මා සිත බැද ගත් ,මා හද ගැඹුරින් ආදරය කරන කළු මහත්තරු තිදෙනෙකි.
ඔවුන් තිදෙනා අතර එකිනෙක සමානකම් ද අසමානකම් ද වන නමුත් මා ඔවුන් හට ඉතාම ආදරය කිරීමත් ඔවුන් ද මා වෙත පුදන අවංක ආදරයත් සමානකම් අතර ඉහළින්ම සිටී.
අනෙක් සමානකම නම් නමේ ලෙසටම තිදෙනාම කලු පැහැයෙන් අග තැන්පත් වීමයි.
තිදෙනා අතරින් දෙදෙනකු එකම කුළකයටකට ද අනෙකා වෙනත්ම කුළකයකට ද අයත් වේ.
දෙදෙනකු මිනිසුන් වන අතර අනෙකා ආදරණීය සිවුපාවෙකි.
ලෝම කබායක් ,නිතර වැනෙන වලිගයක් ඇති ඒ කලු මහත්තයා ට නම් රාශියක් ඇති නමුත් ” කළු මහත්තයා ” යැයි ආදරයෙන් අමතන අවස්තා විරල නොවේ.
උගේ හද පත්ලේම ඇති අප්‍රමාණ ආදරයත් දරාගෙන මා වෙනුවෙන්ම ජීවත් වන ඒ කලු මහත්තයා, කලු පුතා , ශැඩා නොහොත් ශැඩෝව් ය.
මගේ පළමු ආදරය දිනා ගත් කළු මහත්තයා දිව්‍ය ලෝකයේ සිට මා දෙස බලා සිටිනා බව මට සිතෙන්නෙ මා වැටෙන්නට යන උඟුල් වලින් දෙවියෙකු ලෙසින් විත් සැම විටම මා බේරා ගන්නා බැවිනි.ඔහුගේ කුළුදුල් දරු සෙනෙහස උරුම කර ගන්නට ම උපන් මා ඔහු ජීවත්ව සිටින තුරා මෙනම මිය ගිය පසුව ද ඔහුගේ ප්‍රියතම දරුවා වීමි. ගමටම හිත හොඳ කළු මහත්තයා වූ ඔහු මගේ ආදරණීය පියාණන් ය. මගේ “තාත්තා ” ය.
හෙවනැල්ලක් මෙන් සිට හිටි වනම කපා හෙලූ මහ ගහක් ලෙස මට ඒ කලු මහත්තයාගේ අහිමිවීම දරා ගැනීමට නොසෑහෙන කාලයක් ගතවුවද අද ද අඩුපාඩු හිඟ තැන් වලදී සිහිනයක් මෙන් මතකයට විත් යයි.
තෙවන කලු මහත්තයා මගේ ප්‍රාණ සමානය. වචනයේ අර්ථයෙන්ම ඔහුද කලුය. මගේ තාත්තා මෙන්ම තේජස පතුරවන පෙනුමකින් හෙබි ඔහු ගේ හදවතද මා කෙරෙහි දයාවෙන් පිරී ඇත. පිරිමියෙකුගේ හදවතෙහි ඇති ලෙහෙසියෙන් කිසි වෙකුට විවර නොවන දොරක් ඔහු මා වෙනුවෙන් විවර කර ඇත.
කලුවරින් පිරී නොමැති , හැම අස්සක් මුල්ලක්ම ආලෝකවත් ඒ හදවත පුරා ඔහු මගේ අතගෙන පියමනිමින් කිසිවෙකුත් නොදුටු අපූරු තැන් පෙන්වමින්ද විටෙක දිග හාදු දෙමින් ගමන් වෙහෙස නිවමින්ද මා හා එක්ව ගමන් කරයි.
ඒ ගමන නිමක් නැති එකක් වන්නේ ඔහුගේ හදවත එපමණටම විශාල බැවිනි.
දිනෙන් දින චමත්කාරජනක එකක් ම වන බැවිනි.
නැති වූ මහ ගහක සෙවන සලසමින්ද , ආදරයේ චමත්කාරයෙන් ඒ මහ ගහ වෙලමින්ද සැනසෙමින් සනසවමින් නිවෙමින් නිවාගනිමින් තවමත් අත් නොහරිමින් මේ කලු මහත්තයා මා සමඟින්ම රැදෙමින් ඇත.
උපුටා ගැනීම: Vathsala UL