අලීනා කෝච්චියට ගොඩවුනේ නුවරින්.
සසංක නිරීක්ෂණ මැදිරියේ ආසනයක් කලින්ම වෙන් කරලා තිබ්බ එක ලේසියට ගියා.ඒ වෙනකොට ආසන කීපයක් ඇරෙන්න ඔක්කෝම ආසන පිරිලා.හිස් ආසනත් වෙන් කරපුවලු!
අලීනා කැමරාව විතරක් අතට අරගෙන අසුනට ඉහළ රාක්කෙ උඩින් ගමන් මල්ල තියන්න හදනකොට එතන හිටිය තරුණයා නැගිටලා අලීනාට උදව් කලා.
“තෑන්ක් යූ!”
තරුණයාගේ අනෙක් පසින් වාඩිවී සිටි යුවතියත් අලීනාට හිනාවකින් සංග්රහ කලා.
සුන් දර මිනිස්සු!
අලීනා තමාගෙ අසුනෙ ඈඳි ගත්තා. අසුන සුවපහසු කම අතිනුත් වරදක් නෑ. වායුසමනය කරල නැති හින්දාද කොහෙද දෙපස ජනේල විවෘත කරලා.එක අතකට ඒක හොඳයි! හදිසියකට පින්තූරයක්වත් ගන්න පුලුවන්!
හැබැයි මේ විදිහට මැදිරියේ පසුපස විශාල ජනේලෙට මූණ පාලා ඉඳගත්තම කෝච්චිය යන්නෙ පස්සෙන් පස්සට.ඉතින් ඒකට මොකද? මමයැ එලවන්නේ!අලීනාට තනියම හිනා.
විජිතා කීවෙ ඇත්තම තමයි! ශ්රී ලංකාව පුදුමාකාර ලස්සන රටක්! අලීනාට හිතුණා.
අලීනාට විජිතා මුණ ගැහුනේ ඇමරිකාවේදි! විශ්ව විද්යාලෙ පළවෙනි අවුරුද්දෙ! විශ්ව විද්යාල නේවාසිකාගාරෙ තමාගෙ කාමරේට ජාත්යන්තර ශිෂ්යාවක්ද අයත් වන බව අලීනා දැන ගත්තෙත් සතියකට කලින්.නම විජිතා! ශ්රී ලංකාවෙන්ලු!
පළවෙනි දවසෙ නම් විජිතා අලීනාගේ හිතට ඇල්ලුවේ නෑ. විජිතාගේ පෙනුමේ මොකක්දෝ ගුප්ත බවක් තියනවා කියලයි අලීනාට හිතුණේ. සමහරවිට විජිතාගේ ඇඳුම් පැළඳුම්, ගමන බිමන, භාෂා උච්චාරණය හින් දා වෙන්න ඇති!
ඒවා අමතක කලත් අලීනාට ඉවසන්නම බැරිවුනේ විජිතාගේ කෑමවල ගඳ!
අලීනායි, කාමරේ අනෙක් සාමාජිකාව කැතීයි දෙන්නම හැමදාම කෑමට එළියට යනවා. මැක් ඩොනල්ඩ්, බර්ගර් කිඞ්, පීසා හට්, ඩෙනිස්…….විශ්ව විද්යාලෙ වටේටම කෑම කඩ! ඒත් විජිතා…..විජිතා කාමරේ අයිනට වෙන්න තියන පුංචි කොටසෙ රයිස් කුකර් එකකුත් තියාගන උයනවා!
උයනවා!
උයනවා!
කාමරේම ගඳයි.
උයන්නේ නැති දවසට බෝතලේකින් පිඟානකට මොනවදෝ හලලා ‘මයික්රවේව්’ එකට දානවා.ඒක ඊට එහා!
ශ්රී ලංකාවේ කුළු බඩු ඔච්චර ගඳද?
එක දවසක් ධාරාණිපාත වැස්ස! එළියට බහින්නත් කම්මැලියි. ඒත් මොනවා කරන්නද?වැස්ස කියලා බඩගින්නේ ඉන්නයැ.කැතීයි අලීනායි දෙන්නා රේන්කෝට්, රේන්බූට්ස් දාගෙන එළියට යන්න ලෑස්ති වුනා.
උය උයා හිටපු විජිතා පිඟන් දෙකකුත් එක්ක ඉස්සරහට පැන්නෙ ඒ වෙලාවෙ.පිඟන්වල උනු බත් ටිකයි, කුකුල් මස් කෑල්ලයි.එච්චරයි!
“කැරටුත් තියනවා. තාම ඉදිලා නෑ!”විජිතා කීවේ බත් පිඟන් දෙක දෙන්නගේ අතට දෙන ගමන්.
