මමයි පූර්ණිමයි දවසක් කැළණි පන්සල් ගියා.කොහොමත් මාත් ඔය ගමනට හරි ආසයි. මොකුත් නිසා නෙමෙයි මිනිස්සු කෙලින පිස්සු බලන්න. අනික් මිනිස්සු හැමෝටම වදයක් කරදරයක් වෙන විදියට වාහනේ ගාල් කරලා එන සමහරු ඉඳල් ඉලපත් හොයාගෙන බෝමලුව අතුගානවා. ගෙදර කුණු මල්ල පාර අයිනේ විසිකරලා යන මිනිස්සු මල් ආසන සුද්ද කරනවා.රිලවෙක්, කුරුල්ලෙක් ගහක ගෙඩියක් කෑවම කැටපෝල හොයන රතිඤ්ඤ හොයන උන්දලා බුද්ධ පූජාව දෝතින් ඔලුව උඩ තියන් ගිහිල්ලා වීසි කරලා බාජන හෝදනව. ඉතිං මං එව්වා දිහා බලන් ඉන්නවා, ඒ අස්සේ තමන්ගේ කප්පරක් ප්‍රශ්නවලට උත්තර හොයන අහිංසකයෝ බහුතරයක් ගේ ඇස්වල බලාපොරොත්තුවේ සේයාවන් දැල්වෙනවා පේනවා.
අපි දෙන්නත් එහෙන් මෙහෙන් රිංගලා මල් කඩවල් ලඟට එනවා. පූර්ණිමා මල් ගන්නව.හඳුන්කූරු පොල්තෙල් පහන් තිර එහෙමත් ඒ එක්කම ගන්නවා. මොකද්දො මන්දා එකකට කඩේකට ගියාම බඩු ගනිද්දි මං ඒ ගාණ හිතෙන් හදනවා. හදලා මුදලාලි කියන ගාණ එක්ක මගේ එක ගලපනවා. මං එදත් ගාණ හදනවා,
මල්වලට සීයයි, පොල්තෙල් කාලට අසූවයි, හඳුන් කූරු වලට පණහයි ඔය විදියට හැදුවම මට ආවෙ තුන්සීය හැටයි
කඩේ හිටිය පච්චගහපු සර්වපිත්තල සුදුයකඩ කොල්ලා ගාණ කිව්වේ පන්සීය හැටයි කියලා. ආං මගේ කට ඉස්සර වෙනව.
” එච්චර වෙන්නෙ නෑනේ”
කියලා මම අරකට මෙච්චරයි මේකට මෙච්චරයි කියලා ගාණ හදනවා. මං දිහා මහා සෙප්පඩ හිනාවක් දාන ඒ යකා මෙහෙම කියනවා.
“සර් ගෙදර ඉඳන් බුදුන් වදින්න වියදමක් නෑනේ,ඔහොම නිවන් දකින්න බෑ සර්”
ආ ඒ විදියට අපි බෞද්ධයකු වසයෙන් කිසියම්ම කිසි අවස්තවක ලංකාවේ පූජා නගරයක මල් කඩේකදි පූජාවට්ටි කඩේකදි ගාණ හදලා හරි වැරදි කියන්න යන්න හොඳ නෑ කියන පාඩම මං ඉඟන ගන්නවා.
පූර්ණිමත් මටම ඔරෝනවා.
ඊලඟට වැඳලා කරලා ආපහු එද්දි එතන වාහන ගාලේ හිඟන මනුස්සයෙක් ඉන්නවා. මිනිහ මං දිහා නොබලා පූර්ණිමා ට දුක කියනවා.
” අනේ නෝනා රෑට බත් එකක් කන්න රුපියල් පණහක් දෙන්න “
මොකද්දො කරුමෙකට මගේ කට එතනදිත් ඉස්සරවෙනව.
” රුපියල් පණහෙන් රෑට බත් කන්න පුලුවන් තැනක් අපිටත් කියන්නකො “
මං එහෙම කියනවා. අර යකාට ඒකට තදවෙනවා කියන්නකො
“මේ මහත්තයා නික රි ටෝක් දෙන්න එපා අරිද. රෑට කන්න, කන්න නෙමේ කන්න ,අපි මෙතන අසරණ කමට ඉඟා කනවා මුං එනවා අපේ කටේ අතුල්ලන්න”
ඒ යකාට විහිලු කරන්න ගිහිල්ලා අමු කුණුහබ්බත් අහලා ගෙදරට එනකන් තවත් බැනුම් ඇහුවා කියන්නකො.
දැන් පූර්ණිමා පන්සල් යන්න ඕන උනාම
” මම කැලණි යනවා” කියනවා යනවා විතරයි.
එඤ්ඤං
උපුටා ගැනීම: කුෂාන් ප්‍රේමසිරි