නන්දාවතී මැණිකේ වැරැන්ඩාවෙහි වූ ඇඳි පුටුවෙහි හිඳගෙන කල්පනා කරමින් උන්නාය. විටෙක කෝපයෙන් දත්මිටි කෑ නන්දාවතී මැණිකේ තවත් මොහොතකින් සෝපාහාස සිනහවක් මුවෙහි රඳවාගත්තාය. ඇගේ සිතෙහි කෝපයක් මෙන්ම සෝපාහාස සිතිවිල්ලක්ද පැන නැඟුනේ එකම කාරණාවක් වෙනුවෙනි.
උදය වරුවේ නිවසට පැමිණි තම වැඩිමල් සොහොයුරු
වන පියසේන සහ ඔහුගේ බිරිය , තම එකම පුතු වන මේනකගේ විවාහයට බුලත් දී ආරධනා කල මොහොතේ පටන් නන්දාවතී මැණිකේ උන්නේ මේ සිතිවිළි දාමයේ ගිලෙමිනි.
තම වැඩිමල් සොහොයුරුගේ පුතු විවාහයට තෝරා ගෙන ඇත්තේ තම පෙළපතට කිසිසේත්ම නොගැලපෙන එකියකි. එය කිසිසේත්ම ඉවසන්නට හැකි කාරණයක් නොවේ. අඩුම තරමින් ඔහුට තම ජාතියෙහි කෙල්ලක සොයා ගන්නට තිබුණා නොවේද. තම පෙළපතෙහි කිසිවකු කිසිදා නොකල නොගැලපෙන දෙයක් සොහොයුරාගේ පුතු විසින් සිදු කර ඇත. කෝපය ඉවවහා යන්නේ එබැවිනි. එහෙත් තම බාල දියණියගේ විවාහයේදී වැඩිමල් සොහොයුරාත් දෙවෙනි සොහොයුරාත් පමණක් නොවේ නෑනලා පවා තදින්ම විරුද්ධ වූ අයුරු නන්දාවතී මැණිකේට තවමත් සිහියේ ඇත.
නන්දාවතී මැණිකේගේ බාල දියණිය වන සුනේත්‍රා පියල් සමඟ මිතුරු වූයේ රැකියාවට යන අතරතුර දීය. රැකියාවක් වත් නොමැතිව තැන තැන රස්තියාදුවෙහි යන පියල් සමඟ දියණියගේ වූ හාදකම නන්දාවතී මැණිකේට ආරංචි වූ පසුවත් විරෝධය පෑමට නොගියේ ඉඩකඩම් දේපළ ඇති පවුලේ එකම දරුවා වූ පියල් තම පෙළපතටද ගැළපෙන අයෙකු බැවිනි. එහෙත් තම සොහොයුරන් දෙදෙනා පුන පුනාම ප්‍රකාශ කර සිටියේ පියල් තම දියණිය වන සුනේත්‍රාට නොගැළපෙන බවයි. රැකියාවක් නොකිරීම හා මත්වතුරට ඇබ්බැහි වී සිටීම පියල් තම දිණියට නොගැලපීමට හේතු ලෙස සහෝදරයින් විසින් හුවා දැක්වූ කරුණු විය. එහි සත්‍යතාවක් නැතිවාම නොවේ. සුනේත්‍රා සමඟ විවාහ වී දරුවකුද ලැබ සිටියද මේ වනතුරුත් පියල්ට හරිහමන් රැකියාවක් තිබුනේ නෑත. තවමත් පවුලේ වියහියදම දරන්නේ සුනේත්‍රා විසිනි. පියල්ගේ ඕනෑඑපාකම් පිරිමැසීමටත් මත් වතුර පානයටත් මුදල් ලබා දෙනුයේ සුනේත්‍රා විසින්මය. පියල් ඔහු සතුව තිබූ ඉඩකඩම් පවා විකුණා දැමුවේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බව පවසමින් වුවත් මේ වන තුරුත් ව්‍යාපාරයක් හෝ ඉඩම් විකුනා ලබාගත් මුදල් වලට සිදු වූ දෙයක් සොයාගැනීමට වත් නැත. විවාහයෙන් පසුව පියල්ට උරුමකම් ඇති මහගෙයි පදිංචියට ගියද සුනේත්‍රා තෙමසක් ඉක්මෙන්නටත් පෙර ආපසු නිවසට පැමිණියේ පියල්ගේ මව්පියන් සමඟ විසීමට නොහැකි බව පවසමිනි. ඉන් දින කිහිපයකට පසුව පියල්ද පැමිණ සුනේත්‍රාගේ මහ ගෙදර බින්න බැස්සේය. කෙසේ වුවත් සුනේත්‍රා නැවත පියල්ගේ නිවසට යාමට උනන්දුවක් නොදැක්වූයේ තම මියගිය පියාගේ විශ්‍රාම වැටුප මවට ලැබෙන බැවින් නිවසෙහි වියදම මඳක් හෝ පිරිමසාගන්නට ලැබෙන බැවිනි. මේ සියල්ල නන්දාවතී මැණිකේ දැන උන්නත් ඇයගේ සිතෙහි වූයේ තම දියණිය කුළ පරම්පාරවට ගැලපෙන තැනකින් විවාහ වීම පිළිබඳ වූ ප්‍රීතියකි. අන් කිසිවකටත් වඩා තම පෙළපතෙහි නම්බුව වටිනවා නොවේද..!ඒ ඇගේ සිතිවිල්ලයි.
තම සොහොයුරා සහ නෑනන්ඩිය විවාහයට ආරාධනා කිරීමට නිවසට පැමිණි විට නන්දාවතී මැණිකේ තම සිතෙහි ඇති නොකැමැත්ත කිසිදු අපහසුවකින් තොරවම සොහොයුරාගේ මුහුණටම කියා දැම්මේ තම දියණියගේ විවාහයට ඔහු දැක්වූ අකමැත්තද සිහිපත් කරවමිනි.
” අනේ මන්දන්නෑ.. අයියත් අපෙ කෙල්ලටම තමා හැමදේටම වැරදි කිව්වෙ… යස අගේට කුළ පරම්පරාවත් ගැළපිලා තියෙද්දි. දැන් මොකද පුතාගෙ කසාදෙට කැමති උනේ..? කුළ පරම්පරාව තියා ජාතියවත් ගැළපෙනවද. දෙමළ කෙල්ලක් මේ පවුලට ගාවගන්න හැබෑටම ලැජ්ජ නැද්ද අයියට…?”
නන්දාවතී මැණිකේගේ සොහොයුරා වූ පියසේන මුවගට නැඟුනු සිනහව පිටතට නොපෙනෙන්නට සඟවා ගත්තේ තම නැඟනියගේ සිතිවිලි මැනවින් හඳුනන බැවිනි.
” අපි සුනේත්‍රට වැරැද්දක් කරන්න හිතන් කිසිදෙයක් කිව්වෙ නෑනෙ නංගියේ. අනික අපි හෙව්වෙ කුල මල ගැන නෙවේ. කියපු කිසි දෙයක් බොරු වෙලා නෑනෙ. අදට පියල් ඉන්නෙ කටගොන්නක් බීගෙන. ඒ මදිවට රස්සාවකුත් නෑ. අපි කිව්වෙ ඔය දේවල් ගැනනෙ.”
” අනේ අනේ ඉතින් මොකට කියනවද… රස්සාවක් නොකලට මොකුත් මදිපාඩු නෑ මයෙ කෙල්ලට. ටිකක් තොලේකටේ ගාගත්තට පියල්ගෙන් කිසි කරදරයක් නෑ අපට. ඒ වගේද මේක. කාටවත් කටක් ඇරල කියන්න පුළුවන්ද අයියලට ලේලි දෙමළ කෙල්ලක්ය කියල..හහ්..! “
නන්දාවතී මැණිකේගේ කෝපයට පත් මුහුණ දුටු පියදාසගේ බිරිය වන හේමා පියදාස දෙස හොරෙහින් බලා සිනා සී බිම බලාගත්තාය. නන්දාවතී මැණිකේ පියල්ගේ කැරැට්ටුව වසන් කරන්නට හදන්නේ කුල මානයෙනි. තවත් කතාව දික් ගස්සන්නට නොසිතූ පියසේන සහ හේමා විවාහ මංගල්‍යයට බුලත් දී ආරධනා කොට හැකි ඉක්මනින් නිවසින් නික්ම ගියහ.
නන්දාවතී මැණිකේ සිය බාල දියණියත් බෑනාත් කුඩා මුණුපුරාත් කැටුව විවාහ මංගල්‍යයට සහභාගී වූයේ නම් සතුටු සිතින් නොවේ. මනාලිය පියකරුය. ඇගේ ඤාතීන්ද බොහෝ ප්‍රියමනාප මෙන්ම සිංහල භාශාව පවා මැනෙවින් හසුරුවන උදවිය වූහ. එහෙත් නන්දාවතී මැණිකේට ඒ කිසිවක් යහපත් ලෙස පෙනුනේ නැත.තම නෑදෑ පිරිවර අතර ගැවසෙමින් මනාලියගේ පර්ශවය ගැන ඔවුන් දරන අදහස් දැන ගැනීමට නන්දාවතී මැණිකේ උත්සුක වූවාය.
” ආ නංගියේ… කෝ ගෙදර සේරෝම ආවද…කිව්වට මොකද මං නං නෑවිත් බැරිකමට ආවෙ. කවදා වෙච්ච දේවල්ද මේවා…”
නන්දාවතී මැණිකේ තම නෑදෑ සොයුරිය අසල වාඩි ගෙන රහසින් මෙන් කීවාය.
” අනේ අක්කෙ අපෙ නම් අකමැත්තක් නෑ. දෙන්නා කැම්පස් එකේදිනෙ යාළුවෙලා තියෙන්නෙ. ජාතිය වෙනස් උනාට මොකද හොඳ රස්සාවක් තියනව ඉගෙන ගෙන තියනවා. බලන්ඩකො උඩරට ඔසරියට සිංහල කෙල්ලෙකුටත් වඩා හැඩයිනෙ…ඒක නෙවේ අක්කෙ පියල්ට තාම රස්සාවක් ගියේ නැද්ද ? පෙරෙද මම ටවුමට යද්දිත් දැක්ක කොල්ලො කාණ්ඩයක් එක්ක රංචු ගැහිල ඉන්නව. “
” ආ…මේ..රස්සා ඕන නෑ පියල් පුතාට ඉඩකඩං වතුපිටි වලින් ආදායම එනවනේ…මං මේ අර එගොඩවත්තෙ නංගිලාටත් කතා කරල එන්නංකෝ ඈ..”
නන්දාවතී මැණිකේ හීන් සීරුවේ මඟහැර යනු දුටු ඤාති සොයුරියට සිහින් සිනාවක් නැඟුනි.
තම ඤාති සොයුරියගේ වදන් නිසා නන්දාවතී මැණිකේට ඇති.වූයේ තදබල නොරිස්සුමකි. අනෙක් නෑදැයින් අතර ගැවසුනද ඔවුන් අතර වූයේද එවැනිම අදහස් වීම ඇගේ කෝපය තවදුරටත් තීව්ර කරන්නට විය. කතාබහේදී තම බෑනාගේ කැරැට්ටුවද විටින් විට මතුවීම තවදුරටත් සිත රිදවන්නක් විය.
මංගල්‍යය නිමා විය. නෑදෑ පිරිස බැහැ දැකීමට යන ගමනේදී මනාළ යුවල නන්දාවතී මැණිකේගේ නිවසට පැමිණියේ සුනේත්රාද නිවසේ උන් දිනකය. නන්දාවති මැණිකේ යුවල පිළිගත්තේ එතරම් කැමැත්තකින් නොවේ. තම නැන්දාගේ ස්භාවය නිවසට පැමිණීමට පෙර මේනක විසින් තම බිරිය වූ ශාන්තිනීට පැහැදිළි කර තිබූ බැවින් නැන්දාගේ හැසිරීම දෙදෙනාටම අමුත්තක් වූයේ නැත.තම ඤාති සොහොයුරාගේ බිරිඳ පිළිබඳව සුනේත්රාටද වූයේ පැහැදීමකි. ඈ දමිළ ජාතික කාන්තවක් බව පෙනුමෙන් වුව කිව නොහැක. එමෙන්ම ඈ චතුර ලෙස සිංහල බව හසුරුවන බුද්ධිමත් තරුණියක වූවාය. තම මවගේ සිතේ වන නොරිස්සුම් ස්භාවය සුනේත්‍රා මැනවින් දැන උන්නාය. එය වැරදි වැටහීමකි. තමාගේ හා පියල්ගේ සම්බන්ධයට මාමාලා විරුද්ධ වූ හේතුව ඇයට දැන් මැනවින් වැටහෙයි. එහි වූයේ පරම්පරාව සම්බන්ධ ගැටළුවක් නොවේ. එහෙත් දැන් සියල්ලට පමා වැඩිය. තම සොහොයුරා විවාහයට තෝරාගෙන ඇත්තේ අතිශය නිවැරදි යුවතියයි. සුනේත්‍රා යුවලට හැකි ඉස්තරම්ම ලෙසින් සංග්‍රහ කලාය. නන්දාවතී මැණිකේ දියණියට උදව් දුන්නේ නොසතුටු සිතිනි. යුවල පිට වී ගිය පසු සුනේත්‍රාගේ දෙසවන් පිරෙන්නට බැනුම් වරුසාවක් නන්දාවතී මැණිකේ විසින් ඇගේ සවනත පතිත කලාය.
” සුනේත්‍රා…, උඹට මක් වෙලාද අර ගෑනි එක්ක ඔච්චර බඩ බැඳගෙන සිරික්කිය දාගෙන කතාවට ගියේ. අනේ මං දන්නෑ මේ පවුලේ ඔක්කොම එවුන්ට පිස්සු හැදීගෙන එනවද කොහෙද…”
තර්ක කිරීමට අකමැති වූ සුනේත්‍රා නිහඬවම තම මවගේ වදන් නෑසෙන සේ උන්නාය.
තවත් අවුරුද්දක් පමණ කාලය ගත වූ තැන මේනකත් ශාන්තිනීත් සිඟිති දියණියකගේ මව්පියන් බවට පත් වන්නට වාසනාව ලදහ. සුනේත්‍රා මහත් සෙනෙහසින් තම පුතුද කැටුව සිඟිත්තා බැලීමට ගියත් නන්දාවතී මැණිකේ කිසි ලෙසකින් වත් එම ගමනට සහභාගී වන්නට අකමැති වූවාය.
” උඹට පිස්සුද සුනේත්‍රා. ඔය දරුව කොහොමද අපෙ කෙනෙක් කියල කටක් ඇරල කියන්නෙ. කලවම් ලේ අපෙ පවුලෙ කාටද තියෙන්නෙ බොල. උඹට වැඩක් නැත්තං ගෙදර ඉඳන් වත්ත පිටිය අස් කරල දාපං…”
තමාගේ ගෝරනාඩුවට සුනේත්‍රා නතර කල නොහැකි වූ තැන නන්දාවතී මැණිකේ කෝපයෙන් යුතුව කාමරයට වැදී දොර වසා ගත්තාය.
තම නැන්දා නොපැමිණිම පිළිබඳව හේතු දන්නා මේනක හෝ ඔහුගේ බිරිඳ කිසි විටකත් ඈ පිළිබඳ අහිතක් නොසිතූහ. ඒ වෙනුවට ඔවුන් තුළ තිබුනේ නැන්දා කෙරෙහි වූ අනුකම්පාවක් පමණි. කල් ගත වත්ම නන්දාවතී මැණිකේ සිය සහෝදරායාගේ නිවසට යාම සම්පූර්ණයෙන් නතර කර දැම්මාය. එහෙත් පියසේනට තම නැඟනිය කෙරෙහි අබමල් රේණුවක තරම් වත් අහිතක් නොවූයෙන් නැඟනිය දැකීමට ඇගේ නිවසට පැමිණියේය. නන්දාවතී මැණිකේ තම සොහොයුරා පිළිගත්තේ සතුටු සිතින් නම් නොවේ . ඒ බව පියසේනද හොඳින් වටහාගත්තේය.
” මොකද නංගි තරහ වෙලාද අපෙ පැත්තෙ එන්නෙවත් නැත්තේ. සුනේත්‍රා දුව නම් ගිය සතියෙත් ඇවිත් දරුව බලල ආවා.”
” හහ්… අනෙ මගෙ ඇති තරහක් නෑ. ඒත් ඉතින් අයියලගෙ ගෙවල් වල වෙන දේවල් මට ඉවසුම් දෙන් නෑ. නිකන් මොකටද ලේ කෝප කරගන්නේ…”
“නංගිට කෝප වෙන්න තරං දෙයක් අපෙ අතින් උනා කියල මං නම් හිතන්නෑ…”
“ඔව්..ඔව්..අයියලා ඉතින් මේ පවුලෙ නම්බුව ගැන හිතල නෙවේනෙ වැඩ කරන්නෙ. අයියට පුළුවන්ද ඔය කලවන් ලේ තියන එවුන් තමන්ගෙ මිණිපිරී කියල ලෝකෙට කියන්න..හහ්…”
තම නැඟනියගේ මුවින් පිටවූ අකාරුණික වදනින් පියසේනගේ සිත බිඳි ගියේය. කීමට බොහෝ දේ සිතට පැමිණියත් බෙහෙවින් ඉවසන පුද්ගලයකු වූ පියසේන එදින නිවසින් පිට වූයේ යලිත් කිසිදු දිනෙක තම නැඟනියගේ නිවසෙහි පස් නොපාගන බවට තම සිතට පොරොන්දු වෙමිනි.
එහෙත් එදින රාත්‍රියේ දින කිහිපයක පටන් තිබූ නන්දාවතී මැණිකේගේ අසනීප තත්වය වැඩි වීමත් සමඟ සුනේත්‍රා දුරකතනයෙන් ඇමතුවේ තම ලොකු මාමාටය. තමාට කෙතරම් වැරදි කලද අපහාස කලද මෙවන් අවස්ථාවක නැඟනිය මඟහැර සිටීමට පියසේනට හැකිවූයේ නැත. එබැවින් උදය වරුවේ නැඟනියගේ නිවසේදී සිතට දුන් පොරොන්දුව රාත්‍රිය වන විට කඩ කර දැමීමට ඔහු මොහොතක් හෝ පමා වූයේ නැත.
රෝගී තත්වය තරමක් බරපතල වූ බැවින් නන්දාවතී මැණිකේට සති එකහමාරක් පමණ රෝහල් ගත වී ප්‍රතිකාර ලබන්නට සිදුවිය. අවසානයේ සැත්කමක්ද සිදු කිරීමෙන් පසු තරමක් යථා තත්වයට පත් වූ නන්දාවතී මැණිකේ නිවසට කැඳවාගෙන එන ලදි. විවේක සුවයෙන් පසු වූ නන්දාවතී මැණිකේ බැලීමට පවුලේ නෑදෑයින් විටින් විට පැමිණ ගියහ. නිවසට පැමිණ සතියක් පමණ කල් ගත වූ පසු පියසේනද තම නැඟනියගේ සුව දුක් බැලීමට පැමිණියේ පළතුරු සහ වෙනත් පෝෂ්‍යදායී අහාර රැගත් මල්ලක්ද ඔසවාගෙනයි. එදින සුනේත්රාද නිවසේ රැඳී උන්නාය. තම සොහොයුරා ගෙන ආ කෑම බීම සහිත මල්ල දුටු නන්දාවතී මැණිකේ මාන්නයෙන් හිස උදුම්මා ගත්තාය.
” හහ්…අයියට දැන්ද මාව මතක් උනේ…? මොනවද ඔය හැටි උස්සන් ආවෙ…ඔව්වනම් ගේ ඇතුලෙ පුරෝලා ඇති…පියල් පුතාගෙ ගෙදරින් එහෙමත් ආවනෙ…”
මවගේ කතාවත් සමඟම ගෙතුල සිටි සුනේත්‍රා වහා පිටතට පැමිණියාය.මවගේ කතාව ඇසූ සිය ලොකු මාමා සිහින් සිනාවකින් සුනේත්‍රා දෙස බලන විට සුනේත්‍රාට ඇති වූයේ කෝපයකි.
” අනේ අම්මා …,දැන් වත් ඔය බොරු ලොකුකම් දාන එක නතර කරනවද. කවුරුත් ගෙනාපු ඇති දෙයක් නෑ ලොකු මාමෙ. ඔක්කොම කරන්න ඕන මගෙ පඩියෙන්.මේ ගෙනාපුව මහමෙරක් වගේ . අම්ම ඉස්පිරිතාලෙ ඉද්දි නිවාඩුත් දැම්ම නිසා මේ මාසෙත් පඩි අඩුයි. අක්ක රට හිටියට මොකෝ සතයක් වත් එවනව කියලයෙ…”
සුනේත්‍රා වේගයෙන් කියාගෙන යන විට නන්දාවතී මැණිකේ කෝපයෙන් හිස ගස්සා දැමුවාය. පියසේන හෙමිහින් හිස ඉහලට පහට වැනුවේ දියණිය කියන සියල්ලක්ම තමා දන්නා බව අඟවමිනි.
” ඉතින් මාමෙ ඇයි තනියම ආවෙ…”
” නැන්ද නම් එන්න හැදුව. මං කීව වෙන දවසක එමුයි කියල. මම මේ තනියම ආවෙ පොඩි කාරනේකට. පුතත් නං ගෙදර පස්සෙ දවසක ඒවි එයාලත්…”
සුනේත්‍රා තවත් යමක් විමසීමට පෙරම නන්දාවතී මැණිකේ යලිත් වරක් තම කටහඬ අවදි කලාය.
” අයිය එක්ක වත් නෑන එක්කවත් මට කිසි තරහක් නෑ. අයියයි නෑනයි පුතයි ඕන වෙලාවක ආවට කමකුත් නෑ. හැබැයි අර දෙමළ ගෑනියි දරුවයි මෙහෙ නාවට කමක් නෑ. කලවං ලේ…මගෙ ලේ ටික කෝප වෙනව මතක් වෙදිදිත්…”
සුනේත්‍රා දෑස විසල් කර මව දෙස බැලුවේත් පියසේන ප්‍රශ්නාර්ථයෙන් යුතුව සුනේත්‍රා දෙස බැලුවේත් එකවැරය.
” මට තාම අම්මට කියන්න බැරි උනා ලොකු මාමෙ…”
සුනේත්‍රා පියසේන දෙසට හැරී කීවේ පසුතැවිලි ස්වරූපයෙනි. සුනේත්‍රා කියූ දෙයෙහි අරුත වටහා ගැනීමට නොහැකි වූ නන්දාවතී මැණිකේ සුනේත්‍රා දෙසත් පියසේන දෙසත් නෙත් හෙලන්නට වූයේ විමතියෙනි.
” කමක් නෑ දුව. ඒ ගැන කියන්නත් එක්කම තමා අද මං තනියම ආවේ. තව…කාලාන්තරයක් දුවගෙ අම්මගෙන් හංගන් හිටපු කතාවකුත් තියෙනව මට කියන්න…”
එවර නන්දාවතී මැණිකේ මෙන්ම සුනේත්රාද කුහුලින් යුතුව පියසේන දෙස බැලූහ.
” ඉස්සරවෙලාම මට කියන්න තියෙන්නෙ නංගි හිතන් ඉන්නවනම් අපෙ පුතාගෙ දරුවගෙ කලවං ලේ තියනව කියල දැන් නංගිගෙ ඇඟෙත් තියෙන්නෙ කලවං ලේ තමා…”
තම සොයුරාගේ වදනින් කෝපයට පත් වූ නන්දාවතී මැණිකේ කිසිවක් නොතේරුන ලෙසින් තම දියණිය දෙස බැලුවාය. සුනේත්‍රා පහලට නමාගත් හිසින් යුතුව උලුවස්සට හේත්තු වී උන්නාය.
” නංගිට මතකද දන්නෙ නෑ එදා රෑ අමාරු උන වෙලාව. හරි සිහියක් තිබ්බෙත් නෑනෙ. සුනේත්‍රා දුව ඉක්මනට අපිට කෝල් කරපු නිසා හොඳයි. පුතා ගෙදර හිටියෙත් නෑ. මායි හාමිනෙයි ශාන්ති දුවයි ආවෙ මෙහෙ. කාර් එක අරන් ආවෙත් ශාන්ති දුව. දරුවව හාමිනේ ළඟ තියල සුනේත්‍රා දුවයි මමයි තමා නංගිව පිටිපස්සෙ සීට් එකේ තියන් ගියේ. ශාන්ති දුව පුදුම වේගෙකින් කාර් එකත් අරන් ඉස්පිරිතාලෙට ගියේ…”
“තම සොයුරා කියන කිසිවක් අදහාගත නොහැකි ලෙසින් නන්දාවතී මැණිකේ දෑස් විසල් කර නිහඬවම බලා උන්නාය.
” ඒ විතරක් නෙවෙයි අම්මෙ. අම්මට ඔපරේෂන් එක කරද්දි ලේ ඕන උනා. මගෙ ලේ ගැලපුනේ නෑ. පියල්ගෙ තිබුනෙ අම්මට ගැලපෙන ලේ.ඒත් පියල් කැමති උනේ නෑ ලේ දෙන්න. අන්තිමේට ශාන්ති අක්ක තමා අම්මට ලේ දුන්නෙත්…”
තම දියණියගේ එවදන් ඇසූ නන්දාවතී මැණිකේගේ දෑසට කඳුලක් උනා එන්නට විය. එහෙත් වචනයක් වත් තම මුවින් පිට කිරිමේ ශක්තිය ඇයට නොවිනි.
” ඒ වගේම මේ කතාවත් දැන් නංගි දැනගන්න ඕන කියල මං හිතනවා. බොහොම පරණ කතාවක් මේ… අපෙ තාත්තගෙ පැත්තෙ සහෝදරයෙක් ඉඳල තියනවා එගොඩහ වත්තෙ. තාත්තගෙම සහෝදරයෙක් නෙවේ නෑදෑ සහෝදරයෙක්… ඒ කාලේ ඒ බාප්පා හොරෙන්ම කසාද බැඳල එක්කරන් ඇවිත් තියනව දෙමළ ගෑනු ළමයෙක්.
පවුලෙ කවුරුත් කැමති වෙලා ඉඳල නෑ ඕකට. මටත් තියනව යන්තම් මතකයක්. මට එතකොට අවුරුදු දයක් දොලහක් ඇති. නැන්දම්ම විතරක් නෙවේ පවුලෙ හැමෝම ඒ ගෑනු ළමයට වෙනස්කම් කරල තියනව. අන්තිමේදි කොහොමින් කොහොම හරි ඒ ගෑනු ළමයට දරුවෙක් ලැබෙන්න ඉඳලා. ඒ කාලෙත් හරියට කන්න වත් දීල නෑ මේ මිනිස්සු. ඒ බාප්පත් දවස් දෙක තුන වැඩට ගිහින් එන්නෙ නැතිව ඉන්නවලු. ආවම කිසි දෙයක් කවුරුත් කියල නෑ. පස්සෙ දරුව ලැබිල සතියකින් වගේ ලියුමක් ලියල තියල ඔය දෙමළ ගෑනු කෙනා එල්ලිල මැරිල තියනවා. ලියුම දැකල හැමදේම බාප්ප දැනගද්දි ඔක්කොම වෙලා ඉවරලු. ඒත් හැබැයි ගෙදර මිනිස්සු නම් හැදිල නෑ. දරුව හදාගන්න කිසිකෙනෙක් කැමති වෙලා නෑ. ඒ බාප්ප පිස්සුවෙන් වගේ දරුවත් වඩාගෙන ඇවිත් අඬ අඬ අපෙ අම්ම අතට දිල දරුව බාරගන්න කියල හැරිල ගියාලු. එදා හවසම ඒ බාප්පත් එල්ලිලා මැරිල තියනව…හ්ම්ම්… ඒ පවුලෙ හැමෝම ගෙවල් ඇතැරල ගමෙනුත් ගිහින්… අපෙ මල්ලිට අවුරුදු දෙකක් ඇති එතකොට. අම්මයි තාත්තයි අර දරුවත් ආදරෙන් හදාගත්තා. පවුලෙ ඉන්න පරණම ඈයො විතරයි ඕක දන්නේ. අපෙ මල්ලි වත් දන් නෑ. ඒ දරුව උඹ තමා නංගියේ…”
තම සොයුරාගේ කතාව ඇසූ නන්දාවතී මැණිකේගේ දෑසින් කඳුලු කඩා වැටෙමින් තිබුණි. සුනේත්රාද උන්නේ අදහාගත නොහැකි ලෙසිනි. සුසුමක් හෙලා මොහොතක් නිහඬව සිටි පියසේන යලිත් තම හඬ අවදි කළේය.
” උඹට මතක ඇති දවසක් තියේනම් කියපං බලන්න අපි උඹට වෙනස්කමක් කරපු…හ්ම්ම්…මං නම් උඹව මල්ලිටත් වඩා ආදරෙන් බලාගත්තා. අම්ම තාත්ත උනත් එහෙමයි. මම මේව කවදාවත් කියන්න හිතන් හිටියෙ නෑ. ඒත් අර පුංචි දරුවට කියන කතා අහගෙන මට තවත් ඉවසන් ඉන්න බැරි උනා. මට සමාවෙයන් නංගියේ. සුනේත්‍රා දුව මම එහෙනම් ගිහින් එන්නම්…”
තවත් මොහොතක් හෝ නන්දාවතී මැණිකේගේ නිවසේ පමා වීමට නොසිතූ පියසේන දෑසට නැගි කඳුලක් පිස දමමින් යන්නට ගියේ නන්දාවතී මැණිකේ මෙන්ම සුනේත්රාද තුෂ්ණීම්භූතව බලා සිටියදීය.
නිමි.
උපුටා ගැනීම: පුෂ්පිකා විජේරත්න.