අලීනා බත් පිඟාන අතට ගත්තෙ බෑ කියන්න බැරි කමට. කැතීනං දවස් ගානක් හාමතේ හිටියා වගේ බත් පිඟාන කටට දෙකට ගිලිනවා. අලීනාත් ඕනෑවට එපාවට මස් කෑල්ලක් එක්ක බත් කටක් ගෑරොප්පුවෙන් කටට තල්ලු කලා.
මොකක්!
මගෙ දෙයියනේ ඒ බත් කටේ රස!ශ්රී ලංකාවේ කුළු බඩු ඔච්චර රසද?
අලීනා ලංකාවට ආදරේ කරන්න පටන් ගත්තේ එදා.
එදායින් පස්සෙ කැතීයි අලීනායි දෙන්නා විජිතා උයනකල් බලාගෙන ඉන්නවා. මස්, මාලු, එළවලු….තමාට දෙන බත්වලට හරියන්න කැතීයි අලීනායි දෙන්නා මැක් ඩොනල්ඩ්, බර්ගර් කිඞ්, පීසා හට් වලින් විජිතාට කෑම උස්සාගෙන ආවට විජිතා ඒකට කැමති වුනේ නෑ.
“මම මේ බත් ටිකක් දුන්නා කියලා ඒකට හරි යන්න ඔයාලා මට කෑම ගේන්න ඕනෙ නෑ. ශ්රී ලංකාවේ මිනිස්සු හරි කැමතියි කෑම වලින් සංග්රහ කරන්න.”විජිතා හිනාවෙවී කීවා.
“එහෙනං මම ශ්රී ලංකාවට යන එක යනවා. කෑම කන්න!”අලීනා කීවා.
“කන්න නෙමේ! ඔයා වෙලාවක ශ්රී ලංකාවට යන්න රටේ ලස්සන බලන්න!ශ්රී ලංකාව පුදුමාකාර ලස්සන රටක්!” විජිතා කීවෙ ඒ වෙලාවෙ.
අද අලීනා එදා ඒ ඇසූ සුන්දරත්වය හැබැහින් දකිනවා.
ආචාර්ය උපාධිය කරනකොට අලීනා ‘ශ්රී ලංකන් ස්ටුයුඩන්ට්ස්’ කියලාමයි ඉල්ලා ගත්තේ. ලැබුණු ‘අපාර්ට්මන්ට්’ එකේ පිරිමි ළමයි තුනයි, ගෑනු ළමයයි. අලීනාත් එක්ක ගෑනු ළමයි දෙන්නයි.පස් දෙනාගෙන් තුන් දෙනෙක් ශ්රී ලංකාවෙන්!
අනේ එහෙම කාලයක්!ජීවිතේ ගත කරපු සුන් දරම කාලේ!
අලීනා සිංහලත් ඉගන ගත්තා.
“ඔයා ලංකාවට ගියාට මුං දෙන්නා කියාදෙන සිංහල කතා කරන්න යන්න එපා. මුං කතා කරන්නේ සංවර සිංහල නෙමේ!” වෙලාවකට සාදිනී කියනවා.
” අනේ පලයං බං යන්න. එංගලන්තෙ සුද්දන්ටත් සිංහල උගන්නපු කොල්ලො අපි!” කෝසලයි, සසංකයි එක හඬිං කෑගහනවා.
වෙන රටක උපන්න මගේ සහෝදරයොයි, සහෝදරීයි!අලීනාට හිතුනේ එහෙමයි.
ආචාර්ය උපාධිය ඉවර කරලා එහෙට මෙහෙට විසිරිලා ගියත් හතර දෙනාගෙ යාලුකං අඩුවුනේ නෑ. ශ්රී ලංකාවේ සංචාරයකට මග පෑදුනත් එක්කම අලීනා කතා කලේ සසංකට!ඒ වෙනකොට ලංකාවට ගිහින් හිටියේ සසංක විතරයි.
“ඕනෙ වෙලාවක වරෙං!ඕනෙ වෙලාවක වරෙං! උඹට ඕනෙ කාලයක් අපේ ගෙදර ඉන්න පුලුවන්!”සසංක කෑගැහුවෙ සතුටින්.
“තාරකාත් උඹව බලන්න ආසාවෙන් ඉන්නේ!”
තාරකා සසංකගේ පෙම්වතී. කීප සැරයක් කතා කරලා තිබුනාට දැකලා නෑ නොවැ!
ගෙවුනු දවස් කීපයේම අලීනා කලේ අන්තර්ජාලයට ගිහින් ලංකාවේ ලස්සන තැන් හොයන එක. ඒ විදිහට තමා කොළඹ සිට හැටන්, නානුඔය, ඇල්ල,සහ හපුතලේ හරහා බදුල්ලට යන නිරීක්ෂණ මැදිරි ගමන හොයා ගත්තෙ.
