්නෙ. ත්රීරෝද රථවල පිහිටෙන් යන්නෙ එන්නෙ. ඒ අතරෙම දවස් තුන හතරකට සැරයක් වෙද ගෙදරත් යනව. වෙද පොතේ තියන හැටියට පූර්ණ සුවය ලැබෙන තෙක් විවේක සුවයෙන් ඉන්න මෙයාට බැරි නිසා වෙද මහත්තයත් වෙදකම කස්ටමයිස් කරල යුනිවසිටි ස්ටුඩන්ට් පැකේජ් එකක් මෙයා වෙනුවෙන්ම නිර්මාණය කරා. ඉතින් එයාටම තනියෙන් ගා ගන්න පුළුවං විදියට හදපු පත්තු, ආලේපන ඒම තිබුණ. මෙයත් ඉතින් කකුළ නොතෙමා රෙදි හෝද ගන්න, නාන්න ඒම සෑහෙන මහන්සියක් අරගෙන තමා ඔය බෙහෙත් කරේ. කෝම හරි ඉතින් ලෙඩා කකුළ බිම තියල ඇවිදින නිසා සුව වීම හරි හෙමින්. ඊටත් වඩා රෑ වෙද්දි උතුර දකුණ මාරු වෙන්න රිදෙනව.
ඔන්න දවසක් ඒම මාරු වෙච්ච වෙලාවක බෝඩිමේ පාඩං කර කර ඉද්දි මෙයාට මතක් වුණා ගොඩක් රිදෙන වෙලාවට ගාන්න කියල ක්රීම් එකක් දීපු බව. ඒපාර පුටුව පොඩ්ඩක් පස්සට කරල දෝතින්ම කකුල උස්සල අරගෙන එහා පැත්තෙ කෙනාගෙ පුටුවට හිර කරල තියාගෙන වාඩි වුණා ක්රීම් ගාන්න. වැඩේ කියන්නෙ මෙයා මේක ඊට කලින් ගාලම නෑ. ටියුබ් එක කැඩුවෙත් එවෙලෙ. හැබැයි වෙද මහත්තය පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරල තිබ්බෙ ඒක ටිකක් සැරයි,ගෑවම දැවිල්ලයි කියල. මෙයත් ඉතින් වේදනාව වැඩි කමටම හය්යෙන් ටියුබ් එක මිරිකුව. අවාසනාවට ඒක හිතුවට වඩා හරිම දියාරු තත්වයෙන් තිබ්බෙ. තප්පරෙන් ක්රීම් තල්ලියක් දණහිස උඩ! කොරේ පිටට මරේ කියල දැන් මෙයා දනහිසෙන් ක්රීම් අරන් සීරුවට ටියුබ් එක පුරවනව. ටික වෙලාවක් ඕක කරල, එක අතකට ඉතිං යහමින් ගෑවම වේදනාව ඉක්මනට අඩු වෙන් නැතෑ කියල හිතල ඉතිරි ටික හොඳට කකුල පුරා ගෑව. ඔය මුළු ක්රියාදාමයම එහා පැත්තෙ කෙනා ඇසිපිය නොහෙලා බලන් හිටියෙ ජීවිතේ පළවෙනි වතාවට ක්රීම් ගානව දකිනව වගේ. මෙයා හිතුවෙ ඉතින් අසරණයාගෙ වේදනාව ගැන අනුකම්පාවෙන් බලන් ඉන්නව කියල. කෝම හරි දැන් ගාල ඉවරයි. පුටුව දිගේ හෙමිහිට පහළට ලිස්සවල කකුලත් බිමට බා ගත්ත. තාම නං හැබැයි එච්චර දැවිලලක් දැනුනෙත් නෑ.
ආයෙ හරි බරි ගැහිල පාඩම පටන් ගන්න කොටම, අර එහා පැත්තෙ දැරිවි ඇස් එළියට දාල ඇහුව “මේ, ඔයාගෙ දකුණු කකුල නේද කැඩුනෙ, ඉතින් ඇයි ඔය වම් කකුලෙ ක්රීම් ගෑවෙ ?”
අපේ කථා නායිකාව මොහොතකට තක්බීරි වුණා. අනිඡ්චානුගව අතක දබරැඟිල්ල දිහා බැලුණ (එයා උපන් දා සිට වම දකුණ බලා ගන්නෙ දබරැඟිල්ලෙ උපන් ලපෙන්. ඒක දැන් අනිඡ්චානුග ක්රියාවක් තරමටම ජීවිතයට බද්ද වෙලා). ආයෙ කකුල දිහා බැලුව. තිස්තුන් කෝටියම එක පාර මතක් වුණා. මොළේට අකුණක් ගැහුව වගේ එයාට තේරුණා කකුල නං කල් ගිහිං හරි හොඳවෙයි හැබැයි මේ නවනිංගිරියාවෙන් නං මේ ආත්මෙට ගැලවෙන්න බැරි බව.
ඉතිං මිත්රවරුනි ඒක එහෙමම වුණා. දකුණු කකුලෙ ආයෙම ක්රීම් ගා ගත්ත. කියපු විදියටම දුං දාන ගානට දැවිල්ලත් ගත්ත. හැබැයි ලෝකාපවාදය ඊට වඩා දරුණුයි. කිට්ටුවන්ත යාළුවන්ගෙ හැටිම එහෙමනෙ ඉතිං. බෝඩිමේ සගයො ටික සිද්ධියට පුළුල් ප්රචාරයක් ලබා දුන්නා. වෙද මහත්තයි, ගෙදර උදවියයි අනික් සේරමයි මෙයාගෙ තාත්වික රංගනයෙන් මුලා වෙලා කියන විශේෂ පණිවිඩයත් අර හැම ප්රචාරක පටයකටම අගට එකතු කරල තිබුණ.
උපුටා ගැනීම : Isuri Illeperuma