” අද මගේ schedule එක කොහොමද?”
” අද මිස් 9ට තියෙනවා සිතිර එෆ් එම් එකේ මෝනින් ශෝ එක. ඊට පස්සෙ සන් ටී වී එකේ චැට් ප්රෝග්රෑම් එක තියනවා නයිට් එකේ.”
” ආ අද ශූටින් නෑ නේද එහෙනම්”
” නෑ මිස්. හැබැයි මිස්ගෙ අංකල් එන්න කිව්වා නේද සැලෝන් එකට?”
” ආ ඔව්. මං තුනට විතර එනවා කියන්න. තැන්ක් යූ සුගන්දි”
“හරි මිස්. මං එන්න ඕනද මිස් එක්ක යන්න අද?”
” නෑ නෑ. ශූටින් නෑනේ. ඔයා අද ඉන්න. මං අප්පු එක්ක යන්නම්”
” හරි මිස්. තැන්ක්යූ “
…………………
ඇය ලා කොල පාට සහ සුදු මිශ්ර බතික් ඔසරියට සුදු බෝරිච්ච් අත් දාපු හැට්ටයක් ඇන්දා. අතට පුංචි තනි වලල්ලක් සහ කනට මුතු තෝඩු දෙකක් දාගත්තේ. හැමදාම වගේ මොනවා ඇන්දත් ඇයගෙ කලු පටිය තියෙන පුංචි ඔරලෝසුව ඇය අමතක කරේ නෑ. ඇය සිරුරින් ඉතා සිහින් තරුණියක්. කලු කෙස් වැටිය ඇය පිලිවලට ෆ්රෙන්ච් බ්රේඩ් කරගෙන කන්නාඩියට එබුනා. කෙතරම් ජනප්රිය වුනත් ඇය මොන වැඩසටහනට සහබාගි වුනත් නිලියක් වෙන්න ප්රථමව තිබුනු සරල කම අදටත් එහෙමයි. මිනිස්සු වැඩියෙන්ම ආදරය කලෙත් මේ නිහතමානී සරල ගති පැවතුම් වලට. යන්තම් පුයර ටිකක් ගාගත් ඈ ලා රෝස පාටින් තොල් සායම් කරන් ගෙයින් පිටවුනා.
” අප්පු… අපි යමුද?”
” හරි නෝනා. අද කොහෙද යන්නෙ?”
” සිතිර එකට”
” ආ හරි. නෝනා කෑවද?”
” අපි ශොප් එක ගාව පොඩ්ඩක් නවත්තලා යමු අප්පු.”
” ආ හරි නෝනා”
ලිට්ල් කාට් පේස්ට්රි ශොප් කියන්නෙ කොළඹ ඒ දවස්වල තිබුනු ජනප්රියම පේස්ට්රි ශොප් එකක්. ඒත් ඒක අයිති මෙම නිලියට වග දන්නෙ බොහොම ටික දෙනයි. ඇයගෙ නම සමාධි. සමාධි විජේධර්ම කීවම පොඩි දරුවගෙ ඉදන් මහළු ම පුද්ගලයා තෙක්ම දන්න තරම් ඇයගේ ප්රේක්ෂක පරාසය බෙහෙවින් පුළුල්.
ඇය පුරුදු විදියටම දවස පටන්ගත්තෙ ඇයගේ ව්යාපාර ස්තානයේ අත්සන් කරන්න අවශ්ය ලියකිවිලි සහ අඩුපාඩු පරික්ශා කිරීමෙන් පසුව. ඇය අනර්ග නිලියක් වගේම හොඳ ව්යාපාරිකාවක් වුනා. ඒ ඇයගේ ජීවිතයේ සුරම්ය යුගය කීවොත් නිවැරදී.
“ඉතිං සමාධි… මොනවද අලුත් වැඩ කටයුතු?”
” ම්ම්… විශේෂයක් නෑ. බිස්නස් වැඩයි රඟපාන වැඩයි කරගෙන යනවා ඉතිං.”
” මොනවද මේ දවස් වල රඟපාන නාට්ය? අලුතෙන් මොනවත් එන්න තියෙනවද?”
” ම්ම්ම්… මේ දවස්වල වරාමල් ඩ්රාමා එකේ ශූටින් කරගෙන යනවා. ඉස්සරහටනම් අලුතින් මුකුත් තවම බාරගත්තෙ නෑ”
“ඒ කියන්නෙ ඔබ මේ වුර්තියට සමුදෙන්නද කල්පනාව? “
“අනේ නෑ. මං ආස නෑ වැඩ ගොඩක් ගොඩ ගහගන්න. මානසික නිදහසත් වැදගත්නෙ නේද?”
” ඔව්. ඒක ඇත්ත. ඔබ පෙම්වතියක්ද?”
” ම්.. හෙහේ නැහැ. ඇත්තටම තාම නෑ”
” ඒකනම් හිතන්නත් අමාරුයි. රටම ආදරය කරන මේ තරම් සුන්දර යුවතියකට පෙම්වතෙක් නෑ කිව්වම?”
” නෑ ඇත්තටම මං හුඟක් ගෙදරටම වෙලා ඉන්න ආස කෙනෙක්. ඒ නිසා මට මගෙ වයසේ අයත් එක්ක ලොකු ඇසුරක් නෑ. ඒ නිසා වෙන්න ඇති මං හිතන්නෙ මං තවම තනිකඩ…”
” ඒ කියන්නෙ සමාධිට තවම ආදරවන්තයෙක් නෑ. ඔන්න අපි මේක බලන පිරිමි ළමයින්ට ගුඩ් නිව්ස් එකක් දුන්නා කියලා හිතනවා. ඔයාලට තවමත් අවස්තාව තියෙනවා සමාධිගෙ හිත දිනාගන්න. එහෙම නේද සමාධි…?”
” එහෙමත් නෑ ඉතිං…”
සමාධිගෙ සුදු මූන එක පාරම රතු වුනා.
” ඒ කියන්නෙ?”
” පෙම්වතෙක් නැතුවට හිත තැනක නැවතිලා තියෙන්නෙ. අපි බලමුකො ඉස්සරහට”
” අනේ… අනිවාරයෙන්ම. එහෙනම් බෝයිස් ඔයාලට දැනට චාන්ස් එකක් නෑ. සමාධිගෙ හිත දැනටම හොරකම් කරලා…”
“හිහී…”
සමාධි මාධ්ය සාකච්චාවෙන් පසු පිටත් වුනේ අර අහපු ප්රශ්න වලට තවමත් හද ගැස්ම වැඩි වී තිබියදිමයි.
” අප්පු අපි ගෙදර යන්න කලින් මාධවගේ මියුසික් ස්කූල් එකට ගිහිං යමු… ලිට්ල් කාට් එකෙන් මොනවා හරි අරන්ම යමු…”
“හරි නෝනා…”
සමාධිගෙ හිත හොරකම් කරපු කුමාරයා වුනේ මාධව. ඔහු ශාස්ත්රීය සංගීත ගුරුවරයෙක්. ඒවගේම විශාරදවරයෙක්. ඔහුගේම ගීත කරනවට වඩා ඔහු නැඹුරු වුනේ සංගීතය උගන්වන්න. ඔහුත් මාධවී වගේම හරිම නිවුනු චරිතයක්. ඒ නිවුනු චරිතයට වගේම ඔහුගේ කවිකාර හිතට සමාධි හිටියෙ වශී වෙලා. ඒත් මාධව මේ ගැන දන්නෙ නෑ.
මාධව ඇයගෙ උපන්දිනය ලියූ කවිපෙලක් තවමත් ඇයට කටපාඩමින් මතකයි. ඒ වචන හරිම සුන්දරයි.
” නෙතින් දොඩනා නිල් වරල හිමි කාරී,
රිදී තිරයේ රඟන අහිංසක මාධී,
භාවනාවක් වැනිය නුඹත් හැඩකාරී,
සුබ උපන් දින පැතුම් පිලිගන්න ප්රේමී…”
ඇය ඒ වචන දිගේ ඉමක් කොනක් නැතුව හිතුවා. එදා ඉදන් ඇයගෙ හිතේ රජ වුනේ ඔහුමයි. ඔවුන් නිතර මුනගැහුනා. කලාව ගැන වරුගනන් කතා කරා. ඔහු හරිම ලෙංගතු මනුස්සයෙක්. ලෝකෙ මිනිස්සු හුඟක් දේවල් වලට ඇලිලා ඉද්දි ඔහු සැණසීම වින්දෙ අත් හැරීම තුල. ඔහු බෞද්ධ දර්ශනය ගැන නිතරම මාධවීට පැහැදිලි කලා. ඒ වගේම වෙනත් පිරිමි ළමුන් ලඟ වගේ සෙල්ලක්කාර ගති පැවතුම් ඔහු තුල ගෑවිලාවත් තුබුනෙ නෑ. ඔහු නිර්ව්යාජව සුන්දර දේ ඇගයුවා. ඒත් එහි දයාබරකමින් එහාට නුරාව යන්තංවත් ගෑවිලා තිබුනෙ නෑ. ඇත්තටම ඔහු අමුතු තරුණයෙක්. නිතරම කුර්තාවකින් සහ සුදු පිජාමා කලිසමකින් සැරසී සිටින ඔහුගෙන් දිස් වුනේ හරිම පිංවන්ත පෙනුමක්.
සමාධි මාධවට ඇයගේ පේස්ට්රි ශොප් එකෙන් ඉක්ලෙයාස් කීපයක් පෙට්ටියකට අසුරගත්තා. ඔහු මේවාට ඉතාමත් ප්රිය බව ඔහු නිතරම පැවසුවා. ඔවුන් දහවල් දොලහා පමන වෙත්ම සංගීත පාසලට ගොඩ වුනා.
” අනේ සමාධි, කියන්නෙත් නැතුවම ඇවිදින්. එන්න එන්න. අම්මෙ මොනවද මේ බරටම උස්සන් ඇවිත් තියෙන්නෙ?”
” ඉක්ලෙයාස්!”
” ශා. මං ආසම කෑම. අපි තේ කක් බොමුද නැත්තං රස්නෙ නිසා කූල් මොනවහරි බොනවද?”
” තේ බොමු. කොච්චර රස්නි වුනත් ඉක්ලෙයාස් හරියන්නෙ උනු බීමක් එක්ක. “
” ඒකනම් ඇත්ත… මාමේ, සමාධි මිස්ටයි මටයි අප්පොටයි තේ ටිකක් හදන්නකෝ. “
ඔහු මාමා යැයි කිවෙ ඔහුගෙ උදව්වට ඉන්න සේවකයාට. ඔහු ඒ වගේ හැමෝටම කාරුණික මනුස්සයෙක්.
” ඉතිං ඉතිං. මොකෝ මාව මතක් වුනේ?”
” අමතක වෙලා හිටියෙ නෑ අයියේ. දන්නැද්ද. බිසී වුනා ශූටින් වලට. “
“ආ. කොහොමද ඒ වෑඩකටයුතු? හොඳින් කෙරෙනවද?”
” වරදක් නෑ. කරගෙන යනවා.”
” ශොප් එකට එන්නත් බැරි වුනා කාලෙකින්. එන්නම්කො වෙලාවක ඇවිත් යන්න…”
” එන්න එන්න. එනවනම් කෝල් එකක් දෙන්න. මාත් එන්නම්”
” අනිවාරයෙන්. කියන්නකො ඉතිං… ආ මාමා තේත් ගෙනල්ලා…”
“ආ මාමෙ මාමත් ඉක්ලෙයාස් කන්න. “
” තැන්ක්යූ සමාධි මිස්”
” මාමත් තේ හදාගත්තද?”
” ඔව්. කුස්සිය් තියෙනවා මහත්තයො. මං බොන්නම්.”
“හරි මාමේ…”
” ඉතිං සමාධි… කියන්නකො?”
” කියන්නකො කියන්නෙ? මොනවද?”
” මට හිතෙනවා සමාධි අද මොනවහරි ලොකු දෙයක් කියන්න ඇවිත් වගේ. නාත්තං ඔයා ඔය ඔසරියත් පටලන් මෙහෙම දුවන් එන්නෙ නෑ…”
” හ්ම්ම්… ඔව්. දෙයක් කියන්න නෙමෙයි. අහන්නයි ආවෙ.”
” අහන්නකෝ…”
” මාධව අයියෙ… මං සාම්ප්රදායික බොලඳ කෙල්ලෙක් නෙමෙයි. බොරු දේවල් මං හිතන්නෙ නෑ.”
” ඒක මං දන්නවනේ… ඉතිං…?”
” අයියේ… මගෙ හිතේ අයියා ගැන කාලයක් තිස්සෙ ලොකු පැහැදීමක් තියෙනවා. මං අද ඒක අයියට කියන්න ඕන කියලා තීරණය කරන් තමයි ආවෙ. අපි අවුරුදු ගානක් අදුරනවනේ. මං ඔයාට හරිම ලෙංගතුයි. ඔයත් මට හරිම දයාබරයි. ඉතිං තවත් හංගගෙන ඉන්න උවමනාවක් නෑ කියලා හිතුනා…”
මාධව ලා සිනහවක් මුහුනේ හොවාගෙනම සුවපහසුව සැහැල්ලුවෙන් සෝෆාවෙ වාඩි වී පිලිතුරු සපයන්න මුල පිරුවා.
” නංගි දවසක ඔතනට ඒවි කියලා මට තේරුනා. නංගිත් තරුණ දරුවෙක්නේ. පිරිමි පාර්ශවයේ කෙනෙක්ව ලඟිං හුඟක් කල් ඇසුරු කරාම එවැනි හැඟීම් ඇති වෙන එක ස්වභාවිකයි. මට තේර්නා නංගි කොහොමත් මට හුඟක් ලෙන්ගතු වග”
” හ්ම්ම්… මං හුඟක්ම කැමති අයියගෙ මේ නිවුනු ගති පැවතුම් වලට”
” ඔව්. ඔයත් හුඟක් තැන්පත් ළමයෙක්නේ. ගැඹුරින් හිතන හිත් මේ කාලෙ දුලබයි. ඉතිං එක වගේ හිතන මිනිස්සු අතර ශක්තිමත් බැඳීමක් ඇති වෙනවා. මාත් ඒකයි නංගි එක්ක කතා බස් කරන්න හුඟක් කැමති.”
” හ්ම්ම්… ඉතිං අයියා මොකද හිතන්නෙ?”
” මං ඇත්තටම නංගිට හුඟක් කැමති. මට නංගිව හිතට හුඟක් කිට්ටුයි. මගෙම කෙනෙක් වගේ. නංගි ගැන විහිළුටවත් අහිතක් හිතන්න මට බෑ. ඒත් නංගි ඔයා දන්නවනෙ මං හුඟක් දේවල් වලින් මිදෙන්න හදන කෙනෙක්. මං අකමැතී කිසිම දේකට ඇලෙන්න. ප්රේමයත් අන්තිමට ඇලීමක්. මගේ තියෙන මානසිකත්වයත් එක්ක, මං ඔයාට බොරුවට කැමති වෙලා අන්තිමේදි මගෙ මේ නොඇලෙන ස්වභාවයත් එක්ක තුරුණු හිතක් බලාපොරොත්තු වෙන බොලඳ ආදරයක් මට දෙන්න බැරි වුනොත් ඒක මං ඔයාට කරන අසාධාරණයක්. ඒ වගේම විවාහය වගේ බැඳීම් වල තියෙන හිස් බව වටහා ගත්ත මට ඒ වගේ බැඳීමකට හිර වෙන එක වේදනාවක්…”
“මට තේරෙනවා අයියා කියන දේ… ඒකට කමක් නෑ අයියේ. අයියට පිං ඔය උත්තරය ඔහොම පැහැදිලිව පහදලා දුන්නට.”
සමාධි සාරි පොටින් ඉක්මනට කදුලක් පිහදගෙන මදහසක් පෑවා.
” නංගි ගෙ වරදක් නෙමෙයි. මං හිතන්නෙ මං කිසිම කෙනෙක්ව කසාද බදින එකක් නෑ නංගි. “
” මට තේරෙනවා අයියේ. එහෙනම් මං ගිහිං එන්නම්.”
” හරි නංගි. ගිහිං එන්න. තෙරුවන් සරණයි!”
” තෙරුවන් සරණයි අයියෙ!”
………………………
ඉන් වසර දෙක තුනක් යන තුරුත් සමාධි රංගන කටයුතු තුල නිරත වුනා. ව්යාපාරයත් හොදින් කරගෙන ගියා. මාධවව විශේෂ අවස්තාවන් වලදි මුන ගැසුනත් පුරුදු සුහදත්වයෙන්ම දෙදෙනා කතා බස් කරා. ඒත් සමාධි මිනිසුන් අතරදි නොපෙන්වූවත් ඒ කාලය ගෙවුවෙ ඉතාම කලකිරීමෙන්. ඇය උපතේදිම ඇයගෙ මව මෙලොවින් සමුගත්තා. ඇය විශ්යවිද්යාලයෙන් පිට වෙද්දිම ඇයගේ පියා ජීවිතයෙන් සමුගත්තා. නෑදෑයෙකුට හිටියෙ ඇයගේ මාමා පමනයි. පාළුවෙන් ගෙවුනු ඇගෙ ජීවිතයෙ එකම සුන්දරම බලාපොරොත්තුව වුනේ මාධව. මාධව තරම් ඇයව තේරුම් ගන්න එවැනි ගුණ යහපත් අයෙක් තවත් සිටින්නට නොහැකි බව ඇය දැඩිව විශ්වාස කරා. ඒත් ඇයට කල හැකි යමක් නැති වග ඇය වටහාගත්තා. වසර තුනකට පසු ඇයට තවත් බොරු මවාපෑමක් තුල ජීවත් වීමට අපහසු නිසාම ඇය ඇගේ වුර්තීයට සමුදුන්නා. ව්යාපාරයද ඉන්දීය ජාතිකයෙක්ට විකුනා දැමුවා. ඇය විදෙශ රටකට නික්මුනා.
මාධ්යය ට ඇයව කාලයත් සමගම අමතක වුනා. ඇය පිටරටදී මුලින්ම පෙරපාසැල් ගුරුවරියක් ලෙස වැඩ කරා. පුංචි දරුවො සමග ඉද්දි ඇය දුක අමතක කොට ජීවත් වෙන්න පුරුදු වුනා. ඒ අතරතුර ඇය මනෝවිද්යාව ගැන පාතමාලා හැදෑරුවා. පසු කාලිනව ඇය ඒ හරහා තරුණ පරපුරට කවුන්සිලින් සැපයුවා. රිදුන හිත් සුවපත් කිරීම තුලින් ඇය අමුතු සතුටක් වින්දා. කාලයාගෙ ඇවැමෙන් ඇය කලකිරීම ගැන නොහිතා හිනාවෙලා ඉන්න පුරුදු වුනා. ඇය අවුරුදු 25 කට පසු ලංකාවට ආවෙ ඇයගේ පැරණි චිත්රපටයක් සම්මානයකට නිර්දේශ වීම නිසා ඇයට ලැබුනු ආරාධනාවකට.
මාධවත් ඒ සම්මාන උලලට ඇවිදින් හිටියා. සමාධි හිතුවෙ කාලයත් එක්ක ඔහුගෙ හිත වෙනස් වී කාත් සමග හෝ විවාහ වී ඇතැයි කියා ය. එහෙත් ඔහුත් තවම තනිකඩ බව පසක් වීම ඔහුගෙ අවංකකම ගැන තවත් ඇයගේ හිත පැහැදීමට ලක් කලා. මාධව ඇය අසල අසුන හිස් වූ විගස පුරුදු පිවිතුරු සිනහවෙන් ඇය ලඟට පැමින උරහිස වටා අත් දෙක ඔතාගත්තා.
” අනේ මෙයාව දැක්ක කල්!”
ඔහු හරි ලෙන්ගතුව දරුවෙක් වගේ ඇයව පපුවට තුරුල් කරගත්තා.
” කොන්ඩෙත් සුදු වෙලා නේ?”
” මගෙ විතරද. ඔයාගෙත් සුදු වෙලානෙ!”
” ඒක නේන්නම්. අපි වයසටත් ගිහිං. ඒක නෙමෙයි. කෝ හස්බන්ඩ්? බබාලා ලොකුද?”
” හස්බන්ඩ්? මං විවාහ වුනේ නෑ අයියේ… අයියා බැන්ඳද?”
” මං නංගිට කිව්වෙ මං කසාද බදින්නෑ කියලා. ඒත් ඇයි නංගි නොබැන්ඳේ?”
” අයියා කසාද බඳින්නෑ කියලා කිව්ව නිසාම තමයි!”
ඇය විහිළුවක් මෙන් හිනාවෙලා කීවා. ඔහුත් ඇයව හිනාවෙලා නැවත් තුරුල් කරගත්තා.
ඔවුන් සම්මාන උලලෙන් පසු ශාලාවෙන් පිට වුනා.
” නංගි කොහෙද නැවතිලා ඉන්නෙ?”
” ගලදාරි එකේ අයියා.”
” ආහ්! මං බස්සන්නද?”
” කමක් නෑ මං කැබ් එකක් දාන්නම්”
” එපා එපා. මං බස්සන්නම්. කාලම යමු මොනාහරි”
ඔහුගේ වාහනයට නැගුනු පසු ඔහු උපැස් යුවල දාගත්තා.
” කොල්ලා වගේ හිටියට දැන් රෑට ඩ්රයිව් කරන්න අමාරුයි ස්පෙක්ස් නැතුව.”
ඇය සාරි පොට උරහිස වටේ ඔතාගනිමින් ඔහුගේ කතාවට් හිනැහුනා.
” ඇයි ඇයි හිනාවෙන්නෙ? අපිත් කොල්ලො තමයි කොන්ඩෙ පොඩ්ඩක් සුදු වුනාට”
මේ කවටකම් ඇයව සිනහා ගැන්වීමට විනා ඔහු රූපය ගැන වද නොවන නිසා වග ඇය දැනන් උන්නා.
” ආයෙ කවදද යන්නෙ?”
” හෙට.”
“අම්බේ නෝනට ලංකාව ඒ හැටි එපා වෙලාද?”
” නෑ එහෙම නෙමෙයි. එහෙ වැඩ දාලා හදිස්සියෙනෙ ආවෙ. “
“ආහ් ඒක මිසක්. ටික දවසක් ඉන්න එන්න. පරන කට්ටියත් එකතු කරන් යමු ට්රිප් එකක්…”
” බලමුකො… ඇයි නැවැත්තුවෙ?”
” පොඩක් මෙතන බැහැලා හොට් ඩෝග් එකක් කාරිය කාලා කතාවක් දාලම යමු හෙට යනවනම්.”
” හ්ම්ම්…”
ඇය වාහනයෙන් බැස සාරි පොටින් හිස යන්තන් වසාගත්තා. මුහුදු තීරයේ ඇති බංකුවක ඔවුන් වාඩි වුනා.
” ඉතිං කියන්නකො… මොනවද පිටරට විස්තර?”
“මං එහෙම කවුන්සිලින් කරනවා”
” ශා හොදයිනේ. ඒක නෙමෙයි. ඇයි ඔයා විවාහ නොවුනේ?”
ඇය පිලිතුරු ලෙස බිම බලාගත්තා.
” මං නිසාද?”
ඇය බිම බලාගෙනම හිටියා.
” මට ඒ තරම් ආදරය කරාද?”
” හ්ම්ම්…”
” ඇයි ඉතිං මට කතා නොකරේ?”
” ඔයාට බාදා කරන්න උවමනාවක් තිබුනෙ නෑ”
” හ්ම්ම්… ඇයි ආපු හැටියෙම යන්නෙ?”
” වැඩ කරද්දි හිතට හොදයි…”
” හ්ම්ම්… මට සමාවෙන්න…”
” සමාව ගන්න ඔයා මට වරදක් කරේ නෑනේ?”
” ඒත් ඔයා මෙච්චර කාලයක් මං නිසා පිටරටක තට්ට තනියෙන් ජීවත් වුනා නේද කියලා හිතද්දි දුකයි…”
” ඒක ඔයාගෙ වරදක් නෙමෙයි අයියේ.”
” හ්ම්ම්…”
” මං මෙහෙම ඔයාගෙ උරහිසෙන් ටිකක් ඔලුව තියාගත්තට කමක් නැද්ද.”
“තියාගන්න. “
ඇය ඔහුගේ උරහිසේ හිස හොවාගත් සැනින් ලොකූ සුසුමක් පිට කොට දෑස් පියාගත්තා. ඔහු ඈත් මුහුද දෙස බලාන උන්නා. අහන්න දාහක් දේ ඇතත් ඒ හැම කතාවකම කෙලවර දුකක් බව දන්න නිසාම ඔවුන් හිතින් විතරක් කතා කරා. ටික වෙලාවකින් ඔහුගෙ උරහිස ඇයගෙ කඳුළින් තෙමෙන බව ඔහුට තේරුනා.
ජීවිත කාලයක් ඔහු වෙනුවෙන්ම තනිවෙන්න තරම් මේ සුන්දර ගැහැනිය ඔහුට කෙතරම් ආදරය කරන්නට ඇතිද? ලෝකයේ මිනිසුන් ලොකුම දේවල් කරගත්ත මිල මුදල්, ජනප්රියතාවය පවා අත හැර නන්නාදුනන රටක තනියම ජීවත් වෙන්නට හිතෙන්නට තරම් ඇයට කෙතරම් සියල්ල කලකිරෙන්නට ඇතිද. ඒ නිසා ඔහු ඇයගෙ කඳුලු වලට බාදා කලේ නැහැ.
ඔහුත් හෙමිහිට ඇයගේ හිස මතින් ඔහුගේ හිස තියාන දෑස පියාගත්තා. විනාඩි දහයකට පමන පසු ඔහුගේ හුස්ම හඬ ඔහුට නෑහෙන තරම් සන්සුන් වනවා දැනුනා. ඉකිබිදුමද අඩු වුනා.
” සමාධී…”
ඔහු ඇස් පියානම ඇයට ඇමතුවා. ඇය ප්රතිචාර දැක්වුවෙ නෑ
ඔහු හෙමීහිට ඇයගේ උරහිසින් අල්ලන් ඇයගේ මුන දෙසට එබුනා…
” සමාධී…”
ඔහු ඇයව යන්තං සෙලවුවා.
ඇය නිසොල්මන්.
ඔහු කලබල නොවී ඇයව දෝතටම රැගෙන වාහනයෙන් හාන්සි කරා. විටින් විට සොල්වමින් සිහිය ගන්නට උත්සක කලත් ඇයට සිහිය ආවෙ නෑ. ඔහු ඇයව ලඟම පිහිටි පෞද්ගලික රෝහලකට රැගෙන ගියා. ට්රොලියක දමාගෙන පරික්ෂා කිරීමට ඇය ඇතුලට ගෙන ගියත් ඒ වෙනකොටත් ඇයගේ හුස්ම මේ වාතලයෙන් නික්මිලා අවසන්.
ජනප්රිය නිලි සමාධි විජේධර්ම ඇයගේ ජීවිත කාලය තුල පැවති එකම පිවිතුරුම ප්රේමයේ උරහිස මත ස්වභාවිකවම අවසන් ගමන් ගියේ කාගෙත් ඇස් වලට කඳුළු පුරවමින්.
-නිමි –
උපුටා ගැනීම: තාරුකා අමරසේකර