“ඔය ගමන මගීන් අතර බොහොම ජනප්රියයි. ඔය මැදිරිය සමහරු සම්පුර්ණයෙන්ම වෙන් කරවා ගන්නවාලු.දැන්මම බුක් කරන්න වෙයි.”සසංක කීවා.
“එහෙනං බුක් කරන්න!”
‘එයාපෝට්’ එකෙන් අලීනාව ගන්න සසංකයි, තාරකායි දෙන්නම ඇවිත් හිටියා. තාරකාත් බොහෝම සුහද චරිතයක්. ඕනෙ වෙලාවක හිනා වෙච්ච ගමන්.
“උඹට අපේ ගෙදර ඉන්න ලැබෙන එක උඹේ වාසනාව!”සසංක කීවෙ ගෙදර යන අතරෙ.
“ඒ ඇයි?”
“මහනුවර කියන්නේ පෞරවුඩ ඉතිහාසයක්! පොහොසත් සංස්කෘතියක්! පුදුමාකාර සුන්දරත්වයක් ඇති නගරයක්!” විහිලුවට වගේ කීවට සසංක කීවෙ ඇත්ත බව අලීනාට එක දවසෙන් තේරුම් ගියා.
සසංකගේ ගෙදර අයත් අලීනාව බොහෝම ආදරෙන් පිලි ගත්තා. රජ සැලකිලි!අලීනාගේ සිංහල උච්චාරණය හැමෝම අගය කලා. සසංකගේ ගෙදරදී අලීනා පුලුවං හැටියට සිංහල කතා කලා .
නිරීක්ෂණ මැදිරියේ ආසනයක් කලින්ම වෙන් කරලා දුන්නට අලීනා තනියම කෝච්චියේ යන එකට නං සසංක කැමති වුනේ නෑ!
“යකෝ උඹට මං කීවනේ ගමන සෙනසුරාදාට දා ගනිං කියලා.”යන්න සූදානං වෙනකොටත් සසංක කඩං පැන්නා.
“මොකක්ද පුතා ගෑනු ළමයෙකුට කතා කරන හැටි!”සසංකගේ අම්මා මැද්දට පැන්නා.
“අම්මේ! මෙයා තාරකා වගේ සුලලිත නෑ!”සසංක එරෙව්වා.
“අනේ පලයං උඹේ ගෑනිගෙ සිරික්කිය විතරයි!”අලීනාගේ ඒ කතාවට නං හිනා වෙන්නට ලෝබ සසංකගේ තාත්තගේ මූණටත් හිනාවක් නැගෙනවා අලීනා දැක්කා.
සාදිනී කිව්වැහේ මං මේ කතා කරන්නේ සංවර සිංහල නෙමේද?කෝකටත් සිංහල කතා නොකර ඉන්න එක හොඳයි!අලීනා හිතා ගත්තා.
සිත් ඇදගන්නා සුළු හරිත කඳුකර දසුන් පසු කරමින් කෝච්චිය ඉස්සරහට යනවා.
මැදිවියේ ගැහැණු කෙනෙක් ඉගුරු විස්කෝතු පැකට්ටුවක් කඩා පවුල සමඟ බෙදා ගන්නා ගමන් අලීනාටත් ඇල්ලුවා. එහා පැත්තේ සිටි තරුණිය ෆ්ලාස්කුවක දමාගෙන ආ උණු තේකක් කඩදාසි කෝප්පයකට වත්කොට ඇයට පිලිගැන්නුවා.
විජිතා හරි! ශ්රී ලංකාවේ මිනිස්සු හරි කැමතියි කෑම වලින් සංග්රහ කරන්න!
කෝච්චිය ඊ ලඟ දුම් රිය පලේ නතර කලා.
“රායිට්!”
“නැගපල්ලා!නැගපල්ලා!”
“අවර් ටයිම්….ෆන් ටයිම්!”
මොකක්ද මේ වෙන්නෙ! මෙතෙක් වෙලා වූ සුන් දර නිහඬ තාවය අවසන් වගේ!
පෙට්ටියට ගොඩ වුනේ තරුණ පිරිසක්. මෙතෙක් වෙලා හිස්ව තිබූ අසුන් වල හිමිකාරයෝ.
පුදුමාකාර මත්පැන් ගඳක්!අලීනාට ඔක්කාරෙට ආවා.
මහා කාල ගෝට්ටියක්!එ මදිවට කීප දෙනෙක් අතේ දුම්වැටි.
“ළමයි! මේ පෙට්ටියේ දුම් බොන්න බෑ නේද?”කවුදෝ වැඩිහිටියෙක් මතක් කලා.
“අන්කල් අපි බොන්නෙ දුම් නෙමේ සිකැරට්!”
“ඇන්ඩ් යූ ෂට් අප්!”
දුම්වැටි කාරයෝ හිතා මතාම මැදිරිය පුරා දුම් රැලි පාකලා.අසැබි වචන යයි සාදිනී කියා දුන් වචන කීපයක්ද හුවමාරු වුණා. මහ හඬින් හිනා වෙමින් අවට අයට උසුලු විසුලු කරන්නට පටන් ගත්තා.
“ඔය ළමයි කෑවනං බීවනං තමාගේ පාඩුවේ ගියානං තමා හොඳ!”තවත් වැඩිහිටියෙක් අවවාද කලා.
“අන්කල් අන්කල්ගෙ පාඩුවේ ඉන්න. හරිය!” එයින් එක් තරුණයෙක් බෙරිහන් දුන්නා.
තවත් තරුණයෙක් අලීනාට හිනාවකින් සංග්රහ කල යුවතිය වෙත ආවෙ ඔය අල්ල පනල්ලේ.
” ආ නංගී!”
අලීනාට රාක්කය උඩින් ගමන් මල්ල තැබීමට උදව් කල තරුණයා නැගිට්ටා.
“උඹ නැගිට්ටෙ අපිට ගහන්නද?”අනිත් දඩබ්බරයින් එතැනට වට වුනා.
“වාඩිවෙන්න අනේ!”යුවතිය තරුණයා පසෙකට ඇද්දා.
මැදිරියේ හැමෝම බියපත් දෙනෙත් වලින් බලන් ඉන්නවා.අලීනා දඩබ්බරයින්ගේ නෙත ගැටුනේ ඒ වෙලාවෙ.
“මේ! සුදු නංගී කෙනෙකුත් ඉන්නවා”දඩබ්බරයෙක් කෑ ගැහුවා.
“ඔව් නේන්නං!”
“වෙයා යූ ගොයිං බියුටී?”
ඊලගට අවධානය අලීනාගේ කැමරාවට!
“මරු කැමරාව!”
“මොනවද ගත්ත ෆොටෝ!”
“අපිට බලන්න බැරිද?”
“ඒකිට සිංහල බෑ යකෝ.”
දඩබ්බරයෙක් කැඩුණු ඉංග්රීසියෙන් මොනවාදෝ කීවා.අලීනාට සිංහල තරමටවත් ඒ ඉංග්රීසි තේරුණේ නෑ.
තවත් දඩබ්බරයෙක් අලීනාට උණු තේකක් පිරිනැමූ තරුණිය දෙසට නැමී මොකක්දෝ කීවා. තරුණියගේ මූණ රතුවුණා. අලීනා ගේ ඉවසීමේ සීමාව පැන්නා.අලීනා නැගිට්ටා.
“කලවැද්දෝ!”අලීනා කෑගැහුවා.කලවැද්දා කියන්නේ සතෙක් කියලා මතකයි. ඒත් ඒ ‘සිවෙට්’ද(උගුඩුවා) ‘මොන්ගූස්’ද(මුගටියා)?අලීනා කල්පනා කලා. මොකෙක් වුනාම මොකද?
කෝසලයි, සසංකයි තරහ ගිය වෙලාවට බැන ගන්නේ ඕක කියලා.
“පලයං කලවැද්දෝ යන්න!”
“කලවැද්දා උඹ මගෙන් කන්න හදන්නේ!” ඔය විදිහට.
කොහොම වුණත් ඒ එක වචනෙට මැදිරිය මීයට පිම්බා වගේ නිස්සද්ද වුණා.
“උඹලට මෙච්චර ලස්සන රටක් තියනවා. ඒ රටේ ලස්සනට ඉන්න දන්නෙ නැද්ද? උඹලා අපි මේ පිස්සු වැටිලා ආස කරන ලස්සන රටට ලැජ්ජා කරනවා!”කැඩුණු සිංහල වුනත්, පිස්තෝලයකින් වෙඩි පිට වෙන්නැහේ අලීනාගේ කටින් වචන පිටවුණා. කියවුන වචන අලීනාටත් මතක නෑ.
දඩබ්බරයින්ගෙ වෙරි හිඳෙන්න ඇති. ඊ ලඟ දුම් රිය නැවතුමේදි දඩබ්බරයින් අතුරුදහන් වෙලා.
හතර වටෙන්ම පැසසුම් නම් ලැබුනා, ඒත් ඒ එක්කම කට්ටිය මුවගට නැගුණු හිනා තමාගෙන් සඟවා ගන්න තැත් කරන හැටිත් අලීනා දැක්කා. මං කතා කලේ සංවර සිංහල නෙමේද?කෝකටත් සිංහල කතා නොකර ඉන්න එක හොඳයි!
උපුටා ගැනීම:-ශ්රීපාලි
පින්තූරය අන්තර්ජාලයෙන්