වැඩට අඳින කලිසම් වලින් අති බහුතරයක් දැන් හිරයි. ඒ නිසා ඒව අල්මාරියෙ පතුලෙ තැන්පත් කරා. තව ඒව වගයක් ෆේඩ් වෙලා. ඒවත් එහෙමම තැන්පත් කරා. අලුතින් ඔෆිස් අඳින්න කලිසම් දෙක තුනක් ගන්න ඕන. මන් එහෙම හිතුව. ඒකට අඩු ගානෙ රුපියල් පන්දාහක් වත් තියෙන්න ඕන. කොරෝනා අස්සෙ ඩෙනිමක් ගන්න බැලුව. ඒක රුපියල් හාරදාස් ගානක්. ඩෙනිමෙ අදහස නම් අතෑරියා. මේ කොරෝනා කාලෙ කොහෙ යන්නද. ඩෙනිම් ඕන නෑ.
කොරෝනා අස්සෙ පඩියෙත් සෑහෙන ගානකට තට්ටුවෙලා. ඒත් ගේම ගහන්න ඕන. දෙසැම්බර් පඩියෙන් වත් කලිසමක් ගන්නව. මන් එහෙම හිතාගත්ත. ජනවාරියට අලුත් එකක් ඇන්දැකි.
විසිපස් වෙනිද එනකොට බයික් එකේ රෙපෙයාර් එකක්. ඒ අස්සෙ පොඩි එකාට ඇඳුම් ටිකක් ඕන, සේරම මදි දැන් කියල වයිෆ්ගෙන් බරබරයක් ආව. කොල්ල බලන් ඉද්දි ලොකු වෙනව. ඇඳන් ඉන්න ඇඳුම් සේරම මදි තමා. පොඩි එකාට ඇඳුම් ටිකක් අරන් දෙනව. මට බැරියැ දැනට මේ දෙකෙන් ගේමක් ගහගන්න. මන් එහෙම හිතුව. දවස තිස්සෙ ගමනට බයික් එකත් එපැයි. ඒකත් හදාගත්ත. අනෙක් වියදම් එකතු උනාම දෙසැම්බර් පඩිය ඉවරයි. අවුලක් නෑ. ජනවාරි පළවෙනිද කියන්නෙ තව එක දවසක් විතරයිනෙ. එදාට අලුත් කලිසමක් අඳින්න කියල චක්ර ලේඛ නෑනෙ. ජනවාරි පලවෙනිද පරණ ඇඳුම් ඇන්ද කියල ස්ටාෆ් එකේ කවුරුත් මුකුත් කිව්වෙ නෑ.
ජනවාරි පඩියෙන් කීයක් හරි වෙන්කරගන්නව කලිසම් දෙකකට. මන් එහෙම හිත හදාගත්ත.
“අප්පච්චි. මගෙ බර්ත්ඩේ එක එනවනෙ.”
“ඔව්නෙ. දැන් අවුරුදු හතරක ලොකු බබෙක්නෙ. පෙරපාසල් යන්නත් එපැයි.”
“අප්පච්චි වෙනුර අයියට නම් බයිසිකලයක් තියනව. මටත් එකක් අරන් දෙනවද බර්ත්ඩේ එකට.?”
පොඩි එකා එහෙම මුකුත් ඉල්ලලා කරදර කරන එකෙක් නෙමෙයි. ඒ නිසා ගත් කටටම බෑ කියන්නත් බෑ. ඒකට රුපියල් පන්දාහක් වත් යයි.
ඌටය කියල දැනෙන්න දෙයක් දෙන්නෙ බර්ත්ඩේ එකට විතරයි. මන් කඩවල් වලින් බයිසිකලයක් බැලුව. අඩුම එක රුපියල් නමදාස් පන්සීයයි. මට තනියම හීල්ලුනා. මේ මාසෙ ඕටී ටිකක් වැඩිපුර කරගන්න බලන්න ඕනි.
ජනවාරි පඩිය ලැබුනා. කියන්න තරම් වෙනසක් නෑ පඩියෙ. ඒත් මන් බයිසිකලේ අරන් ආව. පස්වෙනිදට කොල්ලගෙ බර්ත්ඩේ එක. පොඩි එවුන් ටිකකට මොනව හරි අරන් දෙන්න කියල කලින්ම පොඩි ගානක් වෙන්කරල තිබ්බ නිසා ඒ වැඩේනම් අතපසු නොකර කරගන්න පුලුවන් උනා.
බර්ත්ඩේ එක දවසෙ කොල්ලගෙ මූණෙ තිබ්බෙ පුදුම සතුටක්. එයත් බයිසිකලේක අයිතිකාරයෙක් කියන හැඟීම ඒ මූණෙ තියනව මන් දැක්ක. මාත් ඉස්සෙල්ලම බයිසිකලේක අයිතිකාරයෙක් උන දවස මතක්වෙලා මගෙ මූණෙ පොඩි හිනාවකුත් ඇඳුනා. හැබැයි ඒ මට අවුරුදු දාසයක් වෙද්දි.
එදා දවසම කොල්ල හිටියෙ බයිසිකලේ උඩ. ගේ වටේ එයා පස්සෙ දුවලම මට හොඳටම හති.
රෑවෙලා කොල්ල නිදාගත්තම ගිහින් මන් අල්මාරිය ඇරිය. ෆේඩ් වෙලා වගේ තිබ්බ කලිසම් දෙකක් ආපහු එලියට ගත්තා. ටික දවසක් ඇතුලෙ දාල තිබ්බ නිසා ඒව නිකන් අලුත් පාටක් ඇවිල්ල වගේ කියල මට දැනුනා.
“අපෝ, මේ කලිසම් දෙක තව මාස දෙක තුනක් අඳින්න පුලුවන්නෙ.”
මන් බොහොම සැහැල්ලුවෙන් මටම කියාගත්තා
උපුටා ගැනීම: සයුරු ආමන්